UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සතර අගතියෙන් වෙන්වීම හා සහජීවනය: තමන්ගේ කැමැත්ත සියල්ලන්ගේ ම කැමැත්ත ද?

සතර අගතියෙන් වෙන්වීම හා සහජීවනය:

තමන්ගේ කැමැත්ත සියල්ලන්ගේ ම කැමැත්ත ද?

" ද්වේෂයෙන් අගතියට යාම තුළ ගම් අතර, පළාත් අතර, රටවල් අතර, ආගම් ජාති අතර මහත් කෝලාහල නිර්මාණය වේ. භාෂාව හෝ ආගම, පුද්ගල ශරීර වර්ණය මත ප්‍රශ්න ඇතිවී එය වෛරයක් බවට පත්වුවහොත් ඇතිවන හානිය බලපානු ලබන්නේ එයට මුල්වන අදූරදර්ශී ක්‍රියාවන්ට මුල පිරූ පිරිසට පමණක් නොවේ"

අගතිගාමී වීම යනු නුසුදුසු නොමනා ක්‍රියාවන් කිරීමට පෙළඹීම යි. කෙනෙකුගේ හෝ පිරිසකගේ පැවැත්ම වෙනුවෙන් තවත් පිරිසකට හානි පැමිණෙන්නේ නම්, එය යහපත් නොවේ. කොසොල් රජු සිහින දහසයක් දැක අතිශයින් බියට පත්විය. බමුණන් විසින් රජු ඉන් මුදවා ගැනීමට ‘සබ්බ චතුක්ක යාගය’ සුදුසු යැයි නිර්දේශ කරනු ලැබී ය. මල්ලිකාව රජුගෙන් විමසනුයේ, යාගය සත්ත්ව ජීවිත මෙන් ම අනියමාර්ථයේ දේපළ ද විනාශ කරන නිසා කෙනෙකුට අයහපතක් කොට තව කෙනෙකුට ආශීර්වාදයක් ලැබිය හැකිද? යනුවෙනි. අගතිය කුමනාකාර ද යන්න මෙයින් තේරුම් ගත හැකි ය.

සතර අගතියෙන් යුක්ත වීම සාමය, සමගිය, සහජීවනයට මහත් බාධාවකි. එකිනෙකා තුළ නිදහස ජීවත්වීම හා දේපළ රැකගනිමින් කටයුතු කිරීම උදෙසා සතර අගතියෙන් ඉවත්ව ක්‍රියාකළ යුතුව ඇත. බුදුදහමට අනුව අගතිගාමී වන කරුණු හතරකි. එනම් ඡන්දය, ද්වේෂය, භය, මෝහය යනුවෙනි.

ඡන්දය නම් කැමැත්තෙන් අගතියට යාම ය.

ද්වේෂය යනු තරහෙන් අගතියට යාම ය.

භය නම් වරප්‍රසාද නැතිවේයැයි භයෙන් අගතිගාමී වීමය.

මෝහය නම් මෝහයෙන් අගතිගාමී විම ය.

ක්ෂණික ලාබය ද? දෙලොව යහපත ද?

අගතිගාමී වීම තුළ ඇතැම්විට ක්ෂණික ලාභ ලැබිය හැකිවේ. එහෙත් දෙලොව අයහපත ඇති කරවීමට මෙය ඉවහල් වේ. එය නතර කළ නොහැක. අගතිගාමී වීම නිසා ඇතිවන ප්‍රධාන පාඩුව, අලාභය වන්නේ තම පැවැත්මට හා පෞරුෂයටයි.

ඡන්දා දෝසා භයා මෝහා
යෝ ධම්මං අතිවත්තතී
නිහීයති තස්ස යසෝ
කාලපක්ඛේව චන්දිමා

ඡන්දය, ද්වේෂය, භය, මෝහය නිසා යමකු ධර්මය ඉක්මවා කටයුතු කරයි ද, ඔහුගේ කීර්තිය කළුවර පස සඳ මෙන් පිරිහීමට යයි. කෙනෙක් සතර අගතියෙන් වෙන් ව කර්ම කර්ම ඵල අදහමින් කටයුතු කරන්නේ නම්, ඔහුට දෙලොව වැඩදායක ය.

ඡන්දා දෝසා භයා මෝහා
යෝ ධම්මං නාතිවත්තතී
ආපුරති තස්ස යසෝ
සුක්කපක්ඛේව චන්දිමා

ඡන්ද, ද්වේෂය, භය, මෝහය නිසා යමකු ධර්මය ඉක්මවා කටයුතු නොකරයි ද, ඔහුගේ කීර්තිය පුර පක්ෂයේ සඳමෙන් බැබළීමට පත්වේ.

