UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කර්මයේ විපාක ඒකාන්ත ද?

කර්මයේ විපාක ඒකාන්ත ද?

කෙනෙක් මේ ආත්ම භවයේ දී කිසියම් හොඳ හෝ නරක කර්මක් සිදුකළහොත් එහි විපාකය ඒකාන්ත වශයෙන් මේ භවයෙහි දී ම හෝ කිසියම් භවයක දී ලැබිය යුතු ම ය යන ඒකාන්ත සිද්ධාන්තය බුදුසමය පිළි නො ගනී. කරනු ලබන හැම කර්මයකට ම කිසියම් විපාකයක් ඇති බව සත්‍යමුත් ඒ හැම විපාකයක් ම අප විඳ අවසන් කළ යුතු ය යන අදහස බුදුදහම පිළිගන්නේ නැත. කෙනෙකුගේ හොඳ හෝ නරක පැවැත්ම මත කරන ලද හොඳ හෝ නරක කර්ම අඩුකර ගැනීමටත්, වැඩිකර ගැනීමටත්, තුනී කර ගැනීමටත් වෙනස් කර ගැනීමටත්, විිපාක දීම කල් දා ගැනීමටත් හැකියාව ඇත.

ඒ අනුව කෙනෙක් නරක කර්මයක් කළ පසු ඒ තැනැත්තා එම ක්‍රියාව නරක බව දැනගෙන නැවත මම මෙබඳු ක්‍රියා නොකරන්නේ යැයි අධිෂ්ඨාන කර ගන්නේ නම්, එය අගය කළ යුත්තකි. නමුත් බෞද්ධයෙක් එයින් පමණක් සෑහිය යුතු නොවේ. අතීතයේ දී තමන්ගේ පමාවකින්, පාප මිත්‍රයෙකුගේ මෙහෙයවීමකින් හෝ කිසියම් වරදක් වුණානම්, එම වරද වරදක් වශයෙන් දක්නා ඔහු නැවත නැවත තමන් කරන ලද වරද ගැන පසුතැවිලි වන්නට යාම ද නුසුදුසු ය.

එය සිත කෙලෙසා ගැනීමක් බව තේරුම් ගත යුතු ය. එසේ පසු තැවිලිවීමෙන් කළ වරද නිවැරැදි වන්නේ ද නැත එම නිසා කරන ලද වරද ජීවිතයට පාඩමක් කොටගෙන දස අකුසලයෙන් තොර වී දස කුසලයෙහි යෙදිය යුතුය. එසේ කුසල ධර්මයන් හි යෙදෙන විට ආනන්තරිය පාපකර්ම හැරුණු විට කරන ලද අකුසල කර්මයන් තුනී කර ගන්නටත්, එසේ නොමැති නම් විපාක දීම කල් දමා ගන්නටත්, එසේත් නො මැතිනම් විපාක නොදී අහෝසි කර ගැනීමටත් හැකියාව ඇත.

අංගුත්තර නිකායේ ලෝණඵල වර්ගයේ දී තමන් විසින් සිදු කරනු ලබන පාප කර්මවල විපාකදීම තමන් කරනු ලබන පුණ්‍ය කර්මවල බලයෙන් වෙනස්කළ හැකි බව බුදුරජාණන් වහන්සේ වදාළහ. කුඩා ප්‍රමාණයේ ලුණු කැටයක් ගෙන ඉතා කුඩා දිය බඳුනකට දැමුව හොත් ඒ බඳුනේ ඇති දිය ලුණු රසයෙන් යුතු වේ. ඒ ප්‍රමාණයේ ම ලුණු කැටයක් විශාල පොකුණකට වැනි වතුර වැඩියෙන් තිබෙන තැනකට දැමුවහොත් එහි වතුර ලුණු රස වන්නේ නැත.

