UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගිහි ගෙදරට දහම් වැටක්: කිළිටි නොකිළිටි ජීවිතය

කිළිටි නොකිළිටි ජීවිතය

කිළිටි ජීවිතයක් ගත කිරීම සහ නොකිළිටි ජීවිතයක් ගත කිරීම සමබන්ධ ව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා.කිළිටි ජීවිතය යනු යම් යම් අපවිත්‍රතාවලින් පිරුණු ජීවලෙස සමාජයේ ජීවත්වීම යි. කිළිටි වස්ත්‍ර සහ නොකිළිටි වස්ත්‍ර වශයෙන් ඇඳුම් පැළඳුම් කොටස් දෙකකට වර්ග කළ හැකි යි. කාලයක් ඇඳීමෙන් අපවිත්‍ර බවට පත් ඇඳුම කිළිටි වෙයි.

ඇතැම් විට සමහරුන් කිළිටි ඇඳුම් අඳින අවස්ථා නැතිවා නොවෙයි. ඒ ඇඳුමේ තිබෙන කිළිටි දුර්ගන්ධය ඔහුගේ නාසයට හුරුපුරුදු වී තිබීම නිසා කිළිටි දුර්ගන්ධය ඔහුට නොදැනෙයි. කිළිටි ඇඳුම් අඳින විට තමාට එහි ඟද නොදැනුණත් අනෙක් පිරිසට එය හොඳින් දැනෙයි. ඇතැම් පුද්ගලයන්ට තමන් අඳින කිළිටි ඇඳුමේ කිළිටි බව දැණුනත්, ඇතැම් පුද්ගලයන්ට එම ඟද නොදැනෙයි.

ඒ වගේ ඇතැම් පුද්ගලයන් කිළිටි වූ ජීවිත ගත කර යි. ජීවිතය අපවිත්‍ර බවෙන් කිළිටි වන්නා සේ ම , සිතිවිලි තුළින් ද , සිතන ආකාරය අනුව ද, තමන් කල්පනා කරන ක්‍රමය අනුව ද කිළිටි වෙයි. අනෙකා පිළිබඳ විමසන ආකාරය පිළිබඳව සිත කිළිටි වෙයි.එම කිළිටි ස්වභාවය ඇතැමුන්ගේ වචනය තුළින් පිටතට පැමිණෙයි.

අනෙකා හෙළා දකිමින් කතා කරයි. අනෙක් පුද්ගලයා පිළිබඳ විරෝධයෙන් යුතුව ඔහුගේ හෝ ඇයගේ අඩුපාඩු දුර්වලතා ම කතා කරයි. තමන් විසින් කරනු ලබන අපවිත්‍ර ක්‍රියාකාර කම්, අවුල් සහගත කටයුතු තුළින් ජීවිතය කිළිටි වෙයි. ඇතැම් පුද්ගලයන් කිළිටි වූ සිත යහපත් සිතිවිලි පුරවාගනිමින් සෝදා පවිත්‍ර කරගනී. ඊර්ෂ්‍යා, ක්‍රෝධ, ,මාන්නාධික සිතිවිලිවලින් සිත කිළිටි වූ විට යහපත් සිතිවිල්ලක් සිතූ පමණින් එම අයහපත් සිතිවිල්ල ඉවත් වීමක් සිදුනොවෙයි.

අඩක් අපවිත්‍ර වතුර පිරුණ වීදුරුවක් පිරවීමට ඉතිරි අඩ පිරිසුදු ජලයෙන් පිරවූවාට එම වීදුරුවෙහි වතුර පිරිසුදු වන්නේ නැහැ. අඩක් අපවිත්‍ර ජලය පිරුණු වීදුරුවක අඛණ්ඩව වතුර පිරවීමට කටයුතු කළහොත් අපවිත්‍ර ජලය ඉවත්ව ගොස් පවිත්‍ර ජලයෙන් පිරීයයි. අපගේ මනසත් එවැනි ආකාරයෙන් කටයුතු කරයි. අපවිත්‍ර සිතුවිලි තුළට පවිත්‍ර සිතිවිල්ලක් සිතූ පමණින් අපවිත්‍ර සිතිවිල්ල ඉවත් නොවෙයි.

පවිත්‍ර සිතිවිල්ලට අපවිත්‍ර සිතිවිලිවල ස්වභාවය ම හුරුවෙයි. අපවිත්‍ර සිතිවිලි ඉවත් කිරීමට නම්, පවිත්‍ර සිතිවිලි තුළින් අඛණ්ඩව සිත පිරවිය යුතුයි. මෛත්‍රී භාවනාව, ආනාපාන සති භාවනාව වැඩීම තුළින් පවිත්‍ර සිතිවිලි වර්ධනය කළ හැකි වෙයි. ඇතැම් පුද්ගලයන් තමාගේ සිත අපවිත්‍රව, අවුල් ව ගිය විට එය පිරිසුදු කරගනී.

