UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඓතිහාසික බෙල්ලන්විල ඇසළ පෙරහර මංගල්‍ය

ඓතිහාසික බෙල්ලන්විල ඇසළ පෙරහර මංගල්‍ය

රන්දෝලි මහ පෙරහර වීථි සංචාරය 26 දා


බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නා හිමි


බෙල්ලන්විල ධම්මරතන නා හිමි


බෙල්ලන්විල විමලරතන අනු නා හිමි

සිරිලක පමණක් නොව දේශ දේශාන්තරවල ජනී ජනයාගේ අභිමානයට පාත්‍ර වූ ඇසළ මහ පෙරහරක් පවත්වන මහ පුදබිමකි බෙල්ලන්විල රාජමහා විහාරය. ලෝ දන මුවග රැව් පිළිරැව් දෙන මහ පුදබිමක් වූ බෙල්ලන්විල රාජමහා විහාරය පෙර රජ දවස දෙවනපෑතිස් යුගය දක්වා ඉතිහාසයකට හිමිකම් කියයි. සඟමිත් තෙරණිය වැඩමවූ ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හටගත් දෙතිස් ඵල රුහ බෝධි අංකුරයක් බෙල්ලන්විල රෝපණය කළ බව ක්‍රි.ව. 1303 - 1333 විල්ගම්මුල මාහිමිපාණන් විසින් රචිත සිංහල බෝධි වංශය නම් ඓතිහාසික ග්‍රන්ථයේ සඳහන් වීමෙන් ඒ බව සනාථ වේ. අරිසෙන් අහුබුදු ශූරීන් රචිත “බෝපුද” නමැති ග්‍රන්ථයේ මෙසේ සඳහන් කර ඇත. "සිවුවන ඵලයෙන් හටගත් බෝධිය - බෙල්ලන්විල මහ වෙහෙරෙහි බෝධිය - භාර හාර නිම නැති බෝධිය - තිස් වෙනුවට නමදිමු මේ බෝධිය" මාතෘභූමිය අවස්ථා කීපයකදීම විදේශ ආක්‍රමණ වලට ලක්වීමෙන් මෙරට ඓතිහාසික පෞරාණික සිද්ධස්ථාන රාශියක් විනාශයට ලක්විය. එහි ප්‍රතිඵලයක් ලෙස බෙල්ලන්විල රාජමහා විහාරය ද ඒ අවට ප්‍රදේශයන් ද විනාශ වී ජන ශූන්‍ය විය. 1860 ගණන් වලදී අත්තිඩියේ විහාරයේ වැඩ විසූ තේන්ගොඩගෙදර හිමියන් බෙල්ලන්විල හරහා වැටී ඇති කටු ඇළ මාර්ගයේ පාරුවකින් වඩිමින් සිටිය දී ජනශූන්‍ය වූ ප්‍රදේශයකින් ඇසුණ බෙරහඬ පිළිබඳව විමසිලිමත් වීමෙන් බෙල්ලන්විල බෝධීන් වහන්සේ දකින ලදුව මෙම ස්ථානය දෙවියන් පවා වැඳුම් පිදුම් කරන භූමියක් බවට තේරුම් ගෙන ජනතාවට ද වැඳුම් පිදුම් කරන ස්ථානයක් බවට පත්කරන ලදි. මෙසේ පුදබිමක් බවට පත්වූ බෙල්ලන්විල රාජමහා විහාරයේ වර්තමාන පුනරුදයට පුරෝගාමීව කටයුතු කරන ලද මහා යතිවරයාණෝ අපවත් වී වදාළ බෙල්ලන්විල ශ්‍රි සෝමරතන නාහිමිපාණන් වහන්සේ ය. උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට විහාරස්ථානය දෙස් විදෙස් හී බෞද්ධ, අබෞද්ධ ජනී ජනයා අතර අභිමානය දනවන අංග සම්පූර්ණ පුණ්‍ය භූමියක් බවට පත්වී ඇත.

