UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පංචශීලයෙන් තහවුරු වන සහජීවනය

පංචශීලයෙන් තහවුරු වන සහජීවනය

"ජීවත්වීමට කැමති වන්නේ එක් ජාතියක් එක් ආගමක් අදහන පිරිසක් පමණක් නොවේ. බුදුදහමට අනුව අනෙකාගේ ජීවිත විනාශ කරන්නන් හැම භවයකදී ම අඩු ආයුෂ සහිතව උපත ලබයි. එහෙයින් මෙලොව සම්මුතික පටු සීමාවන් නිර්මාණය කරගනිමින් හෝ තම උදර පෝෂණය සඳහා අනෙකාගේ ජීවත්වීමට අකුල් හෙළීම මහත් අපරාධයකි."

කායික, වාචසික සංවරය සීලය නම් වේ. කෙතෙක් සිල්පද සමාදන් වුව ද සීලයෙන් සිදුවනුයේ කය ,වචනය සංවරවීම පමණි. කය, වචනය, සංවරවීම නිසා ම සමාජ පාලනය ඇති කරයි. සීලයෙන් සංවරවූ පුද්ගලයන් නිසා සමාජයට යහපතක් මිස අයහපතක් සිදු නොවේ. ලෝකයේ සැම ආගමකම පාහේ යම් සීල ප්‍රතිපදාවක් ඇත. ඒ සෑම ආගමක්ම ඒ තුළින් අපේක්ෂා කරනුයේ පුද්ගල හික්මීම සහ සමාජය පාලනයෙන් යුක්තව පැවතීමයි.

බුදුදහමේ මූලික සීල ප්‍රතිපදාව පංචශීලය යි. මේ තුළින් පුද්ගල විමුක්තිය මෙන් ම සාමකාමී, එකිනෙකාගේ අයිතීන් ආරක්ෂා වෙන සමාජයක් අපේක්ෂා කරයි. පංච ඉන්ද්‍රියයන්වලට පාලනයක් නොමැති වුවහොත් අනෙකාගේ නිදහසට, ආරක්ෂාවට හානි පමුණුවමින් කටයුතු කිරීමට පුද්ගලයා පෙළඹේ. එය යහපත් තත්වයක් නොවේ. විවිධ මතවාද හා දර්ශන දැරුව ද තමාට වඩා අනෙකා පහත් යැයි සිතා කටයුතු කිරීමට කිසිවෙකුට හෝ අයිතියක් නැත. එය සදාචාරාත්මක ද නොවේ. එවිට බිඳවැටෙන්නේ සමගිය, සාමයයි. මේ නිසා එනිනෙකා සමඟ සහජීවනයෙන් කටයුතු කිරීමට බාධා ඇතිවේ.

අනවශ්‍ය ගැටුම් පාලනයට

පංචශීලයෙන් සමාජයේ අනවශ්‍ය ගැටුම් පාලනය කළ හැකි ය. සෑම කෙනෙකුට ම අවශ්‍යතා සහ නිදහස යන කාරණා පොදු ය. විශේෂයෙන් සෑම මිනිසෙකුටම අයිතිවාසිකම් සමූහයක් ඇත.

යම් සමාජයක් නියමාකාරයෙන් පන්සිල් රකින්නේ නම් අමුතුවෙන් මානව හිමිකම් පිළිබඳ රෙගුලාසි ක්‍රියාත්මක කළ යුතු නොවේ. උදාහරණ ලෙස මානව අයිතිවාසිකම්වල මූලික අයිතිවාසිකම ජීවත්වීමේ අයිතිය යි. පංචශිලයෙහි පළමු ශික්ෂාවෙන් මිනිසාට පමණක් නොව තිරිසන් සත්වයාගේ ජීවත්වීමේ අයිතිය පවා ආරක්ෂා වේ. අනෙක් ශික්ෂාපදයන් එකින් එක ගෙන බැලුව ද මේ තත්ත්වය අවබෝධ කරගත හැකි ය.

