UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කඨින සිවුරේ වටින කථාව

කඨින සිවුරේ වටින කථාව

" කඨින සිවුරු අතුරණු ලැබූ යම් භික්ෂුවක් වෙයි නම් හෝ කඨිනත්ථාරය අනුමෝදන් වූ සද්ධිවිහාරික භික්ෂූන්ට මේ කඨින ලාභය නිසා ම ඒ අවස්ථාවේ දී ම ආනිසංස පහක් භුක්ති විඳීමේ ඉඩ ප්‍රස්ථාව ලැබෙන බවත් බුදුරජාණන් වහන්සේ වදාළා. මොනවා ද ඒ ආනිසංස පහ? එකම ආවාස පෙළක වැඩවසන සද්ධිවිහාරික භික්ෂූන් වහන්සේට දැනුම් දීමක් නො කර අවට ගමෙහි හැසිරීමට හැකි බව කියැවෙන අනාමන්තචාරය නම් ආනිසංසය හිමි වෙනවා."

අද වප් පුර පසළොස්වක පොහෝ දිනය යි. පෙර වස් සමාදන් වූ සියලු ම උපසම්පන්න භික්ෂූන් වහන්සේ මෙදින වස් පවාරණය සිදු කරනවා. ඒ කියන්නේ පෙරවස් කාලය එතනින් අවසන් වෙනවා. ඒ දවසේ සිට තවත් මාසයක් ගත වන විට ඉල් පුරපසළොස්වක දිනය එළඹෙනවා.

මේ ඉල් පෝය යෙදී තිබෙන්නේ දැනට භාවිත මාස ක්‍රමය අනුව නම් නොවැම්බර් මාසයේ 03 වැනිදා ටයි.බෞද්ධ වත සිරිතට අනුව අපේ බොදු පිළිවෙත්වල “චීවර මාසය” කියලා කියන්නේ මේ වප් පෝය දින සිට ඉල් පෝය දක්වා වන මාසයට යි. ඒ කාලය තුළ වස්විසූ භික්ෂුන් වහන්සේට වස්සාවාසික සිවුරු පුජා කරමින් අපේ බෞද්ධ උපාසක උපාසිකාවෝ පින් සිදු කර ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දවස සිට මේ දක්වා ම වසර 2600 කට වැඩි කාලයක් තුළ මේ පින්කම් බොහොම උත්කර්ෂවත් ව සිදු වෙනවා. චීවර මාසය තුළ අපේ බෞද්ධයෝ අටමහා කුසල් අතර පළමු වැනි වශයෙන් සලකන කඨින සිවුරු පූජාව මහත් ශ්‍රද්ධාවෙන් සිදු කරනවා. චීවර මාසය තුළ පමණක් සිදු කරන්නට පුළුවන් පින්කම වන්නේ මේ කඨින චීවර පූජාව යි.

කඨින සිවුරේ ආරම්භය

එක කාලයක බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරනවා. ඒ කාලයේ පාවා නුවර වාසය කළ ආරණ්‍යවාසි ව ජීවත් වූ, පිණ්ඩපාතයෙන් යැපුණු, පාංශුකුල චීවර වස්ත්‍ර පරිභෝග කළ, තුන්සිවුරෙන් සැරසුණු භද්දවග්ගිය නම් තිහක් වූ භික්ෂූන් වහන්සේලා පිරිසක් වැසි කාලය ආසන්න වෙමින් තිබිය දී බුදුරජාණන් වහන්සේ දැක සැවැත්නුවර වස් වසන්නට සිතා සිටියත් ඒ අරමුණ ඉටු කර ගන්නට නො හැකි ව අතරමග සාකේත නුවර වස් විසුවා.

