UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කාන්තාවගේ සැබෑ බලය

කාන්තාවගේ සැබෑ බලය

මනාකොට සරණ සීලයේ පිහිටි කාන්තාව, හොඳින් පංචසීලය රකිනවා. ඇය සතුන් මැරීමෙන් වළකිනවා. සතුªනට දයානුකම්පාවෙන් යුතු වෙනවා. සොරකම් කිරීමෙන් වැළකී, සොරකමට ලජ්ජා වෙනවා. තම සැමියා ඉක්මවා පරපුරුෂයන් වෙත යෑමෙන් වැළකී සිටිනවා. බොරු කීමෙන් වැළකී සත්‍ය වචන පමණක් කතා කරනවා.

සංයුක්ත නිකායේ ‘නාසිතබ්බ සූත්‍රයේ’ දී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් කාන්තාවකට සුවසේ විසීමට උපකාර වන, වටිනා උපදේශයක් පෙන්වා දී වදාළා. ඒ අනුව ස්ත්‍රියකට බල පහක් තිබෙනවා. ඒ රූප බලය, භෝග බලය, නෑදෑ බලය, පුත්‍ර බලය සහ සීල බලය යි.

රූප බලය

අද ලෝකයේ රූපය නිසා බලවත් වූ කාන්තාවන් කොතෙකුත් ඉන්නවා. ලෝකයේ රූමත් කාන්තාව තෝරා ගන්නවා වගේ ම ඇය ඇගයීමටද ලක් කරනවා. බුද්ධ කාලයේ මාගන්දියා වැනි සුරූපී කාන්තාවන් තම රූපයෙන් මහා රජවරු වසඟ කර ගත් අවස්ථා තිබෙනවා. ඒ අනුව කාන්තාවකට රූපය බලයක් වෙනවා. නමුත් රූප බලය නිසා ම ඇතැම් කාන්තාවන් යොමු වන්නේ දුසිරිතට යි. මාගන්දියට මොනතරම් රූප සම්පත්තියක් තිබූණ ද එය හේතු කරගෙන සියලු යහපත උදාවූණේ නැහැ.

භෝග බලය

යම් කාන්තාවකට බොහෝ ධන සම්පත් ඇත්නම්, එය ඈ සතු බලයක්. ධනයෙන්, දේපළින් ඉසුරුමත් වීම භෝග බලයයි. දේපළ, ධනය ඇති බව කාන්තාවකට බලයක් නිසා දෙමාපියන් තම දියණිය කුල ගෙට පිටත් කරද්දී දායාද සහිතවයි පිටත් කරන්නේ. තමා සතු වූ දායාදයක් වේ. එය කුලගෙට යන කාන්තාවට බලයක්. බුදුරජාණන් වහන්සේගේ කාලයේ පුණ්ණ නම් සිටුවරයෙකුගේ දියණිය මිසදිටු සිටු පුත්‍රයෙකුට විවාහ කර දුන්නා. ඒ නිසා ඇයට පින් දහම් කිරීමට නොහැකි වුණා. ඇය තම පියාණන්ට මේ බව දන්වා පින් දහම් කර ගැනීමට ධනය ගෙන්වා ගත්තා. ඇය ඒ නිවසේ ම හිඳිමින් ඒ ධනයෙන් සංඝෝපස්ථාන කරමින් බොහෝ පින් රැස් කර ගත්තා. ඒ ඇයට තිබූ භෝග බලය නිස යි.

ඥාති බලය

කාන්තාවකට පිරිස් බලය නොවේ නම් එය දුකක් වගේ ම බයක්. තමන්ට උදව් කිරීමට නෑදෑ පිරිසක් ඉන්නවා නම් එය ශක්තියක්. නමුත් නැදෑයින් සිටි පමණින් එය සැබෑ ම සම්පතක් වන්නේ නැහැ. මාගන්දියාට බොහෝ මාමාවරු සිටියා. එම නෑදෑ බලය උදව්වට ගෙන මාගන්දියා විසින් සාමාවතී ඇතුළු පන්සියයක් දෙනා මරවනු ලැබුවා. නමුත් අවසානයේ දී සිදුවූයේ ඒ සියලු ඥාති මාමාවරුන්ටත්, මාගන්දියාටත් ඒ අපරාධයට තම ජීවිතයෙන් වන්දි ගෙවීමටයි. ඒ නිසා ඥාති බලය වරදවා යෙදවීම බලයක් වන්නේ නැහැ.