සාමය බිඳවැටෙන හැටි

සමාජ සාමය කැඩී බිඳී යනුයේ එක් පිරිසක් තවත් පිරිසක් පීඩාවට පත්කිරීමට යාම නිසා ය. එසේ පීඩාවට පත් කරනුයේ ආර්ථික, දේශපාලනික හෝ වෙනත් ලාභයක් පදනම් කරගනිමිනි. එය බුදුදහම කිසිසේත් අනුමත කරන්නක් නොවේ. සුනීත, සෝපාක, රජ්ජුමාලා වැනි කථා පුවත් තුළින් බුදුදහමේ ස්ථාවරය හඳුනාගැනීම පහසු ය. සාමාන්‍ය ශිෂ්ට සමාජයක ද මේ පීඩා කිරීම අනුමත නොකරයි. ගෝත්‍රික සමාජවල මෙන් ම තිරිසන් සමාජව ල මේ තත්ත්වය දැකිය හැකි වේ. උසස් මනසක් සහිත මනුෂ්‍යයා තුළින් එවැනි ගෝත්‍රික, තිරිසන් ක්‍රියාකාරකම් සිදු නොවිය යුතු ය. විශේෂයෙන් දිනපතා පන්සිල් සමාදන් වන සමාජය බොහෝ සෙයින් සාමකාමී විය යුතු ය. පංචශීලයෙහි අඩංගු එක් එක් ශික්ෂාපදයන් වෙන් වෙන්ව සලකා බැලුව ද ඒ තුළින් ඇතිවන යහපත තේරුම්ගත හැකි ය. එක් ශික්ෂාපදයක් එතරම් ආශිර්වාදත්මකව පවතීනම් පංචශීලයට පොදුවේ ගත් කළ කෙතරම් ශක්තියක් ඇද්ද යන වග අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ.

ජීවිතයට වටිනාකමක්

සියල්ලෝ ම ජීවත්වීමට කැමැති වෙති. මරණයයට අකමැති වෙති. එහෙයින් පළමු ශික්ෂාවෙන් තහවුරුවන්නේ අනෙකාගේ ජීවත්වීමේ අයිති ය යි. ජීවිත අපේක්ෂාවන් මිනිසාට පමණක් නොව තිරිසනාටද ඇත. අවසන් හුස්ම හෙලද්දී පවා හැමෝම අපේක්ෂා කරන්නේ තව තත්ත්පරයක් හෝ ජීවත්වීමට ය. කිසිවෙකුට කුමන වරදක් කළ ද තවකෙනෙකු ඝාතනය කිරීමට අයිතියක් ලැබී නැත. කෙනෙක් වරදක් කළ ද ඝාතනය අනුමත කළ නොහැකි ය. ජීවත්වීමට කැමතිවන්නේ එක් ජාතියක් එක් ආගමක් අදහන පිරිසක් පමණක් නොවේ. බුදුදහමට අනුව අනෙකාගේ ජීවිත විනාශ කරන්නන් හැම භවයකදී ම අඩු ආයුෂ සහිතව උපත ලබයි. එහෙයින් මෙලොව සම්මුතික පටු සීමාවන් නිර්මාණය කරගනිමින් හෝ තම උදර පෝෂණය සඳහා අනෙකාගේ ජීවත්වීමට අකුල් හෙළීම මහත් අපරාධයකි. පළමු ශික්ෂාව කර්මපල අදහමින් පිළිගන්නා කිසිවෙකු එසේ අනෙකා අපහසුතාවයට පත් නොකරයි. බොහෝ සමාජ තුළ මිනිස් ජීවිතවලට වටිනාකම් නොදෙන්නේ පළමු ශික්ෂාවෙන් ශික්ෂණයට පත් නොවූ නිසා ය.

හදවත ද? බුද්ධිය ද?

සතෙක් හෝ මිනිසෙකු තව කෙනෙකුගේ පැවැත්ම සඳහා මවා නොමැති බව හදවතින් නොව බුද්ධියෙන් තේරුම් ගත යුතුව ඇත. එවිට සමාජ හිංසනයන් පහවී මේ ලෝකය සියල්ලන්ටම සතුටින් සාමයෙන් ජීවත්විය හැකි අභය භූමියක් බවට පත්වේ.

දියුණුවේ රහස

අන්සතු දේ ගනිමින් ඔවුනට හිත් පීඩා සිදු නොකර තමන් සතු දෙයින් සතුටුවීම යහපත් ලක්ෂණයකි. දෙවන ශික්ෂාපදයෙන් සිදුවනුයේ මෙම පාලනයයි. මිනිසුන් තමන්ට අවංකව වංචාවෙන් තොරව කටයුතු කරන්නේ නම් නිවාස සඳහා ඉබි යතුරු තාක්ෂණික මෙවලම් අවශ්‍ය නොවේ. තමන් හරිහම්බ කරන වස්තුවට තමන් තුළ යම් කැමැත්තක් වේ ද අනෙකා ද එසේ ම ය. පවුල් අතර සාමය සහජීවනයට බොහෝ විට බාධා පමුණුවන්නේ දෙවන ශික්ෂාව කඩ කරන බැවිනි. රටවල් අතර රාජ්‍යයන් අතර ගැටුම් නිර්මාණය වන්නේ අන්‍ය සම්පත් සඳහා ඇති කෑදරකම නිසා ය. තමා දුක්මහන්සි වී උපයාගත් දෙයක් කෙනෙකු එක් රැයකින්, එක් වගන්තියකින් තමන් සතු කරගැනීමට යාම අනුමත කළ නොහැකි ය. එසේ හැමදාම තමන් ම වැජඹෙන්නට අවශ්‍ය ය. අනෙකාට එසේ අයිතියක් නැත යනුවෙන් කිසිවෙකුට කිසිදු සිතුවිල්ලක් සකසා ගත නොහැක. කෙනෙකුගේ උත්සාහය කැපවීම මත ඔහු දියුණුවට පත්වේ. කෙනෙක් ඉතිහාසය ගැන පමණක් පුරාජේරු දොඩවමින් නිකරුණේ හැසිරෙන්නේ ද, ඔහුට දියුණුවක් නැත. එසේ දියුණු නොවන පුද්ගලයා ඊර්ෂ්‍යාවෙන් බොරු වැරදි මවා අනෙකාගේ දේපළ විනාශ කිරීම ගිනිබත් කිරීම කිසිසේත් අනුමත කළ නොහැක. ඒ තුළ සාමය සමගිය විනාශවී අනවශ්‍ය ගැටුම් නිර්මාණය වේ. එය පුද්ගලයන් ලෙස මෙන් ම රටක් වශයෙන් ගත් කල සුබ ලකුණක් නොවේ.

මිනිස් ස්වභාවය

සදාචාර සීමාවන් උල්ලංඝනය නොකරමින් පංච කාමය විදීමට බුදුදහම අවසර ලබා දෙයි. තෙවන ශික්ෂාපදය පැනවීමේ අභිප්‍රාය වන්නේ ද එයයි. සමාජයේ ප්‍රධාන ඒකකය පවුලයි. පවුල් සංස්ථාව දෙදරා යාම සමස්ත සමාජයටම අයහපත් ලෙස බලපෑම් ඇතිකරයි. පවුල් සංස්ථාවේ පවතින සමගිය, සාමය, සහජීවනය ගම් රටවල් ලෙස ව්‍යාප්තව පොදුවේ සමස්ත සමාජය පුරාම ව්‍යාප්ත වෙයි. එය සාමකාමී සමාජ පරිසරයකට මහත් අස්වැසිල්ලකි. සීමාවන් දැන දැක පැවතීම කුමන ආකාරයකින් ගත් කල ද යහපතකි. මේ සඳහා ආගමත්, ජාතියක් නැත. හැගීම් ඇතිවීම සහ ඒවා පාලනය කරගැනීම මිනිස් ස්වභාවය යි. එහෙයින් එය උතුර ද, දකුණ ද, නැගෙනහිර ද දෙමළ ද, මුස්ලිම් ද, සිංහල ද කියා වර්ගකොට බැහැර කළ නොහැක.