බුදුපියාණන් වහන්සේ මෙහි දී ලුණු කැටයට උපමා කළේ අප විසින් සිදු කරනු ලබන පාප කර්මයන් ය. වතුරට උපමා කළේ අප විසින් සිදු කරන ලබන පුණ්‍ය කර්මයන් ය. වතුර අඩුවන තරමට ලුණු රස වැඩියෙන් දැනෙන්නා සේ අප විසින් සිදු කරනු ලබන පින් අඩුවන තරමට පව්වලට විපාක දෙන්නට ඇති බලය වැඩි වෙයි. අප විසින් කරනු ලබන පින් වැඩිවෙන තරමට කරනු ලැබූ පව්වලට විපාක දෙන්නට ඇති ඉඩ ඇහිරී යයි. එය වතුර වැඩවන තරමට ලුණු රස අඩු වන්නා සේ ය. එයින් පැහැදිලි වන්නේ පව් ඒකාන්ත වශයෙන් ම අප විසින් ම විඳවා අවසන් කළ යුතු ය යන අදහස බුදුපියාණන් වහන්සේ පිළි නොන්නා බවත්, සිදු කරනු ලැබූ නරක කර්ම වුව තමන්ගේ යහපත් ක්‍රියා කලාපයන් තුළ වෙනස්කර ගත හැකි බවත් ය. සිදු කරනු ලැබූ සියලු කර්ම විපාක දීමෙන් ම අවසන් කළ යුතු නම් කිසි දිනක අංගුලිමාල තෙරුන්ට රහත් වන්නට හැකියාව ලැබෙන්නේ නැත. එනිසා මේ කර්මයන් විපාකදී ම පිළිබඳව වරදවා වටහා ගත යුතු නැත.

සාමාන්‍ය මිනිසා අතින් වැරැදි වීම ස්වභාවයකි. නමුත් එය ස්වභාවයක් ය කියා කළ වරද සාධාරණීකරණය කළ නොහැකි ය. වරදක් නම් එය කවුරුන් කළත් වරදක් ම ය. බුදුදහම පුහුදුන් අයගෙන් වැරැදි වන බව පිළිගත්තත් වැරැදි වීම හෝ කිරීම කිසිදු විටක අනුමත කරන්නේ නැත. එසේ ම වරදක් කළ පසු සමාව ගත් සැණින් වරද නිවැරැදි වන බව ද පිළිගන්නේ ද නැත.

වරද වරදක් බව දැන, පව පවක් බව දැන එයට අදාළ පිළියම් යෙදීම බුදුරජාණන් වහන්සේ අගය කළහ. පිළියම් යෙදීම නම් දස කුසලයෙහි යෙදීම යි. සිත, කය, වචනය යන තුන් දොරින් වැරැදි කළ අයට නිවැරැදි වන්නට ඇති ක්‍රමය සිත, කය, වචනය යන තුන් දොරින් දස කුසලයෙහි යෙදීම යි.

එනිසා වරදක් කළ පසු සමාව ගෙන නිකම් සිටිනවාට වඩා වරදක් කළ පසු වරද වරද සේ දැක සංවරයෙහි පිහිටා නිවැරැදි පිළියම් යෙදීම බුදුසමය වඩාත් අගයන ප්‍රතිපදාව යි. අතීතයේ දී සිදු වූ වැරැදි ගැන පසුතැවිලි නොවී අනාගතය ගැනද අනවශ්‍ය බියකින් සිත පුරවා ගන්නේ නැතිව වර්තමානය දස කුසලයෙන් පුරවා ගැනීම තමන් විසින් කරන ලද පාප කර්මයන්ගෙන් සමාව ගැනීමක් වශයෙන් සැළැකිය හැකි යි.

කිසියම් කෙනෙක් කෙනෙකුට හිංසා කළ පසු එය වරදක් බව වටහා ගෙන සමාව ඉල්ලා සිටිය හැකිය. හිංසාවට ලක් වූ පුද්ගලයාට සමාව ද දිය හැකි ය. නමුත් කරනු ලැබූ කර්මයෙන් බේරෙන්නට එය ප්‍රමාණවත් වන්නේ නැත. එය සිදුකළ හැකි වන්නේ කරන ලද පාප කර්මයට වඩා ප්‍රබල පුණ්‍ය කර්ම සිදුකර ගැනීමෙනි. කුසලයෙහි යෙදීමෙනි.

 

බිනර පුර අටවක පෝය


බිනර පුර අටවක පෝය අගෝස්තු 29 වනදා අඟහරුවාදා පූර්ව භාග 00.36 ට ලබයි. 30 වනදා පූර්ව භාග 02.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 29 වනදා අගහරුවාදාය.

 

මීළග පෝය සැප්තැම්බර් 05 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 29

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13

Full Moonඅමාවක

සැප්තැම්බර් 19


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]