අධි පොසොන් අව අටවක 2018.06.06
වපුරන අයුරුම ලැබෙන අස්වනු
ජීවිතයේ විවිධාකාර වූ බලාපොරොත්තු තිබේ. ඒ කවර අරමුණක් වුවද ඉටු කර ගන්නට නම්, ජය
ගන්නට නම් අධිෂ්ඨානය, උත්සාහය, උනන්දුව, කැපවීම අත්‍යවශ්‍ය ය. තෙරුවන් සරණ ගිය
බොදුනුවන්ට නම්, තිබිය යුතු ධාර්මික බලාපොරොත්තු ය. යහපත් ජීවිතයක්, යහපත්
රැකියාවක්, යහපත් දූ දරුවන්, ආගමානුකූල ජීවිතයක් ආදී ලෙසිනි. ඒවා ජය ගත යුතු ද
දැහැමිව ම ය. සරලව කියනවා නම් යහපත ජයගත යුතු යහපතින් ම ය.
ප්‍රාර්ථනා අතර සම්මා සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කිරීම මේ ලොව ඇති ශ්‍රේෂ්ඨතම
බලාපොරොත්තුවම ය. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් කල් අපමණ පාරමීදම් පුරා ලබා ගත යුතු
උත්තම පදවියකි. සම්බුදුරජාණන් වහන්සේට නිරන්තරයෙන් සතුරුකම් කළ දෙව්දත් තෙරුන්ට ද
බුදුවීමට බලාපොරොත්තුවක් ඇති වුණි. එහෙත් ඒ සඳහා තෝරාගත් මග වැරැදි ය. දෙව්දත්
තෙරුන්ට ඕනෑවුණේ බුදුරජාණන් වහන්සේ විනාශ කොට පහසුවෙන් ඒ අරමුණ ජය ගන්නට ය. අජාසත්
කුමරුට වැරැදි උපදෙස් දීම, නාලාගිරි ඇතුට රා පොවා බුදුහිමියන් වඩින මග ඉදිරියට
යැවීම, දුනුවායන් යොදා ඊතල වලින් විදීමට සැලැස්වීම,ආදි බොහෝ පාප කර්ම රැස්කර ගත්තේ
ය.
ඉඳ ඉඳ එක වෙහෙර– විඳ විඳ දහම් මනහර
සිඳ බිඳ දුක් සසර – අහෝ දෙව්දත් නොදිටි මොක්පුර යැයි ගුත්තිල කතුවරයා කීවේ ය. එකම
වෙහෙරෙහි සිටියත්, මනහර දහම් ශ්‍රවණය කළත් මෙසසර දුක් සිඳ බිඳ දමා මොක්පුර දැකගන්නට
දෙව්දත් තෙරුන්ට නොහැකි වුයේ එබැවිනි.
නිතර දහම් ඇසුණ ද, ඇසුව ද, දහම් පොත පත කියවූවද, අපේ සමාජයේ තැනෙක සිදු නොවිය
යුතුදේ සිදු වන්නේ ද නිවැරැදි මඟ මග හැර වැරැදි මඟ යාම නිසා ය. ශ්‍රී සද්ධර්මය
පිළිබද දැනීම් මාත්‍රයක් හෝ ඇති කරගන්නට ඇති අනුවණකම නිසා ය.
පසුගිය දිනවල මව්පිය ගුණ හඳුනන මිනිසුන්ගේ සිත් සංවේදී කළ දුක්බර සිදුවීමක් ගැන
අසන්නට ලැබුණි. ඒ වයස අවුරුදු හැට පහක් පමණ වු මවකට අත්වූ ඉරණමක් පිළිබදව ය. දින
ගණනාවක් පුරා කුසට අහරක් නොදී කුඩා කාමරයක මළ මුත්‍රා ගොඩෙහිම සිරකර තැබූ ඒ මෑණියන්
දරුවන් තිදෙනෙක් බිහිකර හැදු අම්මා කෙනෙකි.
තමන්ගේ දරුවන්ගේ අතපය නොකඩා උස් මහත් කරන්නට, ඔවුන්ට හොඳ අනාගතයක් ගොඩනගා දෙන්නට ඇය
මොන තරම් නම් ගත වෙර දරන්නට ඇති ද? දරුවන් ගැන මොන තරම් බලාපොරොත්තුවලින් සිත
පුරවාගෙන සිටින්නට ඇති ද? අවසානයේ ගැහැනියක ද? පිරිමියෙකු දැ’යි හඳුනාගත නොහැකි
තරමට වැහැරී ගිය සිරුරු ඇති ඇයට මෙවැනි ඉරණමක් අත්වූයේ වාර්තා වු ලෙස ඇයගේ ම
පුතෙකුගේ අදැහැමි ක්‍රියාවක් නිසාය. ජීවිතයේ තමන් බලාපොරොත්තු වූ නිදහසට තමන්ගේ ම
අම්මා මහා බරක් යැයි ඔහු සිතන්නට ඇත. ඒ අරමුණ ඉටු කරගන්නට අම්මා අඳුරු කුටියක
සිරකර, නොසලකා හරිමින් ඔහු කරගත් පාප කර්මය බරපතළ ය. තමන් හැදූ වැදූ මවට, පියාට
කළගුණ සලකන්නටවත් දරුවන්ගේ සිත නො නැමෙන්නේ නම් එහි පාපය ඔවුන්ට නිසැකවම ගෙවන්නට
සිදු වන්නේය.
දුෂ්ඨ සිතින් කරන දේ හි දුක් විපාක විඳින්නට සිදු වන්නේ ය. ධම්මපදයේ සඳහන් ලෙස
කරත්තය අදින ගොනු පසු පසින් එන කරත්ත රෝදය සේ ය. මෙවැනි දුලභ සිදුවීම් වාර්තා වන්නේ
බොහෝ යුතුකම්, වගකීම් ඉටුකරන සුලභ මිනිසුන් අතර ය. මනුසත්කම දන්නා, ධාර්මිකව දිවි
ගෙවන, පවට ලජ්ජා බිය ඇති දනෝ බොහෝ වෙති. කිරි කළයට ගොම බිඳක් මුසුකළා සේ ඒ සුවඳවත්
මිනිසුන් අතර හිඳින එක් දුර්ගුණ මිනිසෙක් නිසා මුළු සමාජයක් දුර්ගන්ධවත් විය හැකිය.
ඒ එක් මිනිසාත් යහමඟට ගත යුතු සමාජය සුගන්ධවත් කරනු පිණිස ය.
සමාජයක හොඳ, නරක, යහපත අයහපත තීරණය වන්නේ ඒ ඒ පුද්ගලයාගේ අධ්‍යාත්මික ගුණ ධර්මයන්ගේ
අඩු වැඩි බව අනුව ය. කෙනෙක් පවට බර ය. තවත් කෙනෙක් පිනට, කුසලයට බර ය. හොඳට සේම
නරකට ද විපාක ඇත. හොඳ කළේ නම් හොඳ විපාකය. නරක කළේ නම් නරක විපාක ය.
තල වපුරා මුං අස්වනු බලාපොරොත්තු විය නොහැකි ය. අස්වනු ලැබෙන්නේ වපුල දේ අනුවම ය.
අප කරන කියන හොඳ නරක ක්‍රියාවන්ගේ විපාකද එලෙස ය. මෙලොව ජීවිතයට සේ ම පරලොව ජීවිතයට
ද ඒවා බලපවත්වන්නේ ය. සැබෑ බෞද්ධයා නම් හංසයා කිරෙන් දිය වෙන් කරගන්නා සේ බොහෝ
අයහපත් දේ අතර යහපත තෝරා ගන්නෙකි.
|