කුමන ආගමක් විශ්වාස කළ ද, මෙම ධර්මතාවය හැමෝටම පොදු ය. පක්ෂ, පාට, ජාති, ආගම්, කුල බේදයකින් තොරව සියල්ලෝ ම යහපත් සාමකාමී දිවියක් ගත කිරීමට කැමැති වෙති. එහෙයින් ඉහත දක්වන ලද සතර අගතියෙන් වෙන් ව කටයුතු කිරීම දෙලොව මහත් ලාභයකි.

කැමැත්තෙන් අගතියට යාම

ඡන්දය යනු කැමැත්තයි. එය පෘථග්ජන ලෝකයේ දැකිය හැකි තත්ත්වයකි. නිවන් ලබනතුරු අඩු වැඩි වශයෙන් මේ තත්ත්වය දැකිය හැකි ය. මෙහි දී පැන නගින ගැටලුව වන්නේ කැමැත්තෙන් අගතියට යාමයි. එහි දී මව, පියා, බිරිඳ, දියණිය, වැඩිහිටියන්, ගුරුවරුන් ශ්‍රමණ බමුණන් හඳුනා නොගන්නා තත්ත්වයක් උද්ගත වේ. තම අරමුණ වෙනුවෙන් බොහෝ අයහපත් ක්‍රියාවන්ට පෙළඹේ. මෙහි දී නෑදෑකම, හිතවත්කම, අසල්වැසිකම හෝ තම ජාතිය, ආගම, පන්තිය, පක්ෂය සලකා නීතියට පටහැනි සදාචාර විරෝධී, අයුක්ති සහගත අසාධාරණ කටයුතුවලට පෙළඹේ. එය උචිත, සිදුවිය යුතු දෙයක් නොවේ. එසේ ම නිලතල, තනතුර, වගකීම් ලබාදීමේ දී ඡන්දයෙන් අගතියට ගිය පිරිස් ගැටුම් ඇතිවන අයුරින් නුසුදුස්සන්ට පවා වගකීම් පැවරීමට සූදානම් වේ. සහෝදරයා දුව පුතා, ඥාතියා වූ පමණින් තනතුරු ලබාදීමට එය සුදුසුකමක් ලෙස නොසැළකිය යුතු ය.

ඡන්දයෙන් අගතියට ගිය විට මිනිසුන් බොහෝ ආත්මාර්ථකාමී වෙයි. තම පවුල, තම ජාතිය තම ගම, නගරය, පක්ෂය, පාට ලකුණ, තම ආගම ලෙස සමාජය රට බෙදාගැනීමට පෙළඹේ. එය කණ්ඩායමක් ලෙස පී‍්‍රතිය උද්යෝගය ඇති කිරීමට සමත් වුව ද පොදුවේ ගත් කල යහපත් තත්ත්වයක් නොවේ. ගෝත්‍රික ජනයා තම නායකයා, තම ගතිපැවැතුම්, හා ගෝත්‍රික සිරිත් විරිත් වෙනුවෙන් සටන් කර ශරීර ශක්තිය මත ජයග්‍රහණ අත්පත් කර ගනී. එහි දී අනෙක් කණ්ඩායම්වලට බරපතල හානියක් සිදුවේ. එම ගෝත්‍රික කණ්ඩායමට අනුව එය යහපත් වුව ද පොදුවේ මහත් අසහනයකි. තම කැමැත්ත සියල්ලන්ගේ ම කැමැත්ත නොවේ. ස්වාසිලන්තයේ රජුගේ ක්‍රියාකාරකම් රාගයෙන් අගතියට යාම නිසා අන්තගාමී වී ඇති අයුරු හඳුනාගත හැකි ය. එහි අයහපත සමස්ත රටම අගාධයට හෙළීමට සමත් ය. සෞඛ්‍ය ආර්ථික ප්‍රශ්න වැඩිවී රටක් ලෙස පිරිහීම විෂයෙහි මෙය හේතුවකි. ඇතමුන් ගෝත්‍රික වීම හොඳ යැයි අනුමත කරනුයේ තම අභිමතය මත කාමභෝගී සම්පත් අසාධාරණ ලෙස භුක්තිවිඳීමේ කැමැත්ත නිසා ය.

