UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අපවත් වී වදාළ මාතර විමලරතන මහා නා හිමි

අපවත් වී වදාළ මාතර විමලරතන මහා නා හිමි

අනුරාධපුර ගුවන්තොටුපල පාර ශ්‍රී විමලධර්ම දූත මධ්‍යස්ථානධීශ්වර ශ්‍රී ලංකා අමරපුර සිරිසුමන (දඩලු) මහා නිකායේ මහානායක, සිරිසුමන, ධම්මාධිධම්ම, රාජාධි රාජ ගුරු ශ්‍රී ධම්මරක්ඛිත වංශපාල, ගණාචරිය, පටිපත්තිධර, ගණපාමොක්ඛාචරිය, කීර්ති ශ්‍රී සම්බුද්ධ ශාසනධජ, ශාස්ත්‍ර විශාරද, පණ්ඩිතාචාර්ය මාතර විමලරතන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අවුරුදු එකසිය තුනක් (103) ආයු වළඳා 2018.05.23 වැනි දින පස්වරු 4.00 ට පමණ කොළඹ ජාතික රෝහලේ දී අපවත් වී වදාළ සේක.

රෝගාතුර වූ විමලරතන මහා නා හිමියෝ තම ශිෂ්‍ය, පන්නිපිටිය දෙව්රම්වෙහෙර මහා විහාරාධිපති, විද්‍යා විශාරද කොළොන්නාවේ සිරිසුමංගල අනු නා හිමියන්ගේ සෙවණේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් වැඩ සිටියහ.

දකුණු සිරිලක, මාතර මැදගොඩ නම් ග්‍රාමවරයෙහි 1915 දෙසැම්බර් මස 26 වැනි දින ජන්මලාභය ලැබූ විමලරතන නා හිමියන්ගේ ගිහි නම වීරක්කොඩි ආරච්චිගේ ප්‍රේමදාස ය. වීරක්කොඩි ආරච්චිගේ සව්නේරිස් අප්පුහාමි මහෝපාසකතුමාත්, එදිරිසිංහ විදානආරච්චිගේ බංබුහාමි මහෝපාසිකාවත් වාසනාවන්ත දූපුතුන් හයදෙනෙක් මෙලොවට දායාද කළ අතර, ඉන් පවුලේ තුන්වැනියා වූයේ ප්‍රේමදාස කුමරුවා ය.

1919 වසරේ දී මාතරින් අනුරාධපුරයට පැමිණි ප්‍රේමදාස ඇතුළු පවුලේ ඥාති පිරිස අනුරාධපුර පැරැණි නගරයේ ජේතවනාරාමය අසල නිවසක පදිංචිව සිටියහ.

1922 දී සුබ මොහොතින් අකුරු කියවා එවක අනුරාධපුර බෞද්ධ පාසලක් වශයෙන් තිබූ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම විසින් පාලනය කළ මහාබෝධි පාසලට ඇතුළත්ව 5 වැනි ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලැබූ ප්‍රේමදාස කුමරු 1927 වසරේ දී බූස්සේ ශ්‍රී සුදර්ශනාරාමයෙන් නික්ම රට පුරා ධර්ම දේශනා පවත්වමින් අනුරාධපුරයට වැඩම කළ බූස්සේ ධම්මරක්ඛිතාභිධාන මහා නා හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය රත්නය ලෙස 1931 ඔක්තෝබර් මස 22 වෙනි දින මාතර විමලරතන නමින් සසුන්ගත විය.

පැවිදිවීමෙන් අනතුරුව 1932 දී බූස්සේ මහා නාහිමියන්ගේ අවසරය පරිදි බූස්සේ ශ්‍රී සුදර්ශනාරාමයේ දී ත්‍රිපිටක ධර්මය, සාමණේර බණ දහම් පාලි, සිංහල, සංස්කෘත, ඡ්‍යොතිෂ වෙදකම ආදී විෂයන්ද ප්‍රගුණ කළහ.

1937 ජූනි මස 23 වෙනි දින බලපිටියේ මාදු ගඟ උදකුක්ඛේප සීමාමාලකයේ දී උපසම්පදා ශීලයට පත්ව 1938 වසරේ පොසොන් මස 20 වැනි දින මීගමුව අඟුරුකාරමුල්ල බෝධිරාජාරාම පිරිවෙනට ඇතුළත්ව පිරිවෙන් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ පසුව රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙනට ඇතුළත්ව උසස් අධ්‍යාපන කටයුතුවල නිරතව සිටිය දී දෙවන ලෝක යුද්ධය නිසා අගනුවර පිරිවෙන් වසා දැමීමෙන් යළිත් අනුරාධපුරයට වැඩම කිරීමට සිදුවිය.

