UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුපිළිමයේ උපත - 75:  බුදුරජාණන් වහන්සේ අවසන්වරට භික්ෂු සංඝයා ඇමතීම

බුදුපිළිමයේ උපත - 75: 

බුදුරජාණන් වහන්සේ අවසන්වරට භික්ෂු සංඝයා ඇමතීම

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ හිටපු සහකාර
පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

චාපාල චෛත්‍ය ස්ථානයෙහි සිදුකළ, පන්සාළිස් වස් පිරි බුද්ධචරිතය හා සම්බන්ධ පරිනිර්වාණ තීරණය සූත්‍ර පිටකයෙහි අවස්ථා කීපයක දී ම සඳහන් වී තිබේ. ඒ මෙසේ ය.

දීඝනිකාය, මහා පරිනිබ්බාන සුත්ත පිටු - 162 – 169 සංයුත්ත නිකාය ඉද්ධිපාද සංයුක්තය, චාපාල වග්ග චේතිය සුත්ත පිටු 10 – 17

මාරදිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ මීට ඉහත දේශනා කරන ලද කරුණක් මෙසේ සඳහන් කළේ ය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් පාපිය, භික්ෂු, භික්ෂුණි, උපාසක උපාසිකා යන මාගේ ශ්‍රාවකයන් ව්‍යක්ත, විනීන විශාරද වනතුරු, ධර්මධර ධර්මානු ධම්ම ප්‍රතිපන්න අනු ධම්මචාරීන් වන තුරු, ස්වකීය ආචාර්යවාද මැනවින් ඉගෙන උඩුකුරු කොට පරවාද ඛණ්ඩනය කිරීමට සමත්වනතුරු, නෛර්යාණික ධර්මය දේශනා කරනතුරු මම පිරිනිවන් නොපාන්නෙමි යන කතාවක් කී සේක් නේද? මේ ශාසන බ්‍රහ්මචරියාව සමෘද්ධිමත්වනතුරු, වැඩෙන පැතිරෙනතුරු බොහෝ දෙනා දැන පුළුල්වනතුරු, දෙව් මිනිසුන් විසින් ප්‍රකාශිත වනතුරු පිරිනිවන් නොපාමියි කී සේක් නොවේද? ස්වාමීනි, දැන් භික්ෂු භික්ෂුණි, උපාසක උපාසිකා යන ශ්‍රාවකවරු ව්‍යක්ත විනීත විශාරද වෙති. ධර්මධර ධර්මානු ප්‍රතිපන්න අනු ධර්මචාරීහු වෙති. ස්වකීය ආචාර්යවාද මැනවින් ඉගෙන පරවාද ඛණ්ඩනයෙහි සමත්වෙති. නෛර්යානික ධර්මය දේශනා කරති. එසේ ම ශාසන බ්‍රහ්ම චර්යාවන් සමෘද්ධිමත් ය. වැඩී පැතිරුණේ ය. බොහෝ දෙනා දනිති. පුළුල්ය. දෙවි මිනිසුන් විසින් ප්‍රකාශිත ය.දැන් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑමට සුදුසු කාලය යි. භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවන් පාන සේක්වා,යි මාරයාගේ ආරාධනය විය.

බුදුන් වදාළ බුද්ධ චරිතය මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි සහ කීර්ති නාරම්පනාව පි. 214 – 215 (1999)

බුදුවීමට පෙර බෝසත් අවදියේ ත් බුදු වී කලක් ගත වනතුරුත් මාරයා තථාගතයන් වහන්සේ පසු පස සිදුරු සොයමින් ලුහුබැඳ ගියද පලක් නොවූ බව ඔහුගේ ම ප්‍රකාශයකින් පැහැදිලි වේ.

බුද්ධ විෂයය නිසා මාරවිෂයට සිදුවන අලාභය නොඉවසිය හැකිව මාරයා භාග්‍යවතුන් වහන්සේට පිරිනිවන්පාන ලෙසට ආයාචනා කරන්නට පටන් ගත්තේ ය. මෙය පටන් ගන්නා ලද්දේ බුදු වූ මුල්කාලයේ දී නේරංජනා ගඟ අසබඩ අජපාල නුගරුකමුල් හි වැඩසිටි අවස්ථාවේ දී පටන් ය.

මාරදිව්‍ය පුත්‍රයා පමණක් නොව මාර දුතිකාවන් ද විවිධ රංගනයන් ඉදිරිපත් කළ බව බෞද්ධ සාහිත්‍යයෙහි මෙන් ම පුරාණ භාරතයේ අජන්තා බිතුසිතුවම්වල සේ ම මූර්ති කලා මූර්තිවල ද නිරූපිත ය.

(දීඝ නිකාය මහා පරිනිබ්බාන සුත්ත පි. 176 – 178)


අජන්තා බිතුසිතුවම්වල නිරූපිත වසවර්ති මාරයාගේ දියණිවරුන්ගේ සිතුවම්...

බුද්ධ සේවාව නිමවනතුරු මාරායාචනය ප්‍රතික්ෂේප කළ අයුරු මාරයා එම පැරණී ප්‍රතිඥාව පිළිබඳ කළ සිහි ගැන්වීමෙන් පැහැදිලි වෙයි. අවසන්වරට එම ඉල්ලීම වෛශාලියෙහි චාපාල චෛත්‍ය ස්ථානයට පැමිණ කරද්දී වරක් දෙකක් නොව හයවරක් ම ප්‍රකාශ කළ බව මහා පරිනිබ්බාන සූත්‍රයෙන් පෙනේ.

