UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගී බණ පද - 8:  මව් සෙනෙහසක රුව ගුණ වරුණ

ගී බණ පද - 8: 

මව් සෙනෙහසක රුව ගුණ වරුණ

සියක් ආයු ලැබ
මගෙත් ආයු ගෙන
මටත් වඩා කල් ඔබ ජීවත් වේවා

මෙතේ බුදුන් කල
ලොවේ උතුම් ළඳ
විශාඛාව වේවා

මහ පොළොව සේ
නිහඬ නිසංසල
ඔබේ දයාබර හදින් ගලා එන

ආදර ගීතය
ලොව සනසාලන
බුදු බණ පදයක් වේවා

ගතේ රුහිරු ලේ කිරි පෙව් සෙනෙහස
සුවඳ ගලා ගිය ඔබෙ මව් හදවත
නිවන් පුරට යන මං පෙත හෙළිකළ
පහන් ටැඹක් වේවා

සංගීතය- එච් .එම් . ජයවර්ධන
ගායනය- ටී. එම්. ජයරත්න

බුදුදහම තුළ “අම්මා” යන සංකල්පය ඉතා ඉහළින් අගය කෙරේ. මාතෘත්වය ද, උදාර ගුණාංගයක් ලෙස සෑම පුද්ගලයෙකුම පිළිගනු ලබන අතර අම්මාට වැඳීම සඳහා අපගේ සිංහල සමාජය තුළ වෙනම ගාථාවක් ද ඇත.

දසමාසේ උරේකත්වා
පොසේ සිඋද්ධිකාරනං
ආයුදීඝං වස්සසතං
මාතුපාදං නමා මහං

දසමසක් කුස දරා, අනාගත සුභසිද්ධියම ප්‍රාර්ථනා කරමින් දරුවා පෝෂණය කළ මවට දීර්ඝායු වේවා . අවුරුදු සියයක් ජීවත් වේවා. යන ප්‍රාර්ථනාව ඇතිව මවට වන්දනා කරයි. මවක් දරුවෙකු කුස දරා ආදරයෙන් සෙනහසින් පෝෂණය කරමින් මෙලොවට බිහිකිරීම උතුම් කාරණයක්ය, යන අදහස එම ගාථාව තුළ අන්තර්ගත වේ. දරුවා මෙලොවට බිහිකිරීමේ කාර්යය හේතුකොට මව්නි, ඔබට දීර්ඝායුෂ වේවා! අවුරුදු සියයක් ජීවත් වේවා! යන කාරණාව බුදුදහමේ උගන්වා ඇත. මවක් වෙනුවෙන් දරුවකු විසින් සිතන සිතිවිලි ගොන්නක එක කොටසක් එම ගාථාවට ඇතුළත් වේ.

සියක් ආයුලැබ
මගෙත් අයු ගෙන
මටත් වඩාකල් ඔබ ජීවත් වේවා

අවුරුදු සියයක් ජීවත් විය යුතුය යන ගාථා ධර්මයෙහි උගන්වනු ලබන බෞද්ධ අදහස මව්ගුණ වර්ණනා කළ අවස්ථාවක් ලෙසින් එම ගීතය තුළ දැකිය හැකි ය.මෛත්‍රි බුද්ධ ශාසනයෙහි ධර්මය ශ්‍රවණය කර නිවන් දැකිය යුතු බව අනෙක් අදහස ය.

මෙතේ බුදුන් කල
ලොවේ උතුම් ලද
විශාඛාව වේවා

යනුවෙන් ප්‍රකාශ කරයි. විශාඛාව බුද්ධ ශාසනයෙහි නිවන් ලබාගත් උතුම් කාන්තා රත්නයක් ලෙස හඳුනාගත හැකි ය. ඕ තොමෝ දරු මුණුඹුරන් විශාල ප්‍රමාණයක් ආදරයෙන් රැක බලාගනිමින් අධ්‍යාත්මික ජීවිතයට නැඹුරු වූ කාන්තාවක් විය . නිවන් මඟට ළඟා විය හැක්කේ සාර්ථක ගිහි ජීවිතයක් ගත කළ පුද්ගලයෙකුට පමණි. ගිහිජීවිතය අවුල් අපිළිවෙළ කරගත් පුද්ගලයෙකු නිවන් මඟින් දුරස් වේ.

මව්ගුණ වර්ණනා කරන ගී පද රචනාව තුළ අම්මා යන සංකල්පය උදාර අර්ථයෙහි තබා මෑණියන්ට පැසසුම් ලබාදේ.

එක්තරා අවස්ථාවක අම්මා මහපොළොව වගේ ය. කෙතරම් අපවිත්‍ර දෑ මහපොළොවට මුසුවුව ද, මහපොළොව හිත අමනාප කර නොගනී. මහපොළොවට කෙතරම් පවිත්‍ර දෑ දැම්ම ද, එයට ද වැඩි මනාපයක් නැත. යහපතෙහි දී යහපත ද, අයහපතෙහි දී අයහපත ද, උපේක්ෂාව සමබරව උසුලන ස්වභාවය මහපොළොව සතුව පවතී. නිහඬ නිසංසල මහ පොළොව සේ යන අදහස එම ගී පද රචනාව තුළ අන්තර්ගත වේ. වැදූ මවටත්, මහපොළොවටත් , නිවනක් නැති බවට ප්‍රකාශ වන අවස්ථා ඇත. සමාජ විභවතාවන්හි මාතෘත්වය මහපොළොව මෙන් නිහඬව දරා සිටින ආකාරය මේ ගී පද රචනාවෙන් ගම්‍ය වේ.