කිව යුතු දේ හා නො කිව යුතු දේ

බොරුව ,කේළම්,පරුෂ වචනය මෙන් ම හිස් වචන, සමාජ බේදභින්න කිරීමට සමත් ක්‍රියාවන් ය. හතරවන ශික්ෂාව, තුළින් සිදුවනුයේ මෙම අයහපත දුරුකිරීමයි. සමාජයේ සහජීවනයට සහ සමගියට සෑමවිටම බාධාවක් වූයේ අපේ භාෂාව නරක ලෙස යොදාගැනීමයි. නිවස, ආයතනය, ගම, රට වශයෙන් මේ සඳහා බොහෝ උදාහරණ සැපයිය හැකි ය. කිව යුතු දේ සහ නොකිව යුතු දේ තීරණය කිරීමට මිනිසාට සුවිශේෂ හැකියාවක් ඇත.

මේ හැකියාව, සිහි ගැන්වීම තවදුරටත් හතරවන ශික්ෂාපදයෙන් සිදුවේ. කෙනෙකු මුලාකොට, අපහසුතාවයට පත්කොට කෙටිකාලීන වාසි ලබාගැනීමට යාම යහපත් ලක්ෂණයක් නොවේ. බුදුරදුන් පවා භික්ෂූන්ට දේශනා කළේ තමන්වහන්සේ සසර නොකළ වැරදි දෙකක් ඇති අතර බොරු නොකීම ඉන් එකක් බවයි. එවැනි ගුණයක් බෞද්ධයන් දිවිහිමියෙන් රැකිය යුතු ය. බොරු කියන්නාට නොකළ හැකි වරදක් නැත. යම් සමාජයක මෙම, හතරවන ශික්ෂාව රැකේනම් එතන කිසිඳු අයහපත් ක්‍රියාවකට ඉඩක් ඇති නොවේ.

අනතුර හඳුනා ගන්න

මදයට හා ප්‍රමාදයට හේතුවන බොහෝ කාරණා අතර මත්ද්‍රව්‍ය හා මත්වතුර සුවිශේෂී ය. කායිකව හා මානසිකව පුද්ගලයා හීන කිරීමට මත්ද්‍රව්‍ය විශාල බලපෑමක් කරයි. මේ සඳහා ඇබ්බැහි වූවන් මව පියා නැගණිය නොහඳුනන තත්වයට පත්වේ. ඒ නිසා ම ඇතිවන්නේ මහත් සමාජ උවදුරකි. මත්පැනට ඇබ්බැහි වූවන් නිසා පවුලෙහි සාමය මෙන් ම රටෙහි සාමය අනතුරට පත් වේ. ඇතැමුන් මේ නිසා සිංහවෙස් ගනිමින් දුබලයන් පෙළීමට උත්සාහ දරයි. එක් පුද්ගලයෙකුගේ මෙවැනි අමනොඥ ක්‍රියා නිසා පවුල්, පවුල් අතර ගම්, ගම් අතර මෙන් ම, ජාතීන්, ජාතීන් අතර විරසකයන් හදා ගනී. පස්වන ශික්ෂා පදය මැනවින් රකින්නේ නම් එතන සාමය සමඟිය සහජීවනය ආරක්ෂා වේ. පංච සීලය ම රැකෙන්නේ නම් සමස්ත සමාජය ම නිවුන යහපත් තැනක් බවට පත් වේ.

 

නිකිණි අමාවක පෝය


නිකිණි අමාවක පෝය අගෝස්තු 21 වන දා සඳුදා පූර්ව භාග 02.10 ට ලබයි. 22 වන දා අඟහරුවාදා පූර්ව භාග 00.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 21 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 29 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 21

First Quarterපුර අටවක

අගෝස්තු 29

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]