UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දස පාරමිතා කතා - 02 : සීල පාරමිතාව

දස පාරමිතා කතා - 02

සීල පාරමිතාව

සීල වීමංස ජාතකය

ඈත අතීතයේ දඹදිව බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කළා. එකල අප මහා බෝසතාණන් වහන්සේ ඉපදී සිටියේ බමුණු කුලයක යි. මේ පුංචි කුමාරයා ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්නා වයසට ළං වුණා. මව්පියෝ තම පුත් කුමරු දිසාපාමොක් ඇදුරුතුමා වෙත යැව්වා. තවත් කුමාවරු විශාල පිරිසක් එහි ඉගෙනුම ලබමින් සිටියා.

බෝසත් බමුණු කුමාරයා ඉතා හොඳින් ශිල්ප ශාස්ත්‍ර හැදෑරුවා. ගුරුතුමාට හරිම කීකරු යි. ඒ වගේම ගුණ යහපත්. මේ නිසා ගුරුතුමා බමුණු කුමාරයා ගැන බොහොම පැහැදුණා. පන්සියයක් ශිෂ්‍යයින්ගේ නායකයා බවට පත්කළා. අනෙක් කුමාරවරු ද ඔහුගේ ඇසුර පි‍්‍රය කළා.

මේ දිසාපාමොක් ඇදුරුතුමාට ලස්සන දූ කුමාරිකාවක් සිටියා. තමන් ළඟ ඉගෙන ගන්නා, දස්කම් පෙන්වන හොඳම ශිෂ්‍යයාට දූවරු සරණ පාවා දීම එකල දිසාපාමොක් ඇදුරුවරුන්ගේ සිරිතක්. ඒත් මේ ඇඳුරුතුමා කල්පනා කළේ දක්ෂම ශිෂ්‍යායාට නොව සිල්වත් ම ශිෂ්‍යයාට තම දූ කුමරිය සරණ පාවා දෙන්නට යි.

"සිල්වත් ම ශිෂ්‍යයා තෝරා ගන්නේ කෙලෙස ද?" ගුරුතුමා සිතුවා. උපායක් කල්පනා කළා. දවසක් ශිෂ්‍යයින්ට කතා කළා.

"දරුවනි, ඔබ අතරින් කෙනෙකුට මාගේ දූ කුමරිය සරණපාවා දෙන්නට කැමැතියි. ඒත් එක් අභියෝගයක් තිබෙනවා. ඇයට වටිනා වස්ත්‍රාභරණ ඕනෑ. ඒවා මිලට ගෙන එන්නට එපා. තමන්ගේ නැදෑ ගෙවල්වලින්, කිසිවෙකුට නො දැනෙන්නට සොරකම් කරගෙන එන්නට ඕනෑ. එලෙස හොඳම වස්ත්‍ර, ආභරණ ගෙනා කෙනාට මාගේ දූ කුමරිය සරණ පාවා දෙනවා." ගුරුතුමා දැනුම් දුන්නා.

අභියෝගය පිළිගත් කුමාරවරු වහ වහා නැදෑ ගෙවල්බලා ගියා. කිසිවෙකුට නො දැනෙන්නට වස්ත්‍රාභරණ සොරකම් කරගෙන ආවා. ගුරුතුමාට පිළිගැන්වූවා. ගුරුතුමා ද සතුටු බව හඟවමින් ඒවා බාරගෙන වෙන වෙන ම තැබුවා.

ඒත් එක් තරුණ කුමාරයෙක් පමණක් ගුරුතුමාගේ නියෝගය පිළිගත්තේ නැහැ. ඒ තමයි අපේ බෝසත් කුමාරයා. ඇදුරුතුමා ඔහු කැඳවූවා.

"දරුව, නුඹ මට අකීකරු වූයේ ද? මාගේ නියෝගය පිළි නො ගත්තේ කුමක් නිසාද?" යි ඇසුවා.

”ගුරුතුමනි, මම ඔබට අකීකරු නො වුණෙමි. ඔබ කීවේ සොරකම් කරගෙන ආ දෙයක් මිස වෙනත් දෙයක් පිළි නො ගන්නා බව ය. ගුරුතුමනි, කවර හේතුවක් නිසාවත් මම සොරකම් නො කරමි. නැදෑයින්ගේ දේ වුව රහසින් ගත්තේ නම් පව් සිදුවනවා නොවේද?” යි කුමාරයා පිළිතුරු දුන්නා.

බෝසත් කුමාරයාගේ සිල්වත්කම ගැන ගුරුතුමා බොහෝ පැහැදුණා.

”දරුව, මම සෙව්වේ ඔබ වැනි ගුණයහපත්, සිල්වත් තරුණයෙක්.”

කුමරුට ප්‍රශංසා කළා. තමන්ගේ දියණිය ද සරණ පාවා දුන්නා.

අප මහ බෝසතාණන් වහන්සේ සම්බුදු පදවිය පතා මෙලෙස බොහෝ අවස්ථාවන් හි සීල පාරමිතාව පූරණය කළා. ඒ පිළිබඳ කියැවෙන ජාතක කතා රැසක් තිබෙනවා. ඒ අතර මාතුපෝසක ජාතකය, මහාකපි ජාතකය, ඡද්දන්ත ජාතකය, සංඛපාල ජාතකය වැනි ජාතක කතා නිදසුන් ලෙස දක්වන්නට පුළුවන්.

සාමණේර ආයතන සඳහා සාමණේර අත්පොත ඇසුරිනි.

 

බිනර පුර අටවක පෝය


බිනර පුර අටවක පෝය අගෝස්තු 29 වනදා අඟහරුවාදා පූර්ව භාග 00.36 ට ලබයි. 30 වනදා පූර්ව භාග 02.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 29 වනදා අගහරුවාදාය.

 

මීළග පෝය සැප්තැම්බර් 05 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 29

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13

Full Moonඅමාවක

සැප්තැම්බර් 19


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]