UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සුරූපි - විරූපි වෙනසක් ඇයි?

සුරූපි - විරූපි වෙනසක් ඇයි?

මේ ලෝකයේ ජීවත්වන සියලු දෙනාම සැපයට කැමැතියි. දුකට අකැමැතියි. සැපය කියන්නේ දීර්ඝායුෂ යි. මිහිරි කටහඬ, අලංකාර රූ සපුව, නිරෝගිකම ධනවත් බව, ප්‍රසිද්ධිය ආදිය යි. මේවා කිසි දිනක ක්‍රියාවකින් මිස පැතුමකින් ලබාගත නොහැකි යි.

කර්මය පිළිබඳ බුදුරජාණන් වහන්සේට තිබුණේ විස්මිත වූ අවබෝධයක්. ඒ අවබෝධය මේ ලෝකයේ වෙන කාටවත් තිබුණේ නැහැ. කර්මය යනු චේතනාත්මක ව කයින්, වචනයෙන්, මනසින් කරනා ක්‍රියාවන් ය. ඒ කර්මයන්ගේ විපාක දෙන ස්වභාවය සාමාන්‍ය මනසට අචින්ත්‍ය වූ, සිතන්නට අසීරු වූ විෂයයක් ලෙස බුදුරජාණන් වහන්සේ වදාළා.

දිනක් සුභ තරුණයා බුදුරජාණන් වහන්සේගෙන් මේ ලෝකයේ මිනිසුන් අතර ඇති විවිධත්වයට හේතුව කුමක්දැයි විමසා සිටියා. එවිට තථාගතයන් වහන්සේ වදාළා “පින්වත් තරුණය, සත්ත්වයෝ තමන්ගේ දෙය කරගෙන සිටින්නේ කර්මයයි. මේ සත්ත්වයෝ කර්මය දායාද කරගෙන, කර්මය උප්පත්ති ස්ථානය කරගෙන, කර්මය ඤාතියා කරගෙන, කර්මය පිළිසරණ කරගෙනයි ඉන්නේ. මේ උසස්, පහත් ස්වභාවයන්ට සත්ත්වයන් බෙදන්නේ කර්මය විසිනුයි” කියා.

මේ ලෝකයේ ජීවත්වන සියලු දෙනාම සැපයට කැමැතියි. දුකට අකැමැතියි. සැපය කියන්නේ දීර්ඝායුෂ යි. මිහිරි කටහඬ, අලංකාර රූ සපුව, නිරෝගිකම ධනවත් බව, ප්‍රසිද්ධිය ආදිය යි. මේවා කිසි දිනක ක්‍රියාවකින් මිස පැතුමකින් ලබාගත නොහැකි යි.

ඒ වගේ ම අවලස්සන වෙන්න, දිළිඳුව, දුකසේ ජීවත් වෙන්න අප කිසිවෙක් කැමැති නැහැ. සියලු දෙනා කැමැති සුරූපි සමාජයේ පිළිගත් ප්‍රසිද්ධ කෙනෙක් වෙන්නයි.

යම් කෙනෙකුට මේ මේ දේවල් මේ ජීවිතයේ දී ලැබී නැතිනම් එයට හේතුව ඒවා ලබාගන්න හේතුවන කර්ම ඔහු පෙර ජීවිතයේ දී රැස් කර ගෙන නැතිකම යි. එනිසා ඔහු කළ යුත්තේ මතු ජීවිතයේ දී ඒවා ලැබීමට හේතුවන කර්ම මේ ජීවිතයේදී රැස් කිරීමයි. මේ ජීවිතයේ දී කෙනෙකුට සුරූපි රූපයක්, ධනවත් බවක්, පිළිගැනීමක් තිබෙනවා නම් එයට හේතුව ඔහු පෙර ජීවිතයේ දී කිසිවෙකුට ක්‍රෝධ කර නැහැ. දන් දීම කර තිබෙනවා. අනුන්ට ඊර්ෂ්‍යා කර නැහැ.

අප කතා කරන මේ දේශනාවේ ප්‍රශ්න ඇසීමත්, පිළිතුරු දීමත් කරන්නේ ස්ත්‍රිය සම්බන්ධයෙන්. නමුත් කර්මය විපාක දෙන ස්වභාවය ස්ත්‍රියට වෙන ආකාරයක් පුරුෂයාට වෙනම ආකාරයක් කියා නැහැ. පුරුෂයෙක් වුවත් අන් අයට ක්‍රෝධ කළොත් අවලස්සන කෙනෙක් වෙනවා. දන් නොදී මසුරුකමින් සිටියොත් දිළින්දෙක් වෙනවා. අන් අයගේ සැපයට ඊර්ෂ්‍යා කළොත් පිළිගැනීම නැතිවෙනවා. ඒ නිසා ක්‍රෝධ කිරීමත්, දන් නොදීමත්, ඊර්ෂ්‍යා කිරීමත්, අපේ ජීවිත තුළ පුරුදු කර ගත යුතු ගුªණ ධර්ම යි.

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ වැඩ සිටියදී දිනක් උන්වහන්සේ බැහැ දකින්න කොසොල් රජුගේ අගමෙහෙසිය වූ මල්ලිකා දේවිය පැමිණියා. ඇය එතරම් සුරූපි කාන්තාවක් නොවේ. ඇය භාග්‍යවතුන් වහන්සේට වන්දනා කර ප්‍රශ්න කිහිපයක් අසා සිටියා,

ස්වාමිනි, මේ ලෝකයේ සමහර ස්ත්‍රීන් ඉන්නවා සුරූපි නැහැ. විරූපියි. ඒ වගේ ම දුප්පත්. අමාරුවෙන් ජීවත් වෙන්නේ. කිසිම පිළි ගැනීමක් නැහැ. භාග්‍යවතුන් වහන්ස, එහෙම වෙන්න හේතුව මොකක් ද?

ඒ වගේ ම ස්වාමිනි, සමහර ස්ත්‍රීන් ඉන්නවා. හරිම අවලස්සන යි. විරූපි යි. නමුත් ඉතා ධනවත්. විශාල සැප සම්පත් තිබෙනවා. පිළිගැනීමක් තිබෙනවා. එසේ වීමට හේතුව මොකක් ද?

ස්වාමිනි, මේ ලෝකයේ සමහර ස්ත්‍රීන් ඉතා සුරූපියි. දකින විට සිත පහදිනවා. නමුත් ඉතා දුප්පත්. කිසිම පිළිගැනීමක් නැහැ. එසේ වීමට හේතුව කුමක්ද?

භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයේ තවත් ස්ත්‍රීන් පිරිසක් ඉතා සුරූපියි. උතුම් වර්ණ සෞන්දර්යයෙන් යුතුයි. අලංකාර රූ සපුවෙන් යුතුයි. ඒ වගේම ඔවුන් ධනවත්. විශාල පිළි ගැනීමක් තිබෙනවා. එසේ වීමට හේතුව කුමද්ද?

බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මල්ලිකා, ඇතැම් ස්ත්‍රීන් නිතර නිතර ක්‍රෝධ කරනවා. කිපෙනවා. පොඩි වැරැද්දක්, වචනයක් එහා මෙහා වුණොත් බොහෝ සෙයින් කිපෙනවා. ගෝරනාඩු කරනවා. ඒ වගේ ම ඇය දන් දෙන්නේ නැහැ. මසුරුයි. ලෝභයි. අනුන්ට සත්කාර සම්මාන, ගෞරව, සමාජ පිළිගැනීම ලැබෙන කොට එයට ඊර්ෂ්‍යා කරනවා. එබඳු කෙනෙක් මරණින් මතු නැවත මිනිස් ලෝකයට ආවොත් ඇයගේ රූපය විරූපි වෙනවා. දුර්වර්ණ යි. ඒ වගේම දිළිඳු යි. භෝග සම්පත් අඩුයි. සමාජයේ පිළිගැනීමක් ලැබෙන්නෙත් නැහැ.

මල්ලිකා, තවත් ස්ත්‍රියක් ඉන්නවා. ඇයත් නිතර ක්‍රෝධ කරනවා. ක්‍රෝධය වැඩුණු සිතින් වාසය කරනවා. නමුත් ඇය දන් දෙනවා. ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට ආහාරපාන, වස්ත්‍ර, යාන වාහන, මල්, සුවඳ විළවුන්, නිවාස, ආදී බොහෝ දේ දන් දෙනවා. අනුන්ට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ඇය මරණින් මතු මිනිස් ලොව ඉපදුණොත් අවලස්සනයි. දුර්වර්ණයි. නමුත් ධනවත්. විශාල භෝග සම්පත් මෙන් ම පිළිගැනීමකුත් තිබෙනවා.

