UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කය ගැන නුවණින් සිතීම

කය ගැන නුවණින් සිතීම

කායගතාසතිය සතර සතිපට්ඨානය වැඩෙන භාවනා ක්‍රමයකි. සතර සතිපට්ඨානය යනුවෙන් හඳුන්වන්නේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, සහ ධම්මානුපස්සනාව යි. මේ සතර වැදෑරුම් සතිපට්ඨානය සෑම භාවනා ක්‍රමයකින් ම දියුණු කළ හැකියි. සතිපට්ඨාන භාවනා ක්‍රමය ලෙස හඳුන්වන්නේ සිහිනුවණින් යුතුව එයට සිත යොමු කිරීම යි. සති යනු සිහිය යි. පට්ඨානය යනු එළඹීමයි. සිහි නුවණින් වැඩ කිරීම සතිපට්ඨානය යනුවෙන් ව්‍යවහාර කෙරෙයි.

බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ මුල සහ අග දෙකෙන් ම භාවනාවේ අනුසස් ප්‍රධාන වශයෙන් කොටස් හතකට දේශනා කරයි. එය කර්මස්ථාන වශයෙන් විසි එකකි. භාවනා කරන්නාගේ සිත පිරිසුදු බවට පත් වේ, ඇඬීම දුරු වේ, වැළපීම දුරු වේ, කායික දුක දුරු වේ, මානසික දෝමනස්සයෝ දුරු වේ. නිවන් මඟට බැස ගනී. නිර්වාණය සාක්ෂාත් කර ගනී. මේ ආනිශංස වාර හත පහදා ගෙන භාවනාව ඉගෙන ගන්න කවුරුත් කැමැති වේවි. භාවනාව කියා දී ආනිසංස පැහැදුවොත් එය එපා වෙන්නට පුළුවන්. මේ ආනිසංස දෙස බලන්නෙකුට ‘මාත් භාවනාවක් කළ යුතුයි’ යනුවෙන් සිතක් පහළ වේවි. එසේනම් කායගතාසති භාවනාව බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ විශේෂ භාවනාවක්. මේ භාවනාවෙන් කය අනුව බැලිය යුතුයි. තමන්ගේ කය දෙස පළමුව නුවණින් බලන ගමන් අනුන්ගේ කය දෙසත් බැලිය යුතුයි. “කායේ කායානු පස්සී විහරති” යනුවෙන් කය අනුව තමන් නුවණින් බැලිය යුතුයි. දිරාවට පත්වීම, ලෙඩ දුක් බහුලව දුක් විඳීම, මරණයට පත්වීම මේ කයෙහි ස්වභාවයයි.

එසේම, සිරුර හැඩ ගස්වන, ලස්සන කරන , දර්ශනීය බවට පත් කරන ක්‍රම පහක් තිබේ. කෙස්, ලොම්, නිය, දත්, සම සැවොම පිරිසුදු කරයි. හිසකෙස් පාට කරයි, වර්ණවත් කරයි, නිය නොයෙක් ආලේපන මඟින් ලස්සන කරයි, හැඩතල වලට සකසයි, කලුපාට නම් ඉවත් කරයි, පිරිසුදු කරයි, වර්ණවත් කරයි. සමෙහි නොයෙක් ආලේපන ගල්වයි, සුමුදු කරවන්නට උත්සාහ ගනියි. මේ කවර දේ කළ ද තථාගත ධර්මයෙන් පෙන්වන්නේ කය පිළිකුල් සහගත බව ය. එහි දුර්ගන්ධය ඇති බව ය. සිතන්න, මේ කයෙහි ස්වභාවය කෙතරම් පිළිකුල් සහගත ද? දිය නෑමෙන් තොරව, දත් නොමැද, මුහුණ නොසෝදා සිටියේ නම් සිරුරෙන් මහා දුගඳක් වහනය වෙයි.

