UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගෞතම බුදු සසුනේ පිහිට ලබමු

ගෞතම බුදු සසුනේ පිහිට ලබමු

ස්වාමින් වහන්ස, ආර්ය මහා සංඝරත්නය කෙරෙහි සිත පහදවාගෙන දන්දීම පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ වදාළේ කෙසේද?

දිනක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණි එක්තරා බ්‍රාහ්මණ ගෘහපතියෙක් මෙසේ පවසා සිටියා. “ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්ස, මම නිතර දන් දෙනවා. ඒ වගේ ම මම දානය දෙන්නේ හොඳින් විමසා බලා රහතන් වහන්සේලාටත්, රහත් මඟට පිළිපන් උතුªමන් වහන්සේලාටත් පමණයි”. එවිට භාග්‍යවතුන් වහන්සේ වදාළා, “ගෘහපතිය, කාමභෝගි ජීවිතයක් ගතකරන, අඹු දරුවන් ගේ සම්බාධක මැද වෙසෙන, මිල මුදල් පරිහරණය කරන ඔබට රහතන් වහන්සේ හෝ රහත් මගට පිළිපන් උතුමන් කවුරුදැයි කියා තේරුම් ගන්නට පුළුවන්කමක් නැහැ. ඔබ කළ යුත්තේ සංඝරත්නය උදෙසා දන් දීමයි” කියා. එසේ දන් දීමේ දී අෂ්ටආර්ය පුද්ගල ශ්‍රාවක සංඝරත්නයත්, සුපටිපන්න, උජුපටිපන්න ආදී සඟ ගුණ කෙරෙහිත් තුන් සිත පහදවාගෙන දන් දීමත් තුළ මහත්ඵල මහානිශංස පුණ්‍යවර්ධනයන් රැස්වෙන බව දක්ඛිණ විභංග සූත්‍රය, නන්දමාතු සූත්‍රය ආදී සම්බුද්ධ දේශනා තුළ පෙන්වා දී තිබෙනවා. එමෙන් ම දක්ඛිණ විසුද්ධි නම් සූත්‍ර දේශනාවේ දී දානය පිරිසුදුවීම පිණිස ගිහි පැවිදි දෙපක්ෂයේ සීල සම්පත්තිය ගුණ සම්පත්තිය බලපාන ආකාරය ද මෙසේ දේශනා කොට තිබෙනවා.

”මහණෙනි, මෙහිලා දන්දෙන තැනැත්තා සිල්වත් වෙයි. කල්‍යාණ ධර්මයන්ගෙන් යුක්ත වෙයි. නමුත් පිළිගන්නා පිරිස දුස්සීල වෙති. පවිටු ධර්මයන්ගෙන් යුක්ත වෙති. මහණෙනි, දානයත් දායකයාත් නිසා පිරිසුදු වන්නේත්, පිළිගන්නා උදවියගෙන් පිරිසුදු නො වන්නෙත් මේ අයුරිනි.

”පින්වත් මහණෙනි, මෙහිලා දන්දෙන තැනැත්තා දුස්සීල වෙයි. පවිටු ධර්මයන්ගෙන් යුක්ත වෙයි. නමුත් පිළිගන්නා පිරිස සිල්වත් වෙති. කල්‍යාණ ධර්මයන්ගෙන් යුක්ත වෙති. මහණෙනි, දානයක් පිළිගන්නා පක්ෂයෙන් පිරිසුදු වන්නේත්, දානය නිසා පිරිසුදු නො වන්නේත් මේ අයුරිනි”.

”මහණෙනි, මෙහිලා දන් දෙන තැනැත්තා දුස්සීල වෙයි. පවිටු ධර්මයන්ගෙන් යුක්ත වෙයි. පිළිගන්නා පිරිසත් දුස්සීල වෙයි. පවිටු ධර්මයන්ගෙන් යුක්ත වෙයි. මහණෙනි, දානයත් දායකයාත් නිසා දානය පිරිසුදු නො වන්නේත්, පිළිගන්නා උදවියගෙන් පිරිසුදු නො වන්නේත් මේ අයුරිනි”.