දරුවන්ගෙන් වැරැදි සිදුවන අවස්ථාවල දී උපේක්ෂා සහගතව දරුවන්ට උපකාර කිරීම අම්මාගේ ස්වභාවයයි. අම්මා තුළ සිවිබඹ විහරණ ගුණ පැවැතීම එයට හේතු වේ. මෙත්තා හෙවත් මෛත්‍රි ගුණය, කරුණා හෙවත් කාරුණික චිත්තය, මුදිතා හෙවත් මෘදුභාවය,උපේක්ඛා හෙවත් සියල්ල මැදහත්ව මැනවින් දරාගැනීෙමි ස්වභාවය යන සිවිබඹ විහරණ වේ. මවක විසින් දරුවෙකු වෙනුවෙන් එවැනි උදාර කැප කිරීම් කරනු ලැබේ. ස්වභාව ධර්මය විසින් රතු රුධිරය කිරි බවට පත්වීමේ ස්වභාවයෙන් එම කැප කිරීමේ උතුම් ගතිය පසක් කරනු ඇත. එය ස්වභාවධර්මය විසින් මාතෘත්වයට පමණක් ආවේණික කර ලබාදුන් දායාදයකි. අම්මා තුළ පවතින ලක්ෂණ කිහිපයක් එම ගී පද රචනාව තුළ දක්වා ඇත. ලේ කිරි බවට පරිවර්තනය විමත්, මහපොළොව මෙන් නිහඬ නිසංසල ව වෘතය ආරක්ෂා කිරීමත්ය . අම්මා සතුව පවතින ඒ උතුම් ගතිගුණ හේතුකොට යහපත් පෞරුෂත්වයකින් හෙබි දරුවෙකු ලෙස ඔහු හෝ ඇය මෙලොවට බිහි වේ. අම්මා උදාර අර්ථයෙන් යුතු බවට දරුවා හඳුනාගැනීමට ද එය හේතු වේ.

එම ගී පද රචනාව තුළ සිංහල බෞද්ධ සංස්කෘතිය අපේක්ෂා කරන මාතෘත්වය පිළිබඳ අදහස උදාර අර්ථයකින් වර්ණානා කර ඇත. සමාජය තුළ මවිගුණ ගීත බහුල වශයෙන් ලියවුණ ද, එම ගීතය ගීත අතර විශේෂිත වේ. අම්මා පිළිබඳ අදහස, මාතෘත්වය පිළිබඳ අදහස උතුම් ලෙස වර්ණනා කර ඇත. තමාට ලැබුණ අම්මා තමාට අවශ්‍ය ආකාරයට ගුණ ධර්ම ඉෂ්ට නොකළ ද, මාතෘත්වය එයට වඩා වෙනස් ස්වභාවයක් ගනී. සෑම දරුවෙකුටම උතුම් අම්මා කෙනෙකු නොලැබිය හැකි ය. සෑම මවකටම උතුම් දරුවෙකු නොලැබිය හැකිය. සංසාරිකව කළ පින්දහම් අනුව, ලබා ඇති උරුම කරුමකම් හේතුකොට මව හෝ දරුවන් ලැබී ඇත. යා යුතු මග නොමග ඇඳින ඉදිරියට යාමට හැකිවන පරිදි ඔහුට හෝ ඇයට යහපත් ලෙස අර්ථවත් ජීවිතයක් ගතකිරීමට හැකිවන ලෙස දරුවන් තනනු ලබයි. දරුවා ප්‍රසූත කරනු ලබන්නේ ද එම මවම ය. ඇතැම් අම්මාවරු දරුවා ප්‍රසූත කළ ද නිවැරැදිව දරුවා හදන්නේ නැත.

ඇතැම් අම්මාවරුන් එම අංශ දෙකම සිදු කරයි. අපේ සිංහල සංස්කෘතියෙහි අම්මා බුදුවරයෙකු සේ සලකනු ලබයි. ගෙදර බුදුන් අම්මා යනුවෙන් ද ,ප්‍රකාශ වේ . නිවස තුළ දී දරවාට මඟ නොමග පහදා දෙන්නේ අම්මාය. දරුවෙකු කළ යුතු නොකළ යුතු දේ පහදා දෙනු ලබන්නේ අම්මාය.

මාතෘත්වය යනු ප්‍රඥාසම්පන්න අවබෝධපූර්වක ස්වභාවයකි. ප්‍රඥා සම්පන්න අවබෝධපූර්වක තැනැත්තියක විසින් සිංහල සංස්කෘතියට මග පෙන්වා පැහැදිලි කරදෙන බණ දහම එම ගීතය තුළ අන්තර්ගතව පවතී. උදාර අම්මාගේ ගති ස්වභාවය දෙස බලමින් අම්මාට ගයන උදාන ගීතයක් ලෙස ප්‍රාර්ථනාවක විලාසයෙන් රචනා වී තිබෙන එම ගීතය වේවා යන වචනවලින් අවසන් වේ. මව්ගුණ ගීත අතර විශිෂ්ට ගී පද රචනාවක් ලෙස එය හැඳින්විය හැකි ය.

 

අධිපොසොන් අව අටවක පෝය


අධිපොසොන් අව අටවක පෝය ජුනි 06 වනදා බදාදා පූර්වභාග 11.13 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 12.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 06 වනදා බදාදාය.

 

මීළඟ පෝය ජුනි 13 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20

Full Moonපසෙලාස්වක

ජූනි 27


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]