1946 වර්ෂයේ විහාරාධිපති ධූරයට පත්වූ සෝමරතන නාහිමිපාණන් වහන්සේ පොළොන්නරුව විහාර සම්ප්‍රදායයට අනුකූලව විහාර මන්දිරය නිර්මාණය කළහ. අර්ථාන්විත කැටයම් රූප ආදියෙන් මෙම විහාර මන්දිරය සමන්විත වන අතර ජනතාවගේ ශ්‍රද්ධාව පමණක් නොව නුවණ ද දැනුම ද ඒ තුළින් වර්ධනය කරයි. සුවිශේෂී වූත් ආවේණික වූත් විශේෂ බිතුසිතුවම් කලාවක් බෙල්ලන්විල විහාර මන්දිරය තුළ දක්නට ලැබෙන අතර අර්ථාන්විත වූ මෙම චිත්‍ර සම්ප්‍රදාය අප ගුරු දේවෝත්තම මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි අග්‍රගණ්‍ය චිත්‍ර ශිල්පී සෝමබන්දු විද්‍යාපති කලාකරුවන් විසින් අර්ථ ගන්වනු ලැබ ඇත. ආගමික වශයෙන් ජනතාවට විශාල මෙහෙවරක් සිදුකරන බෙල්ලන්විල රාජමහා විහාරස්ථානය පන්සලෙන් ජනතාවට යන තේමාව යටතේ විශාල සමාජ මෙහෙවරක ද නියුතු වේ. වසර මුළුල්ලේ ලක්ෂ සංඛ්‍යාවක මුදල් වැය කරමින් ළමා, යොවුන්, තරුණ පිරිස් වෙනුවෙන් සිදුකරන අධ්‍යාපන සේවා, ප්‍රජා සංවර්ධන පදනමේ සේවාවන්, ප්‍රජා සත්කාරක සේවාවන්, අධ්‍යාත්මික දියුණුව සඳහා සිදුකරන සේවාවන්, වැඩිහිටි සත්කාරක සේවාවන්, වෛද්‍යාධාර හා උපකරණ ලබාදීම, ගම්මාන නගා සිටුවීම, නිවාස ලබාදීම ඒ අතර වේ. 1983 දී අපවත්වී වදාළ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමිපාණන් වහන්සේ විසින් 1950 ආරම්භ කරන ලද බෙල්ලන්විල ඇසළ මහා පෙරහර දේශීය කලාව හා සංස්කෘතිය ඔප් නැංවීමට දරණ ලද ප්‍රයත්නයේ මල් ඵල ගැන්වීමකි. රටටත්, ප්‍රදේශයටත් සෙතක්, ශාන්තියක් ලබාදීමේ අරමුණින් ආගමානුකූල චාරිත්‍ර විධිවලට ප්‍රමුඛස්ථානය ලබාදෙමින් ආරම්භ කරන ලද ඇසළ මහා පෙරහර මෙවර පවත්වනු ලබන්නේ 63වන වතාවටය. ආගමික වතාවන්වලට මුල් තැනක් දෙමින් ආරම්භ කළ බෙල්ලන්විල ඇසළ පෙරහරේ විශේෂත්වය වන්නේ පෞරාණික චාරිත්‍රානු විධීන් නොඉක්මවා යමින් ඒ සඳහාම ප්‍රමුඛත්වය දෙමින් පවත්වන මෙම පෙරහර ඒ නිසා ම සාමාන්‍ය පෙරහර සංදර්ශනයක් ලෙස සැළකිය නොහැකි ය. බුද්ධ වන්දනාවන් හා දේව වන්දනාවන් ලෙසින් ද මෙම ඇසළ උළෙල නව සංස්කෘතිකාංග සමගින් වසරින් වසර ඉතා උත්කර්ෂවත් අයුරින් සංවිධානය වෙයි.

වර්තමාන බෙල්ලන්විල රාජමහා විහාරාධිපති සිංගප්පූරුවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නා හිමිපාණන් හා විහාරාධිකාරී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමිපාණන් වහන්සේ යන මා ගුරුදේවෝත්තමයාණන් වහන්සේලාගේ පූර්ණ අධීක්?ෂණය යටතේ ස්ථාපිත කරන ලද බෙල්ලන්විල ඇසළ පෙරහර කමිටුව හා ඒ හා බැඳුණු තවත් අනු කමිටු විසින් සංවිධානය කරන මෙවර ඇසළ පෙරහර උත්සවයට පොදු ජනතාවගේ ත් දානපතියන්ගේ ත්, විහාරස්ථ දායක සභාව, කුළගන සමිතිය, තරුණ බෞද්ධ සංසදය, තරුණ බෞද්ධ සමිතිය, ප්‍රජා සංවර්ධන පදනම, ශ්‍රී බෝධිරාජ සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දහම් පාසල් දෙකත් ආදී විහාරස්ථානයට අනුබද්ධ සියලු සමිති සමාගම්වල පූර්ණ සහයෝගය ලැබිම ඉතා අගය කළ යුත්තකි. උඩරට, පහතරට හා සබරගමු නැටුම් වලින් ද අලි ඇතුන් විශාල ප්‍රමාණයකින් ද සමන්විත ව සිව් මහා දේවාල පෙරහර ද සමඟ අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වෙන බෙල්ලන්විල ඇසළ මහා මහ පෙරහර එහි නිර්මාතෘ අපවත්වී වදාළ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමිපාණන්ගේ ගුණසමරු ධර්ම දේශනා පින්කම් මාලාවක් හා දානමය පින්කමක් සමගින් අරඹන ලදුව සති පිරිත් දේශනාවකින් රටටත් ජනතාවටත් තුණුරුවන්ගේ ආශිර්වාදය ලබාදීමෙන් පසුව අගෝ. 20, 21, 22 හා 23 වන දින වල මල් පෙරහර පැවැත්වෙයි. 24 වන දින පාවාඩ පෙරහරද, 25 වන දින රන්සිවිලි පෙරහරද, 26 වන දින රන්දෝලි මහා පෙරහර ද පවත්වා අගෝස්තු 27 වන දින දියකැපීමේ මංගල්‍ය හා දේව දානය පිදීමෙන් අනතුරුව මෙවර ඇසළ උත්සවයේ කටයුතු නිමාවට පත් වේ. අධ්‍යත්මික වශයෙන් ද භෞතික වශයෙන් ද මහඟු සේවාවක් සිදු කරන බෙල්ලන්විල රාජමහා විහාරය එහි සුවිශේෂී වූ ත් අභිමානි වූ ත්, ආකර්ෂණීය වූ ත් ඇසළ මහා පෙරහර තව චිරාත් කාලයක් පැවතෙත්වා යන්න අප සැමගේ ඒකායන ප්‍රාර්ථනාව යි.

 

නිකිණි අමාවක පෝය


නිකිණි අමාවක පෝය අගෝස්තු 21 වන දා සඳුදා පූර්ව භාග 02.10 ට ලබයි. 22 වන දා අඟහරුවාදා පූර්ව භාග 00.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 21 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 29 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 21

First Quarterපුර අටවක

අගෝස්තු 29

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]