UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කඨිනත්ථාරය අනුමෝදන්වීම

කඨිනත්ථාරය අනුමෝදන්වීම

“කඨිනයක් දීම බොහෝ ම හොඳ යි. හුඟක් පින්සිදු වෙනවා.” කියා දායකයන්ට විස්තර වර්ණනා දැක්වීම පමණක් නොව යටත් පිරිසෙයින් තමන්ගේ අම්මාට තාත්තාටවත් ඒ පිළිබඳ විස්තර කර කඨිනයක් ලබා ගැනීමට ක්‍රියා කිරීමත් භික්ෂූන්ට අකැප බව මෙයින් වැඩිදුරටත් කියවෙනවා. එය කොපමණ අහඹු ලෙස, පුදුම ලෙස, සිදු වන අති උත්කෘෂ්ඨ පින්කමක් වෙනවා ද කියතොත් “ආකාසතො ඛතිණ්ණසදිසමෙව වට්ටතීති” යනුවෙන් කියවෙන විදියට “කඨින වස්ත්‍රයක් දායකයන් විසින් හිමිදිරි පාන්දර හිරු නගින අවස්ථාවෙහි භික්ෂූන් වස් විසූ ස්ථානයට පැමිණ එම වස්ත්‍රය බාර දෙන අවස්ථාව හරියට භික්ෂුවට දැනෙන්නේ අහසින් පාත් වූ වැනි අද්භූත සිදුවීමක් විදියට යි."

මෙම ලිපියෙහි පළමු කොටස ඉකුත් වප් පුර පසළොස්වක පෝදා පත්‍රයේ පළවිය.

දැන් අපට ගැටලුවක් මතු වෙනවා මොකක්ද මේ “කඨිනත්ථාරය අනුමෝදන් වෙනවා” යන්නෙහි තේරුම? කඨින සිවුර අතුරනු ලැබීමට යම් ස්ථානයක විහාරස්ථානයක, සෙනසුනක පෙරවස් වසා වස් ඡේදනය නො වී වස් පවාරණය කළ එක් භික්ෂුවක්, දෙනමක්, තෙනමක්, සිව්නමක් වේ ද ගණපූරණයට වෙනත් උපසම්පන්න භික්ෂුවක් හෝ පස්නමක් දක්වා හෝ ඊට වැඩි ප්‍රමාණයක් ගණපූරක භික්ෂූන් කොට සලකා කඨිනයක් ලැබිය හැකි ය. එහෙත් කඨිනය ඇතිරූ භික්ෂූන්ට ඇති වෙන ආනිසංස පහ වෙනත් ස්ථානයක වස් විසූ ගණපූරක භික්ෂූන්ට නො ලැබේ.

කඨිනත්ථාර අනුමෝදනාව හිමිවන්නේ එම ස්ථානයෙහි එකට පෙර වස් වසා මහා පවාරණය කළ භික්ෂූන්ට පමණක් ම ය. එමෙන් ම යම් ස්ථානයක දායකයන් විසින් පුදකරන කඨිනයත් ඇතිරීමේ භාග්‍යය හිමිවන්නේ ද එම ස්ථානයෙහි වස් විසූ එක් නමකට වැඩි භික්ෂූන් අතුරෙන් දුර්වල, ඉරුණු, දිරුණු, සිවුරු ඇති භික්ෂුවට ය. එවැනි භික්ෂූන් නොමැති නම් ඊට සුදුසු සංඝ සම්මතය ඇති භික්ෂුවකට ලැබිය හැකි ය. ඊ ළගට වැදගත් වන්නේ මොකක් ද? මේ චීවරයට මුලින් එන “කඨින” යන වචනයේ අර්ථයයි ස්ථිර කියන අර්ථය නිසා මේ කඨින යන වචනය භාවිත කෙරෙනවා. කුමක් පිළිබඳ ස්ථිර බව ද?