ඉතින් මේ සාකේත නුවර සිට සැවැත් නුවරට තව යා යුතු ව තිබුණේ යොදුන් සයක පමණ වූ දුරක්. ඉතින් “අපිට මෙච්චර ළඟට ඇවිදිනුත් සැවැත්නුවරට ගොස් බුදුරජාණන් වහන්සේ දැක ධර්මශ්‍රවණය කරලා ම වස් එළඹෙන්ට බැරි වුණා නේ ” කියන කළකිරුණු සිතින් ම සාකේත නුවර වස් වසන්ට උන්වහන්සේලාට සිදු වුණා. මේ තිස්දෙනා අතරෙන් වැඩිහිටි බවෙන් වැඩි භික්ෂුව අනාගාමි ඵලයට පත් ව සිටියා. වයසින් බාල ම භික්ෂුව සෝවාන් වී සිටියා. එක ම භික්ෂුවක වත් පෘතග්ජන ව සිටියේ නැහැ. තිස්දෙනා ම ආර්ය මාර්ගයට පත්වෙල යි හිටියේ.

ඉතින් මේ තිස්නම වස් තුන් මාසය අවසන් වූ විට වස් පවාරණය කරලා තවත් වැස්ස යම් පමණකට වසිද්දී ම, ජලගැලීම් පවතිද්දී ම, මහමග වලගොඩැලිවල මඩෙන් වගේ ම බොර වූ මඩ වතුරෙන් ගොහොරු වී තිබිය දී ම, සිවුරුත් තෙමාගෙන තෙතබරිත සිවුරු හා මඩතැවරී ඇති සිවුරු නිසා මහත් බරක් ශරීරයට ද දැන දැනී තිබෙන වේලාවේ බොහොම දුෂ්කරතා විඳීමින් ක්ලාන්ත ගති ඇති ව ම බුදුරජාණන් වහන්සේ දැකීමට සැවැත් නුවර ජේතවනාරාමයට වැඩම කළා.

කඨින සිවුර අනුදනිමි

බුදුරජාණන් වහන්සේ මේ තිස්නමක් වූ භික්ෂු පිරිස අමතා මග තොට තොරතුරු වගේ ම සැප සනීපත් විමසුවා. වස් විසූ කාලයෙහි ප්‍රත්‍ය පහසුකම් ලැබුණා ද? ආදි වශයෙන් තොරතුරු ත් විමසා සිටියා. ඒ අවස්ථාවේ දී ඒ තිස් නම බුදුරජාණන් වහන්සේට මහමග දී වැස්ස නිසා ඇති වූ මේ කටුක තත්වය පැහැදිලි කළා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ සිතට ගත්තා “මම මගේ ශ්‍රාවක භික්ෂූන් වහන්සේට වස් කාලය අවසන් වූ විට කඨින සිවුරක් පිළිගැනුමට අනුදැන වදාරා තිබුණා නම් මගේ මේ ශ්‍රාවක පිරිස මේ විදිහේ ගැහැටක් විඳීන්නේ නැහැ. පෙර බුදුවරුනුත් එසේ කඨින සිවුරු අනුදැන වදාරා තිබෙනවා. එහෙම තිබුණා නම් තුන් සිවුරෙන් වෙන් ව වස් පවාරණය කර උත්තරාසංගයෙන් සැවැත් නුවරට එන්නට ඉඩ තිබුණා.

එහෙම වුණා නම් අතිරේක සිවුරක් වන මේ කඨින චීවර ලාභය නිසා තෙත බරිත සිවුරෙන් තොරව කඨින සිවුර පෙරවා පහසුවෙන් මේ ගමන කර ගන්නට ඉඩ තිබුණා නේ ද? කියලා මෙනෙහි කර “මහණෙනි, වස්වසා නිම වූ විට ඒ භික්ෂූන් වහන්සේට කඨින සිවුරක් ඇතිරීම අනුදනිමි“ වදාරා එම නියමය පැනෙව්වා.