අසහනය ඇතිවන හැටි

ඡන්දයෙන් අගතියට යන පුද්ගලයා සැබෑ අවශ්‍යතාවය සඟවා තම අරමුණට යාම සඳහා සිත්ගන්නා කාරණා ඉදිරිපත් කිරීමට තරම් කුහක බවට පත්වේ. එහි ඇති අවාසිය සහ අයහපත් බලපෑම මත අසහනය, අරගලය උද්ඝෝෂණ, කළකිරීම්, විනාශය, පරිහානිය ඇතිවේ. මේ තුළ පුද්ගලයන් වශයෙන් ද සමාජයක් වශයෙන් ද දීර්ඝ කාලීනව සිදුවන අයහපත විනාශය සුළුපටු නොවේ. හදවතින් නොව බුද්ධියෙන් මේ පිළිබඳව සිතා බැලිය යුතු ය.

කෙලෙස් ප්‍රහීණ නොකළ සෑම කෙනෙක් තුළ ම තරහ ඇතිවීම ස්වාභාවික ය. තරහ ඒම හෝ යාම පෘථග්ජන බවත් සමඟ එකට බැඳී ඇත. ද්වේෂය, තරහව, යහපත් ලක්ෂණයක් නොවේ. කැමති දේ නොලැබීම, අකැමැති දේ ළංවීම, අපේක්ෂා කඩවීම වැනි තත්ත්වයන් තුළ දී හිතේ ඇතිවන ගැටුම ද්වේෂයකි. ඇතැම් විට මෙය ඇතිවී නැති වී යන සුළු ය. ද්වේෂයෙන් අගතියට යාම භයානක ප්‍රතිඵල භුක්තිවිඳීමට සිදුවේ. බද්ධ වෛරයක්, ව්‍යාපාදයක් වූ විට සිදුවන අයහපත අතිමහත් ය. ද්වේෂය තරම් අපරාධයක් නැත. (නත්ථි දෝස සමෝකලී) කාලි යක්ෂණිය, දෙව්දත් චරිත තුළින් මෙය හඳුනාගත හැකි ය. එසේ ම හිට්ලර්ගේ චරිතය කදිම නිදසුනකි. එතුමා නිර්මාංශි, මත් පැන් පානය නොකළ, බහු භාර්යා සේවනය නොකළ දක්ෂ සංවිධාන ශක්තියක් තිබූ නායකයෙකි. එහෙත් ඔහුට හදවතක් නොතිබුණි. පළිගැනීම කලාවක් නම් ඔහු එහි නිර්මාතෘවරයා ය. එහි ප්‍රතිඵලය වූයේ වසර 52 පමණ වන විට තම ජීවිතය පවා අහිමි වීමයි. මෙය ද්වේෂයෙන් අගතියට යාමේ නරක ප්‍රතිඵලයන් ය.

පළිගැනීමට හේතුව

ද්වේෂය බද්ධ වෛරයක් වූ විට එකිනෙකාගෙන් පළිගැනීමට පෙළඹේ. එසේ ම සුදුස්සාට සුදුසු තැන නොදීම, වරප්‍රසාද වැළැක්වීම, කරදර හිරිවැරවලට පත්කිරීම, නැති වැරදි පැටලවීම, නොකළ වැරැදි සඳහා චෝදනා කිරීම, මනුෂ්‍ය ඝාතන, ගෙවල් ගිනිබත් කිරීම, දේපළ විනාශ කිරීම වැනි කෲර ක්‍රියාවන් සිදුකරයි. ද්වේෂයෙන් අගතියට යාම තුළ ගම් අතර, පළාත් අතර, රටවල් අතර, ආගම් ජාති අතර මහත් කෝලාහල නිර්මාණය වේ. භාෂාව හෝ ආගම, පුද්ගල ශරීර වර්ණය මත ප්‍රශ්න ඇතිවී එය වෛරයක් බවට පත්වුවහොත් ඇතිවන හානිය බලපානු ලබන්නේ එයට මුල්වන අදූරදර්ශී ක්‍රියාවන්ට මුල පිරූ පිරිසට පමණක් නොවේ. දෙමළ වීම සහ උතුරේ වීම මත යථාර්ථය තේරුම් නොගෙන වසර 30 කට ආසන්න කාලයක් පැවති උතුරු අර්ධද්වීපයේ ත්‍රස්තවාදී ගැටුමට මුල. ද්වේෂය සහ පුද්ගල ගෞරවය පිළිබඳ ඉතා ප්‍රාථමික කාරණා සමූහයකි. ඒ මත එක් ත්‍රස්තවාදී කණ්ඩායමක් සමස්ත දෙමළ ජනයාගේ නියෝජිතයා ලෙස පෙනී සිටිමින් වෛරය වපුරා තම අභිලාෂ ඉටු කර ගැනීමට එය අවස්ථාවක් කරගත් හ. ඔවුනට එවැනි තැනකට පත්වීමට මූල බීජ සැපයීමෙන් අප වැළකිය යුතුව තිබුණි. මේසා විශාල හානියක් සිදුකිරීම හේතුව ද්වේෂයෙන් අගතියට යාමයි. තමන්ට තමන්ගේ දේපළ, දරුවන්ට ඇති කැමැත්ත, අනුන් උදෙසා නැති බවයි. එය ද්වේෂය යි.