අනිකක් නොව මුලින් කියපු අනාමන්තචාර ආදි ආනිසංස පහ ස්ථිරව ම කඨිනය ලද භික්ෂුවට හා අනුමෝදන් වූ භික්ෂූන්ට ලැබෙන නිසා කඨින හෙවත් ස්ථිර යන අරුත හිමි වෙනවා. මේ ආනිසංසයන් මෙලොව දී ම එම අතුරපු භික්ෂුවට හෝ භික්ෂූන්ට ලැබීම යි මෙහි ස්ථිර ගුණ ය. කඨින පූජාව බොහෝ බුදුවරයන් විසින් ප්‍රසංශා කොට ඇති නිසාත් මෙහි ස්ථිර බව තහවුරු වෙනවා. එමෙන් ම බණපොතේ කියන විදියට අටමහා කුසල්වල ප්‍රබල ආනිසංසදායක මහා පින්කම යි. ඒ වගේම තවත් වැදගත් කරුණක් වන්නේ භික්ෂූන් වහන්සේගේ වස් විසීම් අතුරෙන් පසු වස් විසූ භික්ෂූන්ට එනම් ඇසළ පුරපසළොස්වක දින නොව ඊළගට එළඹෙන නිකිණි පුරසළොස්වක දින පොහොය කර්ම සිදු කොට පසු දින පසු වස් විසූ භික්ෂූන් වහන්සේට ද කඨිනයකට හිමිකමක් ඇති වන්නේ නැහැ.

පෙරවස් විසූ, වස් නො කැඩුණු භික්ෂූන් වහන්සේට පමණක් හිමිවන කඨින ලාභයට හිමිකම ඇත්තේ ඒ වස් විසූ ස්ථානයෙහි දී ම කඨින පූජාවක් සැදැහැවතුන් විසින් සිදු කළහොත් පමණක් ම යි. තමන් පෙර වස් නො විසූ වෙනත් ස්ථානයක කරන පූජාවක් ලැබීමට එම භික්ෂූන් වහන්සේට හිමිකමක් ලැබෙන්නේ නැහැ. කඨිනයක් පූජා කිරීම සඳහා යොදා ගත හැකි වන්නේ කුමන ආකාරයේ සිවුරක් ද යන්නත් මෙහි දී තේරුම් ගැනීම වටිනවා. තනිපට සිවුර, දෙපට සිවුර, අඳනය යන තුන් සිවුරෙන් කුමන සිවුරක් හෝ සිවුරක් කිරීමට අවශ්‍ය තරමේ වස්ත්‍රයක් පූජා කළ හැකි ය.

මෙහි දී ඇතැම් කෙනෙක් ප්‍රකාශ කරන මතයක් තිබෙනවා. සමහර අයගේ මතයක් තිබෙනවා සිවුරක් සඳහා වස්ත්‍රයක් ම කඨින චීවරය සඳහා පූජා කිරීම නිවැරදි බව. මාතිකට්ඨකථා වූ ක¼ඩ්ඛාවිතරණී නම් ප්‍රාතිමෝක්ෂ වර්ණානාවෙහි කියැවෙන්නේ සිවුරක් ම කඨිනය සඳහා පූජා කරන්නේ නම් වඩාත් හොඳ බවයි. කෙසේ වුවත් මෙහි දී අප විසින් තෙරුම් ගත යුතු වන්නේ මේ විනයානුකූල සිවුරක් හෝ ඊට සුදුසු වස්ත්‍රයක් යන දෙයාකාර ක්‍රමයන් අතුරෙන් එකක් අනුගමනය කිරීම වඩාත් සුදුස බව.

මෙහි දී තවත් දෙයක් තේරුම් ගතයුතු වෙනවා. කඨින වස්ත්‍රයක් සිවුරක් ලෙස සකස් කොට ලබා ගැනීම සඳහා දායකයන් විසින් භික්ෂූන් වහන්සේට පිළිගැන් වූ විට එය සිවුරක් කිරීමේ වගකීම සංඝයා විසින් දරන බැවින් එහි වාසය කරන ස්ථවිර, නවක හා මධ්‍යම යන සියලු ම භික්ෂූන් එක් වී සිවුර නිම කිරීම සඳහා මහත් සැලකිල්ලෙන් විනයානුකූල ව සියලු කටයුතු කොට එදවස ම සුදුසු භික්ෂුවට පැමිණ වීම කළ යුතු වෙනවා.