මේ නිදසුන බලන්න. ඉතාමත් ම සුන්දර මත්ස්‍යයෙක් සිටියා. මේ සතාගේ මුව විවර කළ විට පළාතෙම ඉන්නට බැහැ. දුර්ගන්ධයි. සිරුර කෙතරම් සුන්දර වුණත් මුව දුර්ගන්ධයි. ඒ බොරු කීම සහ කේළාම් කීමේ විපාකයි. මේවා සිතට ගත්විට පිළිකුල් බව මෙනෙහි කිරීමට පහසු අරමුණක් බවට පත් වෙනවා.

මේ දුර්ගන්ධය ඉවත් කිරීමට බුදු දහමින් සඳහන් කරන්නේ ‘පිළිකුල් ’ යන වචනය යි. මේ කයෙහි කේසයෝ වර්ණයෙන් පිළිකුල් ය. සටහනින් පිළිකුල් ය, ගන්ධයෙන් පිළිකුල් ය, ආශ්‍රිත කුණුපයන්ගෙන් පිළිකුල් ය, පිහිටි තැන් වශයෙන් පිළිකුල් ය. මෙසේ සියවර දහස් වර මෙනෙහි කිරීමෙන් පසුව සිරුරෙහි අනෙකුත් කොටස් ද පෙර ලිපිවල සඳහන් කළා සේ ම මෙනෙහි කරන්න. මෙය දිගට මෙනෙහි කිරීමෙන් එහි ආදීනව දකින්න පුළුවන් සේ ම නිස්සරණයක් ගැන සිතන්න පුළුවන්.

මෙය කාලයක් මෙනෙහි කරද්දී තමන්ට ගැඹුරු නුවණක් තිබෙන බව වැටහේවි. එවිට කායගතාසතිය තවත් ගැඹුරට මෙනෙහි කළ හැකියි. “ මේ කයෙහි කේසයෝ සත්ත්වයෙක් නොවේ, පුද්ගලයෙක් නොවේ, ආත්මයක් නොවේ. නිසත්ත්ව වූ (සත්ත්වයෙක් නොවේ) , නිජීය වූ (ජීවයක් නොමැති) , ශූන්‍ය වූ, අචේතනික වූ(කෙස් වල චිත්ත,චෛතසික කිසිවක් නොමැති බව), අව්‍යාකෘත වූ(කෙස්වල පින්, පව් නොමැති බව) පඨවි , ආපෝ ,තේජෝ, වායෝ ධාතු මාත්‍රයකි. එමනිසා මේ කයෙහි කේසයෝ අනිත්‍යයයි, දුක්ඛයි, අනාත්මයි යනුවෙන් නිබඳවම නැවැත්මක් නැතිව දිගටම මෙනෙහි කරන්න. තමන්ගේ ධර්මාවබෝධයට අවශ්‍යම තැන එය යි. කුමක්් කළත්, කුමක් සිතුවත් අනිත්‍ය , දුක්ඛ අනාත්ම ලක්ෂණත්‍රයට අයත් වෙයි.

එසේනම්, කේසා යන වදන හොඳින් දැනගෙන, පිළිකුල්ය යන කරුණු පහ මෙනෙහි කර, ඉහත සඳහන් කළ කරුණු එකක් පාසාම පාඩම් වෙනතුරා කොළයක හෝ සටහන් කර, දිගින් දිගටම මෙනෙහි කරන්න. ඉන්පසු මෙහි ඇති වීම නැතිවීම හොඳින් බලා අනිත්‍ය, දුක්ඛයි, අනාත්මයි, යනුවෙන් සිතා නුවණින් බලන්න. එවිට කෙස්වල ඇති අනිත්‍ය බව, දුර්ගන්ධ බව, ශූන්‍ය බව සහ එහි කිසිවක් ම නැති බව තමාට වැටහෙන්න පටන් ගනියි. මේ වැටහීම බොහොම වැදගත්. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම මෙනෙහි කිරීම සම්‍යසන ඥානය යි. ඇතිවීම , නැතිවීම දෙස බැලීම උදයබ්භය ඥානය යි. මේ කරුණු මඟින් තමන්ට අර්ථ අවබෝධය වටහා ගන්න පුළුවන්. ඉහත කරුණු ලෝම, නිය, දත්, සම් ආදියටත් යොදන්න. එවිට භාවනාව සර්ව සම්පූර්ණයි.