ඒ වගේ ම පින්වත් මල්ලිකා, මේ සමාජයේ තවත් ස්ත්‍රියක් ඉන්නවා ඇය ක්‍රෝධ කරන්නේ නැහැ. නිතර නිතර ගැටෙන ස්වභාවයෙන් යුතු නැහැ. ඇයට යමෙක් දොස් කීව ද කිපෙන්නේ නැහැ. අන් අය කෙතරම් නින්දා කළත් කිපෙන්නේ නැහැ. නමුත් ඇය දන් දෙන තැනැත්තියක් නොවේ. ඒ වගේ ම අන් සැපයට ඊර්ෂ්‍යා කරනවා. ඇය මරණින් මතු මනුෂ්‍ය ලෝකයේ ඉපදුණොත් ඉතා සුරූපියි. නමුත් ඇය දුප්පත් ඒ වගේ ම පිළිගැනීමක් ද නැහැ.

මල්ලිකා, සමහර ස්ත්‍රීන් ඉන්නවා ක්‍රෝධ කරන්නේ නැහැ. තවත් කෙනෙකුගේ ක්‍රියාවක් නිසා හෝ වචනයක් නිසා හෝ තමන්ගේ සිත කිළිටි කර ගන්නේ නැහැ. නිරන්තරයෙන් ඇය දන් දෙනවා. ලෝභ නැහැ. මසුරු නැහැ. අනුන්ගේ සැපය, දියුණුව දැක ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ඇය මරණින් මතු නැවත මිනිස් ලෝකයේ ඉපදුණොත් ඉතා සුරූපියි. දුටු දුටුවන් පහදිනවා. උතුම් වර්ණ සෞන්දර්යයෙන් යුතුයි. ඒ වගේ ම බොහෝ සේ ධනවත්. මනරම් සැප සම්පත් තිබෙනවා. ප්‍රසිද්ධයි. විශාල පිළිගැනීමකින් යුතු වෙනවා.

එවිට මල්ලිකා දේවිය කියනවා අනේ ස්වාමිනි, එසේනම් මම පෙර ජාතියක ක්‍රෝධ කළ කෙනෙක්. නිතරම කිපෙන, පොඩි දෙයටත් ගොඩක් තරහ ඇතිකර ගත් කෙනෙක් වෙන්න ඇති. එනිසා වෙන්න ඕන මම මේ ජීවිතයේ මෙතරම් අවලස්සන. නමුත් ස්වාමිනි, මම හොඳට දන් දුන් කෙනෙක්. මම ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට හොඳින් දානමාන වස්තු, ආහාරපාන, කුටි සේනාසන පූජා කර බොහෝ පින් කරපු කෙනෙක්. ඒ නිසා මට දැන් බොහෝ ධනය තිබෙනවා. මම අනුන්ගේ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා වන්දනා මානවලට ඊර්ෂ්‍යා නො කරපු නිසා මේ රාජ කුලයේ ක්ෂත්‍රිය කන්‍යාවන්, බ්‍රාහ්මණ කන්‍යාවන්, ගෘහපති කන්‍යාවන් අතර අග්‍ර වෙලා, අධිපති වෙලා, ඉසුරුමත් භාවයෙන් වාසය කරනවා.

ස්වාමිනි, මම අද පටන් අන් අයට ක්‍රෝධ කරන්නේ නැහැ. අන් අය මට මොන දේ කිව්වත් මම ඒවාට කිපෙන්නේ නැහැ. පෙරළා පහර දෙන්නේ නැහැ. මම මෙත් සිතින් වාසය කරනවා. ඒ වගේ ම මම තව තවත් දන් පැන් පූජා කරනවා. අනුන්ගේ සැපයට ඊර්ෂ්‍යා නො කරන, ඒ අයගේ දියුණුව දැක සතුටු වෙන කෙනෙක් වෙනවා. භාග්‍යවතුන් වහන්ස, අද පටන් මම ඔබවහන්සේ සරණ යනවා. ශී‍්‍ර සද්ධර්මය සරණ යනවා. ශ්‍රාවක සංඝයා සරණ යනවා යැයි මල්ලිකා දේවිය භාග්‍යවතුන් වහ්නසේ වන්දනා කරමින් කියා සිටියා.

එනිසා ඔබත් නිතර ම මෙත් සිතින් වාසය කරන්න. අන් අයගේ දියුණුවට කැමැති වෙන්න. නිතර නිතර ගැටෙන සිතින් වාසය නො කරන්න. එය ඔබගේ යහපත පිණිස පවතීවි.

 

නිකිණි අමාවක පෝය


නිකිණි අමාවක පෝය අගෝස්තු 21 වන දා සඳුදා පූර්ව භාග 02.10 ට ලබයි. 22 වන දා අඟහරුවාදා පූර්ව භාග 00.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 21 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 29 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 21

First Quarterපුර අටවක

අගෝස්තු 29

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]