එමෙන් ම දායක පක්ෂය කඨින වස්ත්‍රය සංඝයා වෙත පිරිනැමිය යුත්තේ හිරු උදාවෙන අවස්ථාවෙ යි. මෙම කඨින මහා පින්කම වඩා සීරු මාරුවෙන් කල්පනාකාරීව දායක හා ප්‍රතිග්‍රාහක යන දෙපක්ෂය විසින් ම මහත් වූ සැලකිල්ලෙන් කළ යුතු වෙනවා. කඨින චීවර මහාපින්කම දුර්වල වීම සඳහා හේතු වන කරුණු විසිහතරක් අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. ඒ ගැනත් සැලකිලිමත් වීම විශේෂයෙන් වැදගත් වෙනවා. ඒ ගැන දීර්ඝව පෙන්වා දෙන්ට මේ අවස්ථාව නොවෙයි. මේ කාරණයෙහි දී අප දැනුවත්ව හෝ නො දැනුවත් ව එක අඩුපාඩුවක් සිදු කර ගන්නවා.

ඒ කරුණු 24 තුළ එය සඳහන් වෙනවා. “කඨින” යන වචනය පවා කඨින චීවර පුජාවක් සිදුවන ස්ථානයක එදිනට පෙර එහි වස්විසූ භික්ෂූන් වහන්සේ විසින් භාවිත නො කළ යුතු වෙනවා. එය එහෙම වුණොත් දහමට පටහැනි වෙනවා. එය දායක පක්ෂයේ වැඩක් මිස වස් විසූ සංඝයා සතු දෙයක් නොවේ. කඨින පින්කම සිදු වීමට පෙර එහි අනිසංස වර්ණනා ඉදිරිපත් කිරීම භික්ෂුන් වහන්සේ විසින් නොකළ යුතු වෙනවා. බුද්ධ දේශනාව අනුව “න පරිකථාකතෙන අත්ථතං හොති කඨිනං” කියා කියවෙන්නේ කඨිනයක් ලැබීමට පෙර භික්ෂූන් විසින් කඨිනය පිළිබඳ විස්තර වර්ණනා නො කළයුතු බවයි.

“කඨිනයක් දීම බොහෝ ම හොඳ යි. හුඟක් පින්සිදු වෙනවා.” කියා දායකයන්ට විස්තර වර්ණනා දැක්වීම පමණක් නොව යටත් පිරිසෙයින් තමන්ගේ අම්මාට තාත්තාටවත් ඒ පිළිබඳ විස්තර කර කඨිනයක් ලබා ගැනීමට ක්‍රියා කිරීමත් භික්ෂූන්ට අකැප බව මෙයින් වැඩිදුරටත් කියවෙනවා. එය කොපමණ අහඹු ලෙස, පුදුම ලෙස, සිදු වන අති උත්කෘෂ්ඨ පින්කමක් වෙනවා ද කියතොත් “ආකාසතො ඛතිණ්ණසදිසමෙව වට්ටතීති” යනුවෙන් කියවෙන විදියට “කඨින වස්ත්‍රයක් දායකයන් විසින් හිමිදිරි පාන්දර හිරු නගින අවස්ථාවෙහි භික්ෂූන් වස් විසූ ස්ථානයට පැමිණ එම වස්ත්‍රය බාර දෙන අවස්ථාව හරියට භික්ෂුවට දැනෙන්නේ අහසින් පාත් වූ වැනි අද්භූත සිදුවීමක් විදියට යි.

ඉතින් මේ ගැනත් අප වඩාත් කල්පනාකාරි වීම දායක ප්‍රතිග්‍රාහක දෙපක්ෂයට ම ආනිසංස ලැබෙන මේ මහා පින්කම තව තවත් සරු කර ගැනීමට හේතු වෙනවා.

 

වප් අව අටවක පෝය


වප් අව අටවක පෝය ඔක්තෝබර් 12 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.56 ට ලබයි.
13 වන දා සිකුරාදා පූර්ව භාග 04.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 12 වන දා බ්‍රහස්පතින්දා ය.


මී ළඟ පෝය ඔක්තෝබර් 19 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12

Full Moonඅමාවක

ඔක්තෝබර් 19

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk