UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සැදැහැයෙන් පැවිදි වූ රට්ඨපාල මහරහතන් වහන්සේ

සැදැහැයෙන් පැවිදි වූ රට්ඨපාල මහරහතන් වහන්සේ

අසූ මහා ශ්‍රාවක චරිත අතරින් සුවිශේෂි මහ රහතන් වහන්සේ නමක් ලෙස රට්ඨපාල මහරහතන් වහන්සේ පිළිබඳ තොරතුරු ශාසන ඉතිහාසයේ දැක්වෙනවා.

පදුමුත්තර බුදුරදුන්ගේ අවදියේ දි දානාදී අනෙක් පින්කම් කර සැදැහැ සිතින් යුක්තව පැවිදි වූ භික්ෂූන් අතර අග්‍රස්ථානය ලබන බවට විවරණ ලබා ගත්තා. අප ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වූ කල්හි දඹදිව කුරු රට ථුල්ලකොට්ඨික නම් වූ සශ්‍රීක ගමෙහි රට්ඨපාල නමින් උපත ලැබුවා. දිනක් සුදුවතින් සැරසී එක දිශාවකට එක පෙළට මහපිරිස් යනු දැක රට්ඨපාල තරුණයා ද ඒ සමඟ ගොස් ධර්මය ශ්‍රවණය කර මහත් සේ චිත්තප්‍රසාදයට පත් වුණා. පැවිදි වීමට තද ආශාවක් ඇති වුවත් මව්පියන්ගෙන් අවසර ගෙන එන ලෙස බුදුරජාණන් වහන්සේ රට්ඨපාල තරුණයාට ප්‍රකාශ කළා. එයට හේතුව නම් සුද්ධෝධන මහරජුගේ ඉල්ලීමට අනුව කිසිදු කුල කුමරෙකු දෙමාපියන්ගේ අවසර නොමැතිව පැවිදි නොකරනු ලබන බවට වූ ප්‍රඥප්තිය යි. මව්පියන් වෙත ගොස් වාර කිහිපයක් ම අවසර ඉල්ලූ නමුත් තම පුතණුවන් නැතිව එක් රැයක් වත් ගත කළ නොහැකි නිසා ගිහි ගෙයි සිට අවශ්‍ය පින්කම් කරන ලෙස මව්පියන් තදින් කියා සිටියා. යහළුවන් ද පැමිණ රට්ඨපාල තරුණයාගේ පැවිදි වීමට ඇති ආශාව වැළැක්වීමට උත්සාහ කළත් එකී අදහස වෙනස් කරගැනීමට අපහසු වුණා. අවසර නොදෙන්නේ නම් නොකා නොබී වැතිර මියයාමට රට්ඨපාල කුමරු සූදානම් වුණා.

තම පුතා ගැන තිබෙන ළයාන්විත ආදරයත්, දාරක සෙනෙහසත් හේතුවෙන් මව්පියන් අන්තිමේ දී පැවිද්ද සඳහා අවසර ලබා දුන්නා. බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද ලැබූ රට්ඨපාල හිමියන් භාවනා කර සව්කෙලෙසුන් නසා උතුම් මහරහත් තත්ත්වයට පත්වුණා. දොළොස් වසරකට පසු තම දෙමාපියන්ගේ ඉල්ලීම ඉටු කිරීම සඳහා බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලබා ථුල්ලකොට්ඨික ගමට වැඩම කළා. ස්වකීය නිවසට වැඩම කළ රට්ඨපාල මහරහතන් වහන්සේ පිණ්ඩපාතය බලාපොරොත්තුවෙන් නිවස ඉදිරිපිට වැඩ සිටියා. උදෑසන හිස පීරමින් සිටි පියා වෙනත් භික්ෂූන් වහන්සේ නමක් වැඩමවා ඇතැයි සිතා තම පුතා පැවිදි කිරීමට රැගෙන ගියේ යැයි පවසමින් ආක්‍රෝශ පරිභව කරන්නට පටන් ගත්තා.

ඒ අතර නිවසේ විසූ දාසිය ඉවත දැමීම සඳහා ආහාර ගෙන යනු දැක පාත්‍රයට බෙදවාගෙන මද දුරක් ගොස් වැඩහිඳ වළඳන්නට පටන් ගත්තා. පසුව එම දාසිය තම නිවසට පැමිණ ඇත්තේ රට්ඨපාල කුමරු බව දේහ ලක්ෂණවලින් හඳුනාගෙන තම ස්වාමි දියණියට ප්‍රකාශ කළා. ඇය වහා ගොස් තම ස්වාමිපුරුෂයාට ඒ බව කීවා. කලබලයට පත් වූ පියා පැමිණෙන විට රට්ඨපාල මහරහතන් වහන්සේ දන් වළදා සිටි බැවින් පසු දින දානය සඳහා තම නිවසට වැඩම කරන ලෙස උන්වහන්සේට ආරාධනා කළා.

පසු දින රට්ඨපාල මහරහතන් වහන්සේ තම නිවසට වැඩි කල්හි වටිනා රන් මුතු මැණික් ආදි වස්තුව ගොඩගසා පෙන්වා නතර කිරීමට මව්පියන් උත්සාහ කළත් දැඩිආශාව සහ දුක්ඛදෝමනස්සයන් නැති කිරීමට ඔය සියලු වස්තුව ගඟට දාන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටියා. එයින් පසු පෙර සිටි භාර්යාවරුන් ද රට්ඨපාල මහරහතන් වහන්සේ නැවතත් ගිහි ගෙට පොළඹවා ගැනීම සඳහා සව්බරණින් සැරසී උත්සාහ කළත් ඉන්ද්‍රඛීලයක් බඳු වූ රට්ඨපාල මහරහතන් වහන්සේගේ සිත අවනත කරගැනීමට නොහැකි වුණා. අවසානයේ දන් වළඳා දම් දෙසා ඍද්ධී බලයෙන් අහසට පැනනැගී කෝරව්‍ය නම් රජතුමාගේ මනරම් උද්‍යානයට වැඩම කළා. තම මිත්‍ර රට්ඨපාල හිමියන් වැඩමවා ඇති බව දැනගත් කෝරව්‍ය රජතුමා වහා පැමිණ දුක් සැප විමසා අනතුරුව ගිහිගෙයින් නික්ම පැවිදි වීමට හේතු විමසුවා.

යමෙක් ගිහි ගෙයින් නික්ම පැවිදි වීමට නම් මා දන්නා හේතු 04ක් ඇති බව කෝරව්‍ය රජතුමා රට්ඨපාල මහරහතන් වහන්සෛ්ට ප්‍රකාශ කළා. වයසට ගිය පසු ,පිරිස නැති වූ පසු, සුව කරගැනීමට අපහසු ලෙඩ රෝග වැළදුණු පසු, දරිද්‍රතාවය නිසා යනුවෙනි. රට්ඨපාල මහරහතන් වහන්සේ කෝරව්‍ය රජතුමාට තමා ගිහිගෙයින් නික්ම පැවිදි වීමට බය 04ක් ඇති වූ බව පෙන්වා දුන්නා.

ඒ සතර නම් උපන් සෑම දෙනාම ජරාව මගින් මරණය කරා ගෙන යන බව, තමාගේ ශරීරයට විපතක් හෝ වේදනාවක් වූ කල්හි එයින් මිදීමට අන් කෙනෙකුට පිහිටක් නොවිය හැකි බව, මගේ යැයි අයත් කරගත් සියල්ල දමා යාමට සිදුවන බව, කොපමණ රැස් කළත් සෑහීමකට පත් නොකළ හැකි බව යන කරුණූ සතර ය. ඉහත දැක් වූ කරුණු තවදුරටත් රට්ඨපාල හිමියන් ධර්මානුකූලව රජතුමාට පැහැදිලි කර පෙන්නුවා. කෝරව්‍ය රජතුමා රට්ඨපාල හිමියන් මුණගැසෙන විට අසූවන වියේ පසුවූයේ අතපය දුබල බවත් අපහසුවෙන් ජීවත් වන බවත් සුහද සාකච්ඡාවේ මුල දී ප්‍රකාශ කළා. පසුව ගාථා 13කින් රජතුමාට ධර්මය දේශනා කළා.

එය ඇතුළත් රට්ඨපාල සූත්‍රය සෑම කෙනෙකුගේ ම ජීවිතයට බෙහෙවින් ප්‍රයෝජනවත් අගනා ධර්ම කරුණු රාශියක් සඳහන් වී තිබෙනවා. මහාවස්තුවක් හිමිවන්නට තිබූ රට්ඨපාල කුමාරයා පමණයි දරුවෙකු වශයෙන් දෙමාපියන්ට සිටියේ. එසේ තිබියදිී ත් තණුරුවන් කෙරෙහි මහත් ශ්‍රද්ධාවක් ඇති රට්ඨපාල තරුණයා පැවිදි බිමට පත්වීමත් රහත්භාවයට පත්වීමත් ඉතා අගනා සිදුවීමක්. මේ නිසා බුදුරදුන් භික්ෂු පිරිස් මධ්‍යයේ රට්ඨපාල හිමියන් සැදැහැයෙන් පැවිදි වූ භික්ෂූන් වහන්සේ ලා අතර අග්‍රස්ථානයට පත් කළා.

 

නිකිණි අමාවක පෝය


නිකිණි අමාවක පෝය අගෝස්තු 21 වන දා සඳුදා පූර්ව භාග 02.10 ට ලබයි. 22 වන දා අඟහරුවාදා පූර්ව භාග 00.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 21 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 29 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 21

First Quarterපුර අටවක

අගෝස්තු 29

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]