UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විමාන වත්ථු කතා : මළ සිරුරකට ලංසු තබයි

විමාන වත්ථු කතා

මළ සිරුරකට ලංසු තබයි

භාග්‍යවත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, පළමු උත්තර විමාන වස්තුවෙහි සඳහන් වූ පරිදි සෝවාන් ඵලයට පත්ව සිටි සිරිමා අභිසරු ලිය එතැන් සිට තමාගේ අපිරිසුදු ක්‍රියාවන් අත්හැරියා ය. ශ්‍රද්ධාව මුල්කොට ගෙන නිති සලාක දාන අටක් මහා සඟරුවනට පිදීම ආරම්භ කළා ය. මෙහි ලා භික්ෂූන් වහන්සේලා අටනම නිතිපතා ඇයගේ නිවසට පැමිණෙන්නේ ඕ තොමෝ ගිතෙල් ගන්න, කිරි ගන්න යි පෙරැත්ත කොට උන්වහන්සේලාගේ පාත්‍ර පුරවන්නී ය. ඒවා තුන් හතර නමකට වුව ද ප්‍රමාණවත් ය.

මේ අතර එක් දිනක් එහි දන් වැළඳූ භික්ෂූන් වහන්සේ නමක් දුර සෙනසුනකට වැඩම කළහ. එහි වැඩ සිටි උපස්ථායක ස්වාමීන් වහන්සේ නමක් විසින් ‘ආයුෂ්මතුන් වහන්ස, දහවල් ඔබ කොහි දී දන් වැළඳුවේ දැයි’ විමසී ය. සිරිමා උපාසිකාවගේ ගෙදරින් යයි පිළිතුරු දුන් විට, දානය මනවඩන ලෙසින් ලැබුණේ දැයි ඇසූහ. ඇයගේ දානය වර්ණනා කළ නොහැක. ඉතා ප්‍රණීත කොට දන් දෙන්නී ය. එක් අයෙකුට ලැබෙන කොටස තුන් හතර දෙනෙකුට ප්‍රමාණවත් ය. ඒ දෙන දෙයට වඩා ඇයගේ දර්ශනය ම උසස් ය. කියා ඒ ස්ත්‍රිය මෙබඳු ය, මෙබඳුය ආදී වශයෙන් ඇයගේ ගුණ හා රූපය ගැන විස්තර කීවේ ය. මේ දෙබස අසා සිටි එක් භික්ෂුවක් ඇගේ දානය කෙසේ වෙතත් එහි ගොස් අද ම ඇය දැකිය යුතු යයි සිතා එහි පැමිණි තෙරුන්ගෙන් තොරතුරු විමසා පසුදින උදෑසන ම මුල් ම භික්ෂුව ලෙසින් සිරිමා උපාසිකා නිවසෙහි සලාක දානය ලබන්නට සුදුසු විය.

පෙර දින දන් වළඳවා අවසන් වූ සැනෙහි ම මැයට යම් රෝග ලක්ෂණ පහළව ආභරණ සියල්ල ඉවත් කොට වැතිර සිටියා ය. භික්ෂූන් වැඩි බව සේවිකාවෝ ඇයට දැන් වූ විට පාත්‍ර ගෙන වඩා හිඳුවා පාත්‍ර පුරවා දන් බෙදා දෙන්න යයි දාසියන්ට අණ කළා ය. එසේ කොට නිමවා තම ස්වාමි දියණියට දැන්වූ විට මා අල්ලාගෙන ගොස් ආර්යයන් වහන්සේලා දැක වදින්නට ඉඩ ලබා දෙව යි කීයේ දාසියෝ එසේ කළහ. ඇය දුටු කලින් කී භික්ෂුව ගිලන්ව, අභරණ නො පැළඳ මැයගේ රූප ශෝභාව මෙසේ වේ නම්, නිරෝගීව සර්වාභරණයෙන් සැරැසී ගත් විට රූප සම්පත්තිය කෙබඳු වේ දැයි සිතී ය. එකල්හි වර්ෂ කෝටි ගණනක් තුළ රැස්ව තිබූ ඒ භික්ෂුවගේ කෙලෙස් මෙහි දී මතු වීය.

මෙහිදී රූපයෙහි මුළා වූ මේ භික්ෂුව ආහාර වැළඳීමට ද නො හැකිව පාත්‍රය රැගෙන විහාරයට ගොස් එය පසෙක තබා වැටී නිදන්නට විය. මෙවිට සහායක භික්ෂුවක් වැළඳීමට නොහැකිව නිදාහුන් භික්ෂුවට පෙරැත්ත කළමුත් එය නොවී ය. මේ අතර උපාසිකාවගේ රෝගය උත්සන්නව එදින ම ඇය කළුරිය කළා ය. නගරය පුරා ප්‍රසිද්ධ මැයගේ මේ මරණය ගැන රජු විසින් බුදුරජාණන් වහන්සේද දැනුවත් කළ විට එම සිරුර අමු සොහොනෙහි තබා ආරක්ෂාවට යොදා සියල්ලෝ ‘සිරිමා දකින්නට එන ලෙසත්, නො පැමිණෙන අයට කහවනු අටක් දඩ යයි’ අණබෙර ගැස්වූයේ ද භාග්‍යවතුන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් ය.

හතරවන දිනය වන විට සිරිමාගේ ශරීරයේ නව දොරින් පණුවෝ වැගුරුණහ. මුළු සිරුරම බිඳුණු බත් සැලියක් මෙන් වී ය. භාග්‍යවතුන් වහන්සේගේ නියමයෙන් සියලු භික්ෂූන් ද සිරිමා දකිනු පිණිස පැමිණෙත්වා’ යි පණිවුඩ යැවී ය. ඉහත කී භික්ෂූන් වහන්සේ ද දින හතරක් පුරා ආහාර වර්ජිතව වැද සිටියේ ය. මේ භික්ෂුව වෙත ගිය තවත් භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ ද ‘සිරිමා’ බලන්නට සොහොනට යන්නේ යයි, කියු විට එසැණින් වහා නැගිට, සොහොන් පොළට ගියේ අනෙක් භික්ෂූන් රැස්ව සිටින තැනට ගොස් සිටගත්හ. මේ වන විට නුවර බොහෝ පිරිස් මෙහි රැස්ව සිටියේ බුදුරජාණන් වහන්සේ හා රජු අතර මේ දෙබස විය.

“මහරජ මැය කවරෙක් ද? “ස්වාමීනි ජීවකගේ බාල නැගණිය සිරිමා” යි. “මැය සිරිමාව ම ද?” එසේ ය, ස්වාමීනි, “එසේ නම් කහවනු දහසක් ගෙවා ඇය කවරකුට හෝ ගන්න යයි ඝෝෂා කරන්න.” ඔයි කී සේක. එසේ කළමුත් කිසිවෙක් හෝ හඬක් නො නැගී ය.. මෙසේ ලන්සුව අඩු කරමින් නොමිලේ හෝ ලබාගන්න යයි ඝෝෂා කරවී ය. “ස්වාමීනි, එසේවත් කවරකු හෝ නැතැයි රජතුමා කී ය. මහණෙනි, බලනු. එදා මේ නගරයෙහි මිනිසුන් එක් රැයකට දහසක් දී ලබාගත් මේ ස්ත්‍රිය අද නොමිලේ වුව ද ගන්නට කෙනෙක් නැත. එදා ජනයා මුළා කළ මැයගේ රූපය, හැඩට තිබූ සිරුර අද තත්ත්වය කෙසේ ද? හිස පටන් දෙපතුළ තෙක් එකම පණුවැදැල්ලෙක, නව දොරින් වැගිරෙන සැරව හා පණුවන්ගේ සීමාවක් නැත. මහණෙනි, මේ කය දෙතිස් කුණපයකි. කුණු වළෙක යැයි

“පස්ස චිත්තකං බිම්බං -අරූප කායං සමුස්සිතං
ආතුරං බහුසංකප්පං - යස්ස නත්ථි ධුවං ඨීති” මේ ගාථාව වදාළ සේක.

විසිතුරු කොට සරසවන, මේ සිරුරෙහි නිතර අසූචි වගුරවන නව දොරකි. මේවා සැරව වගුරවන තුවාල මෙනි. සමකින් වසා ඇට තුන් සියයකින් යමෙකුගේ කය දරා සිටී. නිතර රෝග වැළඳෙන සුළු ය. බොහෝ දෙනා ආශා කරන්නේ ස්ථිර පැවැත්මක් නැති මේ කයට බව අවබෝධ කර ගන්න යයි අනුශාසනා කළ සේක.

දේශනාවසානයේ සිරිමාව කෙරෙහි සිත් බැඳී සිටි තෙරුන් වහන්සේ ඡන්ද රාගයෙන් වෙන් වී විදර්ශනා වඩා රහත් වූහ. අසූ හාරදහසක් ප්‍රාණීන් හට ධර්මාභිසමය විය. (ස්ත්‍රියකගේ හෝ පුරුෂයකුගේ රූපශ්‍රීය පෙර පිනෙන් හටගන්නක් බව චුල්ලකම්ම විභංග සූත්‍රයේ දී සුබ මානවකයාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලදහ.)

 

අධිපොසොන් අව අටවක පෝය


අධිපොසොන් අව අටවක පෝය ජුනි 06 වනදා බදාදා පූර්වභාග 11.13 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 12.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 06 වනදා බදාදාය.

 

මීළඟ පෝය ජුනි 13 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20

Full Moonපසෙලාස්වක

ජූනි 27


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]