UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

පොසොන් පුර අටවක 2018.06.20

දරු පරපුරට චරිතාදර්ශයක් වෙමු

‘පුත්ථා වත්ථු මනුස්සානං’ මිනිසාට ඇති මහාර්ඝතම සම්පත දරුවන් යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. රජ මැඳුරේ සිට දුගී පැල්පතෙහි වෙසෙන දිළින්දා දක්වාම ඇති දාරක ස්නේහයෙහි නම් වෙනසක් නොවන්නේ ය. දරුවෙකුගේ සුවය, සැපය මිස දුකක්, කරදරයක්, විපතක් වනු ඒ කිසිවෙකුටත් ඉවසිය නො හැකිය.

ඒබ්‍රහම් ලින්කන් ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකි. සිය පුතු පාසල් යැවූ මුල්ම දවසේ පුතුගේ පන්තිභාර ගුරුතුමියට ඔහු ලිපියක් ලීවේ ය.

‘ගුරුතුමියනි, මගේ පුතුට දිනන සැටි වගේම පරාජය භාරගන්නා සැටි ද කියා දෙන්න. පාසල ගැන වගේම ඔහු ජීවත්වන පරිසරය ගැනද උගන්වන්න. කතා කළ හැකි මිනිසුන් ගැන මෙන් ම කතා කළ නොහැකි සතා සිවුපාවුන්, අහසේ පියාසරන කුරුල්ලන්, සමනලයින්, ගහකොළ ගැනද කියා දෙන්න’ යි එහි වූ සටහන් අතර විය. ඔහුට අවශ්‍ය වූයේ මහ පොළොවේ පය ගසා ජීවත්වන්නට හැකි, පරිසරයට ආදරය කරන, පරිසරය සුරකින පුරවැසියෙක් හෙට දිනයේ රටට බිහිවනු දකින්නටය.රටේ අනාගතයේ බර දරන්නට ඉන්නා අද දවසේ බාල පරපුරට ඒ පාඩම අත්‍යවශ්‍ය ය. ඒ දැක්ම අර්ථ ගන්වන්නට අවවාදය සේ ම ආදර්ශය ද අත්‍යවශ්‍ය ය. එහි නියමුවෝ මවුපිය, ගුරුවරුන් ප්‍රමුඛ රටේ සියලු වැඩිහිටියන් ම ය.

මේ කරුණ වඩාත් අවධාරණය කළ යුතු වන්නේ දූෂිත නොවුණු පරිසරයක අවශ්‍යතාව කාලීනව වඩ වඩාත් දැනෙන නිසා ය. ඉන්දියන් සාගරයෙන් වට වූ මුතු ඇටය නම්, නම් ලද අප මාතෘ භූමිය කවියන් , දුටුවේ පෙරදිග ලෝකයේ බබළන මුතුඇටය ලෙසටය. එවන් සුන්දරත්වයක් දකින්නට හැකි වූයේ අපගේ මුතුන් මිත්තන් ආගමට දහමට අනුව ජීවත් වෙමින් මහපොළොව ද, ඊට අයත් ගහ කොළ සතා සිවුපාවුන් ඇතුළු ජල සම්පත ද සිය පණ සරි කොට ආරක්ෂා කළ නිසා ය.

කල් යත්ම ඇතැම් මිනිසුන් සියල්ල මුදලටම තීරණය කරන්නට හුරු වීම නිසා ගුණ දහම්, යුතු අයුතුකම් ද ටිකෙන් ටික ඈත් විය. තමන් ගැන පමණක් සිතන තැනට කටයුතු කිරීම නිසා අන් සියල්ලේ වටිනාකම් නොවටිනාකම් බවට පත්වන්නට විය. සුළුතරයක් වෙතින් වුවද අදටද වන ඒ විනාශය නම් සුළු නැත. අතීතයේ සෝබාවත්ව දිස් වු රට වට වු සයුරු තෙර අද අපේම මිනිසුන්ගේ දෑතින් මුදා හළ අප ද්‍රව්‍යයන් ගෙන් දූෂිත ය. ලෝක පරිසර දිනය යෙදුණේ පසුගිය (ජුනි) පස්වෙනිදාට ය. ඒ හා සමගාමීව රටවල් 192 ක් අවධානයට යොමු කරමින් කරන ලද අන්තර්ජාතික පර්යේෂණයකට අනුව මුහුදට ප්ලාස්ටික් ඇතුළු ඝන අපද්‍රව්‍ය දමන රටවල් විස්සක් අතරින් පස්වන තැනට ලංකාව පත්ව ඇතිබවට පසුගියදා වාර්තා පළවිය.

මේ තත්ත්වය පිළිබඳව සැබැවින්ම රටේ පුරවැසියන් ලෙස අප ලජ්ජාවට පත්විය යුතුව තිබේ. තමන් ජීවත්වන අවට වටපිටාව පිරිසුදුව තබා ගැනීම, ආරක්ෂා කර ගැනීම සෑම පුරවැසියකුගේ ම යුතුකමක් වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ සතුට පරම ධනය වන බව ය. සතුටින් ජීවත් වන්නට නම් නිරෝගී බව අත්‍යවශ්‍ය ය. අතීතයේ අද මෙන් රෝහල්වල රෝගීන් පිරිසක් සිටියේ නැත. අපේ මුතුන් මිත්තන්ගේ නිරෝගීකමේ රහස වස විසෙන් තොර ආහාරයත්, පිරිසුදු පරිසරයක ජීවත් වීමත් ය.

පාරිසරික දූෂණය පිළිබඳ විවිධ චෝදනා සේ ම යෝජනා ද බොහෝ වෙති. කෙනෙකුට ඇඟිල්ලක් දිගු කරන විට ඇඟිලි සතරක්ම තමන් දෙසට යොමු වේ. අනුන්ට දොස් කියනවා වෙනුවට අපි අපිම නිවැරදි වෙමු. පොලිතීන්, ප්ලාස්ටික් ආදි නොදිරන කසළ පරිසරයට මුදාහැරීම පාරිසරික දූෂණයේ ප්‍රධානතම අංගයක් වී තිබේ. කටයුතු පහසුවටත්, අඩු මුදලටත් අප ළංකර ගන්නා විනාශයේ අහිතකර ඵල හෙට දවසට ය. ඒ ඛේදවාචකයට මුහුණ දෙන්නට වන්නේ අපේ දරුවන් ටය. අනාගතයේ දී නොව වර්තමානයේ ද පාරිසරික දුෂණයේ විපාක අපි අත්විඳිමු. ඒ නිසා පරිසරය ගැන වරක් දෙවරක් නොව තුන් හතර වතාවක් ම සිතා නොදිරන කසළ මිහිමත නොහෙළමු. සම්බුද්ධ චරිතය පුරාම ගම්‍ය වන්නේ උන්වහන්සේ පරිසරය සමඟ ජීවත්වූ ආකාරයයි. ඒ සම්බුදු චරිතාදර්ශය බොදු මඟ යන අපේ ජීවිතයටද සමීප කරගමු. එවිට අපේ සම්පත වන දරු පරපුරද ඒ මග යනු ඇත. ඔවුන්ගේ හෙට දවසට සුවදායක පරිසරයක් ද ඉතිරි වනු ඇත.

 

පොසොන් පුර අටවක පෝය


පොසොන් පුර අටවක පෝය ජුනි 20 වන බදාදා පූර්ව භාග 05.00 ට ලබයි. 21 වනදා බ්‍රහස්පතින්දා පූර්වභාග 03.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 20 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ජුනි 27 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 20

Full Moonපසෙලාස්වක

ජූනි 27

Second Quarterඅව අටවක

ජූලි 06

Full Moonඅමාවක

ජූලි 12


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]