ඒ පැනවීම නිසා කඨින සිවුරු අතුරණු ලැබූ යම් භික්ෂුවක් වෙයි නම් හෝ කඨිනත්ථාරය අනුමෝදන් වූ සද්ධිවිහාරික භික්ෂූන්ට මේ කඨින ලාභය නිසා ම ඒ අවස්ථාවේ දී ම ආනිසංස පහක් භුක්ති විඳීමේ ඉඩ ප්‍රස්ථාව ලැබෙන බවත් බුදුරජාණන් වහන්සේ වදාළා. මොනවා ද ඒ ආනිසංස පහ? එකම ආවාස පෙළක වැඩවසන සද්ධිවිහාරික භික්ෂූන් වහන්සේට දැනුම් දීමක් නො කර අවට ගමෙහි හැසිරීමට හැකි බව කියැවෙන අනාමන්තචාරය නම් ආනිසංසය හිමි වෙනවා. ඒ අනුව එම ආනිසංසය චීවරමාසය පුරාමත් ඉන් අනතුරුව තවත් මාස හතරක් තුළත් භුක්ති විඳීමේ අයිතිය හිමිවෙනවා. එනම් මැදින් මස පුර පසළොස්වක පොහෝ දින දක්වා මාස හතරක්. එහෙම වුණත් කඨින සිවුරක් නො ලැබූ භික්ෂුවක් එසේ සමීපයෙහි වාසය කරන භික්ෂූන්ට දැනුම් නො දී ගමෙහි ගෙවල්වල හැසිරෙනවා නම් පචිති ඇවැත් සිදු වෙනවා. දෙවනු ව තුන්සිවුර නො ගෙන පිටතට යාමෙන් සිදුවෙන චීවරවිප්පවාස ඇවැතෙන් නිදහස් වීම නම් අසමාදානචාරය නමැති ආනිසංසය ද ලැබෙනවා. ඕනෑම භික්ෂුවක් දවසේ අරුණු නැගිය යුතු වන්නේ තුන්සිවුර අත්පස තබා ගෙන යි.

ගණභෝජනය

ඒ වගේ ම ගණභෝජන නම් පචිති ඇවතින් මිදීමේ ශක්තිය කඨින සිවුරක් ඇතිරූ භික්ෂුවට හිමිවෙනවා. ගණභෝජනය නම් සිවුනමකට වඩා අඩු භික්ෂු පිරිසකට “අපගේ ගෙදර අද දවසේ බතට වඩින්නයි” හිතවත් කමට වගේ කරන ආරාධනාවක් පිළි ගැනීමේ අයිතිය කඨිනය ලද භික්ෂුවට හිමි වීම යි. එසේ නො වන භික්ෂුවට එයින් ගණභෝජන පචිති ඇවත සිදු වෙනවා. හතරවන ආනිසංසය වන්නේ කඨින සිවුරු ලද භික්ෂුවට අධිට්ඨාන වික්කප්පන නො කළ සිවුරු පිරිකර කැමැති තාක් පරිභෝග කරන්නට ලැබීම යි.

එනම් යාවදත්ථ චීවරං ආනිසංසය යි. කඨින සිවුරක් නො ඇතිරූ භික්ෂුව එවැන්නක් කළොත් සාහතික්කන්ත ඇවැතට පත් වෙනවා. පස්වැනි ආනිසංසය වන්නේ කඨිනය ලද භික්ෂුවට කඨිනය ඇතිරූ ස්ථානයෙහි සාංඝික වශයෙන් හෝ මතක වස්ත්‍ර වශයෙන් යම්තාක් සිවුරු පිරිකර ලැබුණත් ඒ සියල්ල තමා සන්තකයෙහි තබා ගැනීමට ඇති අයිතිය ප්‍රකාශ වන යො ච තත්ථ චීවරුප්පාදො කියන ආනිසංසය හිමිවෙනවා. මෙහි දී විශේෂයෙන් සැලකිය යුතු වන්නේ කඨින ඇතිරීම අනුමෝදන් වූ සෙසු භික්ෂූන් වහන්සේට ද මේ ආනිසංස පහ ම ලැබෙනවා කියන කාරණය යි.

- මෙම ලිපියෙහි ඉතිරි කොටස වන කඨිනත්ථාරය යනු කුමක්ද? වප් අව අටවක පෝදා ඔක්තෝබර් 12 වන දා පත්‍රයේ පළෙවි.

 

වප් පුර පසළොස්වක පෝය


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 05 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 1.47 ට ලබයි. ඔක්තෝබර් 06 වන දා සිකුරාදා පූර්ව භාග 00.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 05 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 12 වන දා බ්‍රහස්පතින්දාය ය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12

Full Moonඅමාවක

ඔක්තෝබර් 19

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]