උන්වහන්සේ සමාජ සේවයට පිවිසියේ 1940 දී ය. ධර්ම දේශනා, කවි බණ, බෞද්ධ නාට්‍ය හා විවිධ ප්‍රසංග පැවැත්වීමෙන් ගම තුළ සමගිය, දියුණුව ඇතිකිරීමට උන්වහන්සේ අපමණ වෙහෙසක් ගත්හ.මැදවච්චිය, හොරොව්පොතාන, අනුරාධපුර, පොළොන්නරුව, මැදිරිගිරිය යන පළාත්වල හා මැකිච්ඡාව, ගල්කඩවල, කිරුඩගම, ලෝලුගස්වල යන ගම්මානවල විහාරආරාම, වැව්පොකුණු, මංමාවත් පිළිසකර කරවන ලදී. මැදවච්චිය ප්‍රදේශයේ ගම්මාන සඳහා ග්‍රාමසංවර්ධන සමිති ආරම්භකර ගමට පන්සලක් මෙන්ම බාල පරපුරට අධ්‍යාපනය ලබාදීමට පාසලක් ද ආරම්භ කළහ. පුබුදුවිල කනිෂ්ඨ විද්‍යාලය හා තාලරුක්ඛාරාම විහාරය ආරම්භ කළේ විමලරතන නා හිමියන් විසිනි.

1966 වසරේ පොසොන් මස අනුරාධපුර ගුවන්තොටුපල පාර ශ්‍රී විමල ධර්මදූත මධ්‍යස්ථානය ආරම්භ කළ නා හිමියන් දරුදැරියන්ට දහම් අධ්‍යාපනය ලබාදීමේ අටියෙන් ශ්‍රී විමලධර්මදූත දහම් පාසල ආරම්භ කරන ලදී. 1999.05.11 වෙනි දින එහි අභිනව විහාර මන්දිරයක්, සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ, බෝධි ප්‍රාකාරය, ධර්ම ශාලාව, සංඝාවාසය, විවෘත කිරීමට, උන්වහන්සේ සමත් වූහ. දඩලු සිරිසුමන පාර්ශ්වයේ හා සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ශ්‍රී විමල ධර්මදූත මධ්‍යස්ථානයේ “සීමා මාලකයක්” ඉදිකළ නා හිමියෝ සිය නිකායේ උපසම්පදා මහෝත්සවය 2003 පොසොන් මස 21 වෙනි දින එම සීමාමාලකයේ දී සිදු කරන ලදී.

දඩලු පරම්පරායත්න අමරපුර මහා නිකායේ මහානායක බූස්සේ ධම්මරක්ඛිතාභිධාන මහා නාහිමියන් ප්‍රමුඛ ‘සිරිසුමන’ කාරක සංඝසභාව විසින් 1968 වසරේ පොසොන් මස 24 වෙනි දින බූස්සේ ශ්‍රී සුදර්ශනාරාමය මහා විහාරස්ථ බද්ධ මංගල සීමාමාලකයේ දී “සිරි සද්ධාතිස්ස ධම්මරක්ඛිත” යන ගරු නාම සම්මුතිය සහිතව උතුරු හා උතුරුමැද දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරයෙන් පිදුම් ලැබූ මාතර විමලරතන නා හිමියෝ 1992 වසරේ වෙසක් මස 27 වෙනි දින දඩලු පරම්පරායත්න අමරපුර මහා නිකායේ විංශද්වර්ගික මහා සංඝ සභාවේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ඒකච්ඡන්දයෙන් එම නිකායේ මහානායක ධූරයට පත්කරනු ලැබූහ.

මාතර විමලරතන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිවන් සුව පතමු.

 

අධිපොසොන් අව අටවක පෝය


අධිපොසොන් අව අටවක පෝය ජුනි 06 වනදා බදාදා පූර්වභාග 11.13 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 12.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 06 වනදා බදාදාය.

 

මීළඟ පෝය ජුනි 13 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20

Full Moonපසෙලාස්වක

ජූනි 27


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]