මේ භාවනාව තමන්ගේ සංසාර විමුක්තිය පිණිසම හේතු වාසනා වෙයි. තීක්ෂණ බුද්ධිය අවධි වෙයි. ධර්මාවබෝධය ලැබීමට සමත් වෙයි. භෞතිකව කුමන දෙයක් තිබුණත් විනාශ වෙයි. නමුත් භාවනාවෙන් ලබන ශක්ති විශේෂය විනාශ නොවෙයි. එය ගොඩනඟා ගත්තේ නම් තමන්ටම යි. චතුරාර්ය සත්‍ය අවබෝධයට අවශ්‍ය කරන . සෑම සිතක් පාසාම බෝධි පාක්ෂික ධර්මයෝ හොඳින් වැඩෙයි. බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලාගේ ප්‍රියතම භාවනාව කායගතාසතිය යි. එබැවින් බොහෝ සූත්‍රවල කායගතාසතිය සඳහන් වෙයි.

තමන්ගේ දිවි මඟට අවශ්‍ය දානමය පින්කම් කරන්න, පන්සිල් , අටසිල් රකිමින්, ශීලමය පින්කමත් සම්පූර්ණ කර ගන්න. ධර්ම ශ්‍රවණය, භාවනාව දියුණු කරගන්න. ඒ මඟින් ප්‍රඥාව හොඳින් වැඩෙයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වටහා ගන්නට පහසු වෙයි. එසේනම්, දාන ,ශීල, භාවනා පින්කම් තුන ශීල, සමාධි,ප්‍රඥා වැඩෙන සේ සිදු කිරීම ඉතාමත්ම වැදගත්. එය බොහෝ ආනුභාව සම්පන්නයි. කරදර පීඩා බාධක මඟ හැරී තමන්ට නිවන් මඟට එළඹිය හැකියි.

එසේනම් සතර සතිපට්ඨාන භාවනාව වැඩෙන ඉතාමත් වැදගත් භාවනා පාඩමක් වන්නේ කායගතාසතියේ තච පංචක භාවනාවයි. පෙර සඳහන් කළේ එයයි. මේ ක්‍රමය තමන්ට අපහසු නම් කේසා, ලෝමා, නඛා, දන්තා , තචෝ යනුවෙන් පමණක් මෙනෙහි කළත් ඇති. පුළුවන් අය පමණක් පෙර සටහන් කළා සේ දියුණු ක්‍රමයට මෙනෙහි කරන්න වෑයම් කරන්න.

එවිට තමන්ට අතහැරීම ඉවත් කරලා, ගැටීම දුරු කරලා, මෝහය ඉවතලා ප්‍රඥාව දියුණු කළ හැකියි. අලෝභ, අදෝශ, අමෝශ වන යහපත් චේතනාවෝ පහළකරගෙන ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි,ඥාන ඉන්ද්‍රිය බල දියුණුවෙන් , බුදු ,පසේ බුදු, මහරහතන් වහන්සේ ලැබූ අමාමහ නිර්වාණ සුවය පින්වත් ඔබටත් කායගතාසති භාවනාව පුරුදු පුහුණු කිරීමෙන් ලබා ගන්නට වාසනාව ලැබේවි.

 

නිකිණි අමාවක පෝය


නිකිණි අමාවක පෝය අගෝස්තු 21 වන දා සඳුදා පූර්ව භාග 02.10 ට ලබයි. 22 වන දා අඟහරුවාදා පූර්ව භාග 00.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 21 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 29 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 21

First Quarterපුර අටවක

අගෝස්තු 29

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]