මාරයාගේ එම අවසන් ආයාචනයට පිළිතුරු දෙමින් භාග්‍යවතුන් වහන්සේ මාරය, ඔබ මහන්සි නොවන්න. තථාගතයන් වහන්සේ තව නොබෝ දිනකින් පිරිනිවන් පාන සේක කියා වදාළහ. තථාගතයන් වහන්සේ ආයු සංස්කාරය අත්හළ බව දැනගත් පසු අනඳ තෙරුන් වහන්සේ තුන්වර දක්වා කල්පයක් ජීවත් වන ලෙස උන්වහන්සේ අයැද සිටියහ. චාපාල චේතිය ඇතුළු ස්ථාන සොළසක දී ම බරපතල නිමිති බරපතල ආලෝක දක්වද්දීත් එම ආයාචනය නොකිරීමෙන් අනඳ තෙරුන් විසින් ම වරදවාගත් බවත් දැන් දෙතුන්වර තථාගතයන් වහන්සේට ආයාචනාකොට වෙහෙස නොකරන ලෙසත් වදාළහ. එසේ ම ආයුසංස්කාර අත්හැරීම තමන් වහන්සේගේ අවසාන තීරණය වන බවත් එහිලා කනස්සලු වීමට කරුණක් නැති බවත් මෙසේ වදාළ සේක.

ආනන්ද, සියලුම පි‍්‍රයමනාප දෙයින් ඉවත්වීම, වෙන්වීම, වෙනසට පත්වීම කල්තියාම ඔබලාට මා විසින් ප්‍රකාශ කළා නොවේද? උපන් හටගත් පලුදුවන දෙයක් පලුදු නොවේවා යන්න කොයින් ලබන්න ද? එය නොසිදු වන්නකි. ආනන්ද තථාගයන් විසින් ආයු සංස්කාරය අත් හරින ලදී. නොබෝ දිනකින් පිරිනිවීම සිදුවෙයි. මෙයින් තෙමසකින් පසු තථාගතයන් වහන්සේ පිරිනිවෙතියි ඒකාන්ත ප්‍රකාශයක් කරන ලදී. තථාගතයන් විසින් හැරදමන ලද මුදාහරිනලද ප්‍රහීණ කරන ලද දුරුකරන ලද මෙය ජීවිතය නිසා වත් නැවත වෙනස් කරතියි යන්න නොසිදුවන්නකි. (මහා පරිනිබ්බාන සුත්ත. පි. 186 )

ඉන්පසුව විසාලා මහාවන කූටාගාර ශාලාවට අනඳ තෙරුන් වහන්සේ සමඟ වැඩම කළ භාග්‍යවතුන් වහන්සේ එහි දී විසාලාව අවට සිටින සියලුම භික්ෂූන් වහන්සේලා උපස්ථානශාලාවට රැස්කරවන ලෙස අනඳ තෙරුන්වහන්සේට නියම කළහ. ඒ අනුව සියලුම භික්ෂූන් වහන්සේලා රැස්කොට අනඳ තෙරුන් ඒ බව බුදුරජාණන් වහන්සේට දන්වා සිටියේ ය. බුදුරජාණන් වහන්සේ එතැනට වැඩම කර භික්ෂූන් අමතා මෙසේ වදාළ සේක.

මහණෙනි! ඔබලා මා විසින් මනාව අවබෝධ කොට දේශනා කරන ලද ධර්මය මේ ශාසන බ්‍රහ්මචර්යාව දිගු කල් පැවැත්ම සඳහා චිරස්ථායීවීම සඳහා මැනවින් ඉගෙන අනුගමනය කළ යුතු ය. වැඩිදියුණු කළ යුතු ය. බහුල කළ යුතු ය. එය බහුජන හිතසුව පිණිස බහුජන සැප පිණිස ලෝකානුකම්පාව පිණිස දෙව්මිනිසුන්ට හිත වැඩ පිණිස පවත්නේ ය. මා දෙසූ ධර්මය කුමක් ද? සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන, සතර සෘද්ධිපාද පංච ඉන්ද්‍රිය, පංචබල සත්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය යන මේවායි. මහණෙනි, එසේ නම් දැන් ඔබ සැම අමතයි. සංස්කාර නැසෙන සුළුයි. අප්‍රමාදයෙන් ශික්ෂා සම්පූර්ණ කරව්. නොබෝ දිනකින් තථාගත පරිනිර්වාණය සිදුවෙයි. මෙයින් තෙමසක් ගතවීමෙන් තථාගතයන් වහන්සේ පිරිනිවෙති.

(මහා පරිනිබ්බාන සුත්ත – පි. 186 – 188)


පසුගිය සතියෙන්:  බුදුපිළිමයේ උපත - 74: පාපී මාරයා නැවත නැවතත් කළ ආරාධනය

 

නිකිණි අමාවක පෝය


නිකිණි අමාවක පෝය අගෝස්තු 21 වන දා සඳුදා පූර්ව භාග 02.10 ට ලබයි. 22 වන දා අඟහරුවාදා පූර්ව භාග 00.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 21 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 29 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 21

First Quarterපුර අටවක

අගෝස්තු 29

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]