”මහණෙනි, මෙහිලා දන් දෙන තැනැත්තා සිල්වත් වෙයි. කල්‍යාණ ධර්මයන්ගෙන් යුක්ත වෙයි. පිළිගන්නා පිරිසත් සිල්වත් වෙයි. කල්‍යාණ ධර්මයන්ගෙන් යුක්ත වෙයි. මහණෙනි දානයත්, දායකයාත් නිසා පිරිසුදු වන්නේත් පිළිගන්නා උදවියගෙන් පිරිසුදු වන්නේත් මේ අයුරිනි”.

ඒ වගේම දානයක් මහත්ඵල මහානිශංස වන්නේ කෙසේද? කියා භාග්‍යවතුන් වහන්සේ දක්ඛිණ විභංග සූත්‍රයේ දී මෙසේ වදාළා. යෝ සීලවං සීලවන්තේසු දදානි දානං - යමෙක් තමන් සිල්වත්ව සිට සිල්වතුන් ගුණවතුන් උදෙසා දන් දෙයිද, ධම්මේන ලද්ධං සුපසන්න චිත්තෝ - ධාර්මිකව උපයා සපයාගත් දෙයින් පැහැදුනු සිතින් යුතුව දන් දෙයිද, අභිසද්ධහං කම්මඵලං උළාරා - තංවේ දානං විපුල ඵලන්ති භූහී – බලවත් වූ කර්ම කර්මඵල විශ්වාසයෙන් දන් දෙයිද, එම දානය මහත්ඵලයි පවසමි කියා” ය. එම සුත්‍රයේ දී ම සියලු පෞද්ගලික දාන අභිබවා සංඝරත්නය උදෙසා පුදන දානය මහත්ඵල වන බව මෙසේ වදාළ සේක.

පින්වත් ආනන්ද, වෙන වෙනම පෞද්ගලිකව දිය හැකි දාන දාහතරක් තිබෙනවා. කවර දාහතරක් යත්, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා දන් දෙනවා. මෙය පළමුවන පෞද්ගලික දානය යි. පසේ බුදුරජාණන් වහන්සේ උදෙසා දන් දෙනවා. මෙය දෙවන පෞද්ගලික දානය යි. තථාගත ශ්‍රාවක වූ රහතන් වහන්සේ උදෙසා දන් දෙනවා. මෙම තුන් වෙනි පෞද්ගලික දානය යි. තථාගත ශ්‍රාවක වූ රහතන් වහන්සේ උදෙසා දන් දෙනවා. මෙය තුන් වෙනි පෞද්ගලික දානය යි. අරහත්ඵලය සාක්ෂාත් කිරීම පිණිස පිළිපන් ශ්‍රාවකයා උදෙසා දන් දෙනවා. මෙය සතරවෙනි පෞද්ගලික දානය යි. අනාගාමි ශ්‍රාවකයා උදෙසා දන් දෙනවා. මෙය පස්වන පෞද්ගලික දානය යි. අනාගාමි ඵලය සාක්ෂාත් කිරීම පිණිස පිළිපන් ශ්‍රාවකයා උදෙසා දන් දෙනවා. මෙය හයවෙනි පෞද්ගලික දානය යි. සකදාගාමි ශ්‍රාවකයා උදෙසා දන් දෙනවා. මෙය අටවෙනි පෞද්ගලික දානය යි. සෝතාපන්න ශ්‍රාවකයා උදෙසා දන් දෙනවා. මෙය නවවෙනි පෞද්ගලික දානය යි. සෝතාපන්න ඵලය සාක්ෂාත් කිරීම පිණිස පිළිපන් ශ්‍රාවකයා උදෙසා දන් දෙනවා. මෙය දසවෙනි පෞද්ගලික දානය යි. ශාසනයෙන් බැහැරව සිටින කාමයන් කෙරෙහි වීතරාගී වූ කෙනෙක් උදෙසා දන් දෙනවා. මෙය එකොළොස්වෙනි පෞද්ගලික දානය යි. පෘථග්ජන සිල්වත් කෙනෙක් උදෙසා දන් දෙනවා. මෙය දෙළොස්වෙනි පෞද්ගලික දානය යි. පෘථග්ජන දුස්සීල කෙනෙක් උදෙසා දන් දෙනවා. මෙය දහතුන්වෙනි පෞද්ගලික දානයයි. තිරිසන්ගත සතෙක් උදෙසා දන් දෙනවා. මෙය දාහතරවෙනි පෞද්ගලික දානය යි.