පුත්‍ර බලය

කුලගෙට ගියා වූ කාන්තාවකට දරුවන් සිටිත් නම්, එය ඈ ලද වාසනාවක්. දරුවන් අතරින් පිරිමි දරුවන් ඒ මවට ශක්තියක්. බලයක්. මෙහි දී පුත්‍ර බලය ලෙස හඳුන්වන්නේ කාන්තාවකට බොහෝ පිරිමි දරුවන් සිටීම යි. බුද්ධ කාලයේ සිටි බන්දුල මල්ලිකාවට පිරිමි දරුවන් තිස් දෙදෙනෙක් සිටි බව සඳහන් වෙනවා. නමුත් තම ස්වාමියා ඇතුළු ව දරුවන් තිස් දෙදෙනා සතුරන් විසින් මරාදමනු ලැබුවා. එසේනම් දරුවන් සිටීම බලයක් වුවත් ඒ බලය ඕනෑ ම මොහොතක අහිමි වන්නට පුළුවන්.

සීල බලය

කාන්තාවක් සරණ සීලයෙන් යුක්තනම්, පන්සිල් සුරකීනම් එය සීල බලය යි. සරණ සීලය කියන්නේ බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය සරණ යාම යි. එය පිරිසුදුවීම වැදගත්. තෙරුවන් සරණ ගොස් වෙන වෙන ඇදහිලි, විශ්වාස කරයිනම් තමාගේ සරණ සීලය කිළිටි වෙනවා.

මනාකොට සරණ සීලයේ පිහිටි කාන්තාව, හොඳින් පංචසීලය රකිනවා. ඇය සතුන් මැරීමෙන් වළකිනවා. සතුªනට දයානුකම්පාවෙන් යුතු වෙනවා. සොරකම් කිරීමෙන් වැළකි, සොරකමට ලජ්ජා වෙනවා. තම සැමියා ඉක්මවා පරපුරුෂයන් වෙත යෑමෙන් වැළකී සිටිනවා. ඇය බොරු කිමෙන් වැළකී සත්‍ය වචන පමණක් කතා කරන්නී, මත්වීමටත්, ප්‍රමාදයටත් හේතු වන මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී වාසය කරන්නටත් කැමැති වෙනවා.

මේ කියන ලද සරණ සීලයත්, පංච සීලයත් යම් කාන්තාවක් සරණ යන්නේ නම් එය සීල බලය යි. කාන්තාවකට තිබෙන බල අතරේ වටිනා ම බලය සීල බලය යි. සීල බලය නොමැති කාන්තාව අනෙක් බල හතරම යුතු වුව ද ඇයගේ ජීවිතයේ පැවැත්ම අසාර්ථක වූ, අනාරක්ෂිත වූ, අශෝභන එකක් වන බව බුදුරජාණන් වහන්සේ වදාළා. පින්වත් මහණෙනි, රූප බලයෙන් යුතු, භෝග බලයෙන් යුතු, ඥාති බලයෙන් යුතු, පුත්‍ර බලයෙන් යුතු නමුත් ඒ ස්ත්‍රිය සීල බලයෙන් තොරයි නම් ඇය වැනසෙනවා

පින්වත් මහණෙනි, යම් ස්ත්‍රියක් රූප බලය, භෝග බලය ඥාති බලය, පුත්‍ර බලය නිසා මරණින් මතු සුගති ලෝකයේ උපදින්නේ නැහැ. යම් ස්ත්‍රියක් සීල බලයෙන් යුතු නම් ඇය මරණින් මතු සුගතිය නම් වූ ස්වර්ග ලෝකයේ උපදිනවා යැයි උන්වහන්සේ වදාළා.

 

බිනර පුර අටවක පෝය


බිනර පුර අටවක පෝය අගෝස්තු 29 වනදා අඟහරුවාදා පූර්ව භාග 00.36 ට ලබයි. 30 වනදා පූර්ව භාග 02.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 29 වනදා අගහරුවාදාය.

 

මීළග පෝය සැප්තැම්බර් 05 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 29

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13

Full Moonඅමාවක

සැප්තැම්බර් 19


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]