බිය නිසා අගතියට යාම

භය හෙවත් තම තත්ත්වය සඳහා පහත් වැඩ කිරීම සමාජ ව්‍යසනයට හේතුවේ. තම තනතුර සහ වරප්‍රසාද නැතිවේය යන බියෙන් ඇතමුන් පහත් කටයුතු, සදාචාර විරෝධී කටයුතුවල නියැළෙයි. තමන්ට ලැබෙන වස්තුව සහ සමාජ පෞරුෂයට හානි වෙතැයි බියෙන් නොකළයුතු අසාධාරණකම් සිදුකිරීම දක්නට ලැබේ. නෑදෑයිනට, බලවතුනට, ශරීරශක්තියට, මුදල් ඇති අයට ඇති බිය මත අනවශ්‍ය කටයුතු සඳහා පෙළඹීම සාමාන්‍ය වේ. භය නොයෙක් ආකාරයෙන් ක්‍රියාත්මක වේ. කෙනෙකු දියුණුවෙනවා දකින්න අකැමැති පිරිස් කේළාම්කීම, පෙත්සන් ලිවීම, කෑම සඳහා වස විෂ එකතු කිරීම වැනි පහත් ක්‍රියා සිදුකරයි. තමන්ට නොහැකි වූ දෙය අනෙකා සිදුකළහොත් එය තමන්ට අවාසියක් වේ යැයි සිතා නොකළ යුතු බොහෝ දෑ ඇතමුන් සිදුකරයි. තමන් ගැන, තම බඩ ගැන, තම වරප්‍රසාද පිළිබඳ සිතා කරන ඇතැම් ක්‍රියාවන් සමාජයක් නොනැගීමට හේතුවිය හැකි ය. එය භයෙන් අගතියට යාමයි.

නොදන්නකම යථාර්ථවාදීව බැලීමට නොහැකි බව මෝහය යි. නිවන් දකිනතුරු අඩුවැඩි වශයෙන් මේ තත්ත්වය දැකිය හැකි වේ. අවිද්‍යාව ලෙස පුළුල් ව දක්වනුයේ ද මේ ස්වභාවයයි. මෝඩ, ප්‍රාථමික, ගොරෝසු ස්වභාවයන් පෙන්නුම් කරන්නේ මෝහයෙන් අගතියට යාම තුළිනි. මෝහය පැහැදිලිවන අවස්ථා ලෙස කරුණු නොදැනීම, තර්කණයෙහි අදක්ෂ වීම, පුහුණුවක් නැති බව උචිත හැසිරීම් නොමැතිකම විශේෂ වේ. උචිත ගැළපෙන ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම තුළ තමා පමණක් නොව සමස්තය විනාශයට පත්වේ. රජුගේ සිරුරේ වහන ලද මැස්සාට කඩුවෙන් කෙටුවා වැනි මහ විපත් ඇති වේ. ගතයුතු ක්‍රියාමාර්ග තිබිය දී අනුචිත මෙන් ම ජනපි‍්‍රය තීරණ ගැනීම දර්ශනයක් නොමැතිකමේ ගැටලුවයි. එදා වේල කෙසේ හෝ සපයා ගැනීම අනුමත කළ නොහැක.

කුමන තරාතිරමක සිටිය ද අගතිගාමී වීම නුසුදුසු ය. තම වගකීම අපක්ෂපාතීව ඉටුකළ යුතු වේ. එවිට අසාධාරණ, අයුක්තිසහගත දෑ සිදුනොවේ. අගතිගාමී නොවී අවංකව කටයුතු කරන්නාගෙන් සමාජයට සිදුවනුයේ මහත් ලාභයකි.

 

බිනර පුර අටවක පෝය


බිනර පුර අටවක පෝය අගෝස්තු 29 වනදා අඟහරුවාදා පූර්ව භාග 00.36 ට ලබයි. 30 වනදා පූර්ව භාග 02.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 29 වනදා අගහරුවාදාය.

 

මීළග පෝය සැප්තැම්බර් 05 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 29

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13

Full Moonඅමාවක

සැප්තැම්බර් 19


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]