පින්වත් ආනන්ද, සංඝගත දක්ෂිණා හතරක් තිබෙනවා. කවර සතරක්ද යත් බුදුරාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු භික්ෂුණි යන උභය සංඝයාට දන් දෙනවා. මෙය පළමුවෙනි සංඝගත දක්ෂිණාව යි. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි භික්ෂු භික්ෂූණි යන උභය සංඝයාට දන් දෙනවා. මෙය දෙවෙනි සංඝගත දක්ෂිණාව යි. භික්ෂු සංඝයා උදෙසා දන්දෙනවා. මෙය තුන්වෙනි සංඝගත දක්ෂිණාව යි. භික්ෂුණි සංඝයා උදෙසා දන් දෙනවා. මෙය සතරවෙනි සංඝගත දක්ෂිණාව යි. මට සංඝයා උදෙසා මෙ පමණ භික්ෂූන් වහන්සේලාත්, මෙ පමණ භික්ෂූණීන් වහන්සේලාත් වඩම්මවා දෙන්න කියා දන් දෙනවා. මෙය පස්වෙනි සංඝගත දක්ෂිණාව යි. මට සංඝයා උදෙසා මෙ පමණ භික්ෂූන් වහන්සේලා වඩම්වා දෙන්න කියලා දන් දෙනවා. මෙය සයවෙනි සංඝගත දක්ෂිණාව යි. මට සංඝයා උදෙසා මෙ පමණ භික්ෂූන් වහන්සේලා වඩම්මවා දෙන්න කියා දන් දෙනවා. මෙය සත්වෙනි සංඝගත දක්ෂිණාව යි. මේ තමයි සංඝගත දක්ෂිණා හත.

“පින්වත් ආනන්ද, අනාගතයෙහි දී සංඝයා කිලුටු කරන, කසාවත පමණක් දරා සිටින පවිටු ගතිගුණ ඇති දුස්සීලයන් පහළ වෙනවා. සංඝයා උදෙසා මිනිසුන් ඒ දුස්සීල පුද්ගලයන්ටත් දන් දෙනවා. පින්වත් ආනන්ද, එකල්හි පවා සංඝයා උදෙසා දෙන ලද දානය අසංඛ්‍යය වූ, අප්‍රමාණ වූ, අනුසස් තිබෙනවා කියායි මම කියන්නේ. පින්වත් ආනන්ද, මම කිසිදු ක්‍රමයකින් සංඝයා උදෙසා දෙන දානයට වඩා පෞද්ගලික දානයක් මහත්මඵල තිබෙනවා කියා නො කියමි”.

එමනිසා දානයක් දීමේ දී සාරිපුත්ත, මොග්ගල්ලාන, මහාකස්සප, ආනන්ද, නන්ද ආදී උතුම් මහරහතන් වහන්සේ ප්‍රමුඛ අෂ්ට ආර්ය පුද්ගල ශ්‍රාවක සඟරුවන සිහිකොට ගෙනයි අප දන්පැන් පූජාකළයුතු වන්නේ.

අප ජීවිතවලට නොයෙක් ආකාරයේ රෝග පීඩා වැළදෙනවා. ඒ වගේම අමනුෂ්‍යයන් ගෙන් උපද්‍රව සිදුවෙනවා. ධර්මානුකූලව එයින් වැළකී කටයුතු කරන්නේ කෙසේද?

බුදුරජාණන් වහන්සේගේ ගුණ හොඳින් දැනගෙන සිත පහදවාගෙන මනාකොට තෙරුවන් සරණයාම අත්‍යවශ්‍ය වූ දෙයක්. එසේ තිසරණයෙහි පිහිටා අවංකව සීලාදි ගුණධර්ම ආරක්ෂා කිරීම වැදගත්. එවැනි සැබෑ ශ්‍රාවකයෙක් ශ්‍රාවිකාවක් රෝග පීඩාවකදී අමනුෂ්‍ය උපද්‍රවයකදී අනුරාධපුර උඩමළුවේ වැඩ සිටින ජයශ්‍රීමහා බෝධින් වහන්සේ වන්දනා කොට ස්වර්ණමාලි මහා සෑ රදුන් වහන්සේ වන්දනා කොට තෙරුවන් ගුණ සජ්ඣායනා කරමින් සෑමළුව පැදකුණු කොට වන්දනා කළ යුතුයි. ඉන්පසු මහසෑය පසෙක වාඩිවී රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, ඛන්ධ පිරිත, මෝර පිරිත, ධජග්ගය, අංගුලිමාල පිරිත වැනි සූත්‍ර ද ආටානාටිය සූත්‍රයේ ආරක්ෂක කොටස ද සජ්ඣායනා කරමින් වන්දනා කළ යුතු වෙයි. ඉන්පසු සක් දෙවිඳුන්,සතරවරම් දෙවිවරුන්, සෙන්පති දෙවිවරුන් ඇතුලු දෙවියන්ට පින් අනුමෝදන් කොට මහසෑයට ජීවිතය පූජා කිරීමෙන් කර්මානුරූප බලපෑමක් නොවේනම් බොහෝ දුරට අයහපත මගහැරී ගොස් සහනයක් උදාවේ. එසේ තිසරණය පිහිටා ධාර්මිකව වත්පිළිවෙත් මඟින් යහපත සෙත සලසාගත් බොහෝ දෙනෙකු සිටිනවා. වැදගත් වන්නේ අවංකව, සෘජුව එම කටයුත්තේ නිතර වීම යි.

මිනිස් ලොව අපට මගඵලලාභී දෙවිවරුන්ගේ සහය ලබාගත හැක්කේ කෙසේ ද?

කාලිංඝ මාඝගේ ආක්‍රමණයෙන් පසු සිව, කාලී, විෂ්ණු ආදී බලවේග මුල්කරගත් දේවාල සංස්කෘතියක් ලක්දිව පුරා පැතිර ගියා. ඒ ඔස්සේ සමහර පිරිස් වෙළාගෙන ඇත්තේ යක්ෂ භූතාදි අසුර බලවේගය යි. අමනුෂ්‍යයන්ගෙත් උදව් උපකාර ලබා ගැනීමට ගොස් බොහෝ දෙනෙක් ඔවුන්ගේ ග්‍රහණයට හසුවෙන ආකාරය අපට දැන ගන්නට ලැබෙනවා. බොහෝ විට ඔවුන් මරණින් මතු දුගතිගාමි වෙනවා. එනිසා තිසරණය රැකගෙන පිරිත් කීම, බෝධි වන්දනා ආදියෙන් රැකවරණය ලබමින් මෙත් සිතින් ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. සක් දෙවිඳුන් සතරවරම් දෙවිවරුන්, සුමන සමන් දෙවියන් ආදී මාර්ගඵල ආර්ය ශ්‍රාවක දෙවිවරුන් වැඩ සිටිනවා. ආලවක දෙවියන් ආදී සෙන්පති දෙවිවරු බොහෝ දෙනෙක් මගඵලලාභීන් බව ධර්මයේ සඳහන් වෙනවා. එනිසා තිසරණයෙහි පිහිටා සිල්වත්ව එසේ තෙරුවන් සරණ ගිය දෙවිවරුන්ට පින් අනුමෝදන් කිරීම තුළ යහපත් ආශිර්වාදයත්, රැකවරණයත් සලසා ගන්නට බෞද්ධයන්ට අවස්ථාව ලැබෙනවා.

 

පොසොන් පුර අටවක පෝය


පොසොන් පුර අටවක පෝය ජුනි 20 වන බදාදා පූර්ව භාග 05.00 ට ලබයි. 21 වනදා බ්‍රහස්පතින්දා පූර්වභාග 03.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 20 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ජුනි 27 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 20

Full Moonපසෙලාස්වක

ජූනි 27

Second Quarterඅව අටවක

ජූලි 06

Full Moonඅමාවක

ජූලි 12


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]