UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිතෙහි ගිනි ඇතිවන්නේ ඇයි?

“පුණ්ණ, චක්ඛු විඤ්ඤාණයෙන් දත යුතු වූ ඉටු වූ, කමනීය වූ, සිත සතුටු කරන, ප්‍රිය ස්වභාව ඇති, කාමයෙන් යුක්ත වූ, ඇලීම් ඇති වන රූප ඇත්තේ ය. යම් භික්ෂුවක් එම රූපයෙහි සතුටු වෙයි ද? සතුටු වන බව පවසනවා ද? එහි ඇලී ගැලී සිටී ද? ඒ භික්ෂුවට සතුට උපදී. සතුට හෙවත් ප්‍රීතිය නම් වූ තෘෂ්ණාව ඉපදීමම දුකෙහි ඉපදීමවේ”.

සංයුක්ත නිකායේ සළායතන සංයුක්තයේ සඳහන් “පුණ්ණ සූත්‍රයේ” ධර්ම කොටසකි මේ. මෙම උතුම් වූ සූත්‍ර දේශනාව පුණ්ණ තෙරුන් වහන්සේ මුල් කොට සියලුම ස්වාමීන් වහන්සේ ආමන්ත්‍රණය කරමින් දේශනා කළත්, ජාති, ජරා, මරණාදී දුකින් නිදහස්ව සැනසුම සොයන සෑම දෙනාට ම එකසේ ප්‍රයෝජනවත් ය.

අපමණ වූ පිරිසක් දුක්ඛ දෝමනස්සයන්ට හසුව කායිකවූත්, මානසික වූත් බොහෝ පීඩාවන් ලබති. එසේ ඇතිවන දුක පිළිබඳවත්, දුකට හේතුවත්, දුකින් මිදීමත්, දුකින් මිදීමේ මාර්ගයත් අවබෝධ කර ගැනීමට හැකිනම් සොයන සුන්දර වූ සදාකාලික වූ සැනසුම ලැබෙනු ඇත. “මම කැමැතියි, මම කැමැති නැහැ” යනුවෙන් සරලව ඇති කරගන්නා වූ තෘෂ්ණාවෙන් යුතු උපාදාන නිසා සතර අපායන් ද ඇසුරුකර ගනිමින් දීර්ඝ වූ සසර ගමනකට හේතුවක් වනු ඇත. දුක සහ දුකට හේතුව ලෙසින් දැක්ම ඇති කර ගැනීම මෙම සූත්‍ර දේශනාවෙන් පැහැදිළි කරන අතර, සිතීමේ වචනයේ හා ක්‍රියාවේ පටන් ඇතිවන නිවීම ද පැහැදිලි කොට දේශනා කෙරේ.

දුකෙහි උපත

චක්ඛු විඤ්ඤාණයට හසුවන, මනා පෙනුමැති, සතුටු කරවන කාමයෙන් යුතු රූප පවතියි. භික්ෂුවක් හෝ යම් කෙනෙක් එහි ඇලී ‘මගේ’යි සිතමින් සතුටු වෙයි ද ‘මම කැමැතියි’ ආදී ලෙසින් පවසයි ද එහි ගැලී සිටී ද ඔහුට හෝ ඇයට ආත්ම දෘෂ්ඨිය මුල් කරගත් තණ්හාව උපදියි. මෙසේ තෘෂ්ණාව ඉපදීම නම් දුකෙහි හට ගැනීම බව තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරති.

රූපයෙහි හෝ ශබ්දයෙහි රාගාදී කෙලෙස් අඩංගු වී නැත. එනමුත් පුද්ගලයා විසින් රූප, ශබ්දාදි අරමුණු ස්පර්ශ කිරීමේ දී විඳීම අනුව මෙම රාගාදි කෙලෙස් පහළ වීම හෝ නොවීම සිදුවෙයි. අනිච්ච, දුක්ඛ, අනත්ත ඔස්සේ අරමුණු මෙනෙහි කරන්නට අසමත් පුද්ගලයා අභාවිත සිත් ඇත්තෙකු ලෙස සඳහන් කෙරේ. එනම් මෙම අභාවිත පුද්ගලයා විසින් රූපාදී අරමුණු කෙරේ විඳීම්, සිතීම්, හැඟීම් පවත්වන්නේ මගේය, මම වෙමි මගේ ආත්මය හෝ මෙය ස්ථිරයි, නම් වූ දෘෂ්ටියෙනි. මෙසේ සිතන පුද්ගලයාගේ ස්වභාවය කුමක් වන්නේ ද? අභාවිත සිතක් එනම් චක්ඛු විඤ්ඤාණ ඒ අනුව සකස් වන පුද්ගලයා එම රූප ප්‍රාර්ථනා කරයි. ඒ ගැන සිතින් තදින් අල්ලාගත් හැඟීමෙන් කතා කරයි. ඒ ගැනම සිතන, එයම ප්‍රාර්ථනා කරන, ඒ ගැන නිතර කතා කරන බැවින් එහිම ගැලී සිටිනු ඇතැයි සඳහන් කෙරේ. “අභිනන්දති, අභිවදති, අජඣෝසාය තිට්ඨති”.

පුණ්ණ තෙරුන් ඇමතු භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ කුමක් ද? “පුණ්ණ, මෙසේ ආත්ම දෘෂ්ඨිය මුල් කරගත් තෘෂ්ණාව දුකෙහි ඉපදීමයි.” නන්දි සමුදයා දුක්ඛ සමුදයෝ පුණ්ණති වදාමි.” මෙසේ තෘෂ්ණාවෙන් උපාදාන කර ගැනීම දුක් හට ගැනීමට හේතුවක් හෝ දුකෙහි උපත ලෙස දේශනා කළේ කුමක් ද? මෙම තෘෂ්ණාව සසරට අල්ලා බැඳ තබන සංයෝජනයක් වන බැවිනි.

සංයුක්ත නිකායේ අනමතග්ග සංයුතියෙහි පැහැදිලි කළේ, සියලු සත්ත්වයන් මෙසේ අගක් මුලක් දැකීමට අපහසු සසරෙහි, අවිද්‍යාවෙන් හටගත් තෘෂ්ණාව නිසා සසරට බැඳී ජීවිත කාලයක් පුරා දුක් විඳින බවයි. “දීඝරත්තං වො භික්ඛවේ දුක්ඛං පච්චනුභූතං” යනුවෙන් පැහැදිළි කළේ එයයි. එම දුක් රැස පටිච්චසමුප්පාද ධර්මයෙහි පැහැදිලි කරන අයුරු “ජරා මරණ. සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස’ ලෙස සරල ලෙස ඉතාමත් කෙටියෙන් සඳහන් කළ හැකිය.

දුක අවසන් වීම

භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් මෙසේ පැහැදිලි කොට දේශනා කරති. පුණ්ණ, සෝත විඤ්ඤාණයෙන් දත යුතු ශබ්ද ඇත්තේ ය. ඝාන විඤ්ඤාණයෙන් දත යුතු ගන්ධ ඇත්තේ ය. ජීව්හා විඤ්ඤාණයෙන් දත යුතු රස ඇත්තේය. කාය විඤ්ඤාණයෙන් දත යුතු ස්පර්ශය ඇත්තේ ය. මනෝ විඤ්ඤාණයෙන් දත යුතු දහම් ඇත්තේය. මෙම අරමුණු කමනීය වූ සිත සතුටු කරන, ප්‍රිය ස්වභාව ඇති කාමයෙන් යුතු වන්නේ ය. යම් භික්ෂුවක් ඒවා ප්‍රාර්ථනා කරයි ද ප්‍රියමනාප යැයි කියමින් ගැලී සිටින ඔහුට සතුටින් යුතු තෘෂ්ණාව උපදී. මෙම තෘෂ්ණාව ඉපදීම නිසා දුක් ඉපදවීම වේ යැයි කියමි.

පුණ්ණ, චක්ඛු විඤ්ඤාණයෙන් දත යුතු කමනීය, සිත් සතුටු කරන, ප්‍රිය ස්වභාවය ඇති කරන, කාමයෙන් යුත් රූප ඇත්තේ ය. සෝත විඤ්ඤාණයෙන් දත යුතු ශබ්ද ඝාන විඤ්ඤාණයෙන් දත යුතු ගන්ධ, ජිව්හා විඤ්ඤාණයෙන් දත යුතු රස, කාය විඤ්ඤාණයෙන් දත යුතු ස්පර්ශ, මනෝ විඤ්ඤාණයෙන් දත යුතු ධර්ම ඇත්තේ ය. එවැනි අවස්ථාවක, භික්ෂුව ඒවා ප්‍රාර්ථනා නොකරයි ද “මගේ” යැයි සිතින් අල්ලා නොගෙන එහි ගැලී නොසිටී ද ඔහුට තෘෂ්ණාව උපදින්නේ නැත. තෘෂ්ණාව නැතිවෙයි. තෘෂ්ණාව නැතිවීමෙන් දුක ද අවසන් වෙයි.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති. මා විසින් සැකවින් හික්මවන ලද ඔබ කවර ප්‍රදේශයක වාසය පිණිස යන්නේ ද? සුනාපරන්තයට යමි. පුණ්ණ සුරාපරන්ත වැසියන් පරුෂයි. ඒ වැසියන් ඔබට බනින්නේ නම් ඔබට කුමන සිතක් පහළ වෙයි ද? ඒ මිනිසුන් මා හට