ඇතැම් පුද්ගලයන් තමන්ගේ සිත අනෙකාට නොපෙනෙන බවට සිතමින් ජරාජීර්ණ වූ සිතිවිල්ල ම පවත්වාගෙන ඒ ආකාරයෙන් ම කටයුතු කරයි. ඇතැම් පුද්ගලයන්ගේ සිතෙහි අපවිත්‍රතාවය ඔවුන්ට නොදැනෙන්නේ එම දුඟද ඔවුන්ට හුරුපුරුදු නිසයි. ඇතැම් පුද්ගලයන් තමාගේ කට සෝදා පවිත්‍ර කරගනු ලැබුවත්, හඬක් වශයෙන් වචන පිටවන විට ඔවුන්ගේ සිතෙහි ස්වභාවය දැනගත හැකියි. පුද්ගලයෙකු කතා කරන වචනයෙන් සිතෙහි ස්වභාවය සමාජයේ අනෙකාට පෙන්නුම් වෙයි.

ඇතැම් පුද්ගලයන් වචනයෙන් කිළිටි ජීවිත ගත කරයි. ඇතැම් පුද්ගලයන් කතා කරන විට ඊර්ෂ්‍යාව, වෛරය,ක්‍රෝධය පිරුණු වචන බවට පෙන්නුම් වුවත්, එය පිළිගන්නට ඔවුන් කැමැති නොවෙයි.තමා යම් මතයක එල්බ සිටින නිසා එම මතය ම නිවැරැදි බවට සිතයි. එය මිනිස් මනසෙහි පවතින ස්වභාවය යි.

තමාගේ මනස පිළිබඳ ව තමා විසින් නිතර ම මනසින් ප්‍රශ්න කළ යුතුයි. එසේ නොවිමසීමෙන් තමා සිතන සිතිවිල්ල පමණක් නිවැරැදි ලෙස සිතීමට සිත පුරුදු වෙයි. කිළිටි ඇඳුම් අඳින පුද්ගලයාට තමාගේ ඇඳුමෙහි කිළිටි ඟද නොදැනෙන්නා සේ තමන් සිතින් කරන දුෂ්චරිත වැරැදි බව තමාට වැටහෙන්නේ නැහැ. තමන් වචනයෙන් සිදුකරන දුෂ්චරිත වැරැදි බව තමාට නොදැනෙයි.

ඇතැම් පුද්ගලයන් කයෙන් වැරැදි කිරීමට පුරුදුව සිටිනවා නම්, ඔවුන් විසින් එවැනි දේ ම කරනු ලබයි. ඇතැම් පුද්ගලයන්ගේ සිත කිළිට්ි නොවුණත් කය කිළිටි වෙයි. ඇතැම් පුද්ගලයන්ගේ සිත කිළිටි් නොවුණත් කය කිළිටි වෙයි. මේ ආකාරයෙන් ඇතැම් පුද්ගලයන්ගේ දොරටු තුන ම කිළිටි වෙයි. ඇතැම් පුද්ගලයන්ගේ දොරටු දෙකක් කිළිටිි වෙයි. ඇතැම් පුද්ගලයන්ගේ දොරටු එකක් කිළිටි වෙයි.

ඇතැම් වැරැදි පිළිබඳ ව සිතෙන් විමර්ශණය කර නිවැරැදි කරගත හැකි වුවත්, ඇතැම් වැරැදි නිවැරැදි කරගැනීමට නොහැකි වෙයි. යම් ක්‍රියාවක් වූ විට එය නිවැරැදි කිරීමට අපහසු නම්, එය ඉවත් කළ යුතුයි. අනාගතයේ එවැනි වරදක් නොවන බවට සිතමින් බෝධි පූජාවක් තබා බෝධීන් වහන්සේට හෝ ප්‍රකාශ කර එය සිතින් ඉවත් කළ යුතුයි.පුද්ගලයෙකුට ප්‍රකාශ කළ නොහැකි නම් එවැනි අවස්ථාවල කටයුතු කළ යුතු ආකාරය බුදු දහමෙහි සඳහන් වෙයි.

ලංකාවේ උතුම් මිනිසුන් ජීවත් වුවත්, සියලු පුද්ගලයන්ගේ සිතිවිලි සියයට සියයක් ම සුන්දර නැහැ. අනෙකාට ඇඟිිල්ල දිගු කරනවාට වඩා තමා විසින් තමාගේ මනස සමඟ සාකච්ජා කළ යුතු බවට බුදු දහම සඳහන් කරයි. තමාගෙන් වරදක් සිදුවූ බොහෝ අවස්ථාවල හේතුවක් පෙන්නුම් කරමින් එම හේතුව නිසා තමාගෙන් එම වරද සිදුවූ බවට සාධාරණය කිරීමට උත්සාහ කරයි. ඔහු බැන්න නිසා තමා ද බැන්න බව ප්‍රකාශ කරයි. වෙනත් පුද්ගලයෙකු වරදක් කළාය යනු තමාටත් වරදක් කිරීමට ලබාදෙන බල පත්‍රයක් නොවන බව සිහියට ගත යුතුයි. ඔහු හෝ ඇය කළ දේ ඔහුට යි. තමා කළ දේ තමාට යි. කිළිටි බව ඇති මිනිසුන්ගේ ක්‍රියාකාරකම් පහක් පිළිබඳ ව බුදු දහමෙහි සඳහන් වෙයි.

 

නිකිණි අමාවක පෝය


නිකිණි අමාවක පෝය අගෝස්තු 21 වන දා සඳුදා පූර්ව භාග 02.10 ට ලබයි. 22 වන දා අඟහරුවාදා පූර්ව භාග 00.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 21 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 29 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 21

First Quarterපුර අටවක

අගෝස්තු 29

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]