UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අ.පො.ස. උසස් පෙළ විභාගය 2018 (අගෝස්තු) : බෞද්ධ ශිෂ්ටාචාරය ආදර්ශ ප්‍රශ්නෝත්තර - අභ්‍යාසය (3)

අ.පො.ස. උසස් පෙළ විභාගය 2018 (අගෝස්තු)

බෞද්ධ ශිෂ්ටාචාරය ආදර්ශ ප්‍රශ්නෝත්තර - අභ්‍යාසය (3)

4 (අ) ශ්‍රමණ සම්ප්‍රදායට අයත් භාරතයේ විසූ ෂට් ශාස්තෘවරුන් නම් කරන්න.

සාමඤ්ඤ ඵල සූත්‍රයෙහි දැක්වෙන පරිදි බුදුරදුන්ට සම කාලීනව භාරතයෙහි ප්‍රධාන ශාස්තෘවරුන් හය දෙනෙක් විසූහ. ඔවුන් ෂට් ශාස්තෘවරුන් නමින් හැඳින් විය. එනම්,

1. පූර්ණ කස්සප

2. මක්ඛලී ගෝසාල

3. පකුධ කඤචායන

4. අජිත කේශ කම්බලී

5. සංජය බෙල්ලට්ඨි පුත්ත

6. නිගන්ඨනාථ පුත්ත යන්න එම හය දෙනාය.

(ආ) භෞතිකවාදි අදහස් දැරූ අජිත කේශ කම්බලීගේ ඉගැන්වීම පැහැදිලි කරන්න.

මොහුගේ මූලිකම ඉගැන්වීම දස වස්තුක මිථ්‍යා දෘෂ්ටියයි. එමෙන්ම භෞතිකවාදී ඉගැන්වීම් ක්‍රමයකි. ඔහු උගන්වන දසවස්තුක මිථ්‍යා දෘෂ්ටිය නම් දුන්දෙයහි විපාක නැත, යාගයෙහි විපාක නැත. හෝම යාගයෙහි විපාක නැත. කුසලා කුසල කර්මයන්ට ඵල විපාක නැත. මෙලොවක් නැත. පරලොවක් නැත. මවෙක් නැත, පියෙක් නැත, ඕපපාතික සත්වයෝ නැත, මහණ බමුණෝ යැයි කෙනෙක් නැත. මොහු දක්වා ඇත්තේ සතර මහා භූතයන්ගෙන් සත්ත්වයා නිර්මාණය වී ඇති බවයි. ඒ අනුව ජීවත් වන තාක් කල් සැප සේ ජීවත්විය යුතු ය. ණයට හෝ ගිතෙල් අනුභව කළ යුතු ය. මරණින් පසු ශරීරය අළු කර දමන බැවින් නැවත උපතක් නැත. එබැවින් හැකි තරම් විනෝදයෙන් පී‍්‍රතියෙන් සුව සේ වාසය කළ යුතු ය. එය මොහුගේ භෞතිකවාදී ඉගැන්වීම යි.

(ඇ) සංජය බෙල්ලට්ට පුත්තගේ අමරා වික්ෂේප වාදය නම් කුමක්දැයි හඳුන්වා දෙන්න.

මොහුගේ ඉගැන්වීමට අනුව කිසිදු ප්‍රශ්නයකට ස්ථිර, නිත, ඒකාන්ත පිළිතුරක් නොදී ස්‍යාත්වාදි පිළිවෙතක් අනුගමනය කරමින් පිළිතුරු සපයයි. එය අමරාවික්ෂේප වාදය යි. ඔහුගෙන් කිසියම් ප්‍රශ්නයක් ඇසූ කල්හි ස්‍යාත්වාදීව පිළිතුරු සපය යි. එම දර්ශනය සිව්වැදෑරුම් වේ. එනම්,

අස්ති (ඇත)

නාස්ති (නැත)

අස්තිච නාස්තිච (ඇත නැත) නෛවාස්ති න නාස්ති (ඇත්තේ නැත නැත්තෙත් නැත) යනුවෙන් විස්තර කරයි. පරලොවක් ඇත්දැයි යමෙක් විමසූ විට ඇතැයි කියා ද පරලොවක් නැතැයි විමසුවහොත් නැත කියාද ඇත්ත නැද්ද කියා ඇසුවහොත් ඇත නැත යනුවෙන් ද ලිස්සා යන පිළිතුරු සපයයි. එය අමරා වික්ෂේප වාදය යි.

(ඈ) ශ්‍රමණ සංස්කෘතියේ හා බ්‍රාහ්මණ සංස්කෘතියේ ලක්ෂණ වෙන වෙනම ගෙනහැර දක්වන්න.

ශ්‍රමණ සංස්කෘතිය බ්‍රාහ්මණ සංස්කෘතිය

අනිෂ්වර වාදිවීම ඊෂ්වරවාදි වීම

ඥාන මාර්ග ගරු කිරීම වර්ණ ධර්මයන්

බ්‍රාහ්මචරියා පිළිවෙත ස්වධර්මය

නිදහස් චින්තනය යාගය

ත්‍රිවේදය බැහැර කිරීම ත්‍රිවේදය

උදක පාරිශුද්ධිය ප්‍රතික්ෂේප කිරීම උදක පාරිශුද්ධිය

විවිධ වත් පිළිවෙත් ක්‍රම හඳුන්වාදීම ආශ්‍රම ධර්මය

චින්තන විප්ලවයක් ඇති කිරීම

ආපද් ධර්මය

දාර්ශනික මතවාද ප්‍රකට කිරීම

ආගමික සංස්කාර

(ඉ) නිගන්ඨනාථ පුත්තගේ පරම අවිහිංසාවාදය පැහැදිලි කරන්න.

බුදුරදුන්ට සමකාලීනව භාරතයේ විසූ ශාස්තෘවරුන් අතුරින් බුදුරදුන්ට තරමක හෝ සමාන ඉගැන්වීමක් කළ ශාස්තෘවරයා මොහු ය. ඔහු පරම අවිහිංසාවාදීය එම අවිහිංසාවාදයට අනුව සත්වයන්ට පමණක්ව නොව වෘක්ෂලතාවලටද ජීවයක් ඇතැයි සලකා ඒවා විනාශ නොකළහ. මස් මාංශ පමණක් නොව අල, බතල වැනි අල වර්ගද අනුභව නොකළහ. කතා කිරීමේ දී මුඛවාඩම් බැඳගෙන කතා කළහ. උස් හඬින් කතා කිරීමෙන්ද වැළකුණාහ. සප්ප්‍රාණික අප්‍රාණික සියල්ලන්ටම ඉන්ද්‍රයන් ඇති බව ඉගැන්වූහ. තණකොළ පෑගීම පවා පාපයක් යැයි ඉගැන්වූහ. මහමඟ ගමන් කරන විට අතුගාමින් ගමන් කළහ. රාත්‍රී කාලයේ ගමන් යෑමෙන් වැළකුණාහ. මෙවැනි අවිහිංසාවාදී ඉගැන්වීමක් ඔහු ඉදිරිපත් කළහ.

5 (අ) නිගන්ඨනාථ පුත්ත ශාස්තෘවරයාගේ කර්මවාදය කුමක්දැයි හඳුන්වන්න.

ඔහු කර්මය යන්න හඳුන්වා ඇත්තේ දණ්ඩ යන වචනයෙන් ය. කර්ම රැස්වන ද්වාර ප්‍රධාන වශයෙන් කොටස් තුනක් යටතේ සිදුවන බව දක්වයි. එනම්,

1. කාය දණ්ඩ

2. වචී දණ්ඩ

3. මනෝ දණ්ඩ යනුවෙනි. මොහු දක්වන්නේ කර්මයක් සිදුවීමේ දී මූලික වන්නේ මනෝ කර්මය නොවන බවත් කාය කර්මයත් කාය දණ්ඩ මුල්වන බවත් ය. ඔහු කර්මය අටවැදෑරුම් කොට දක්වයි. එනම්,

1. ඥානාවරණීය කර්මය – (නුවණ මුලා කරන කර්මය)

2. දර්ශනාවරණීය කර්මය – (ආත්මය කිළිටි කරන කර්මය)

3. වේදනීය කර්මය – (වේදනා ලබාදෙන කර්මය)

4. මෝහනීය කර්මය – (දියුණුව පරිහානිය සලකන කර්මය)

5. ආයු කර්මය – (ආයුෂ නියම කරන කර්මය)

6. නාම කර්මය – (ශරීරවයව ඇති කරන කර්මය)

7. ගෝත්‍ර කර්මය – (ජාති ගෝත්‍රාදිය ඇති කරන කර්මය)

8. අන්තරාය කර්මය – (බාධාවන් ඇති කරන කර්මය)

 

අධිපොසොන් අව අටවක පෝය


අධිපොසොන් අව අටවක පෝය ජුනි 06 වනදා බදාදා පූර්වභාග 11.13 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 12.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 06 වනදා බදාදාය.

 

මීළඟ පෝය ජුනි 13 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20

Full Moonපසෙලාස්වක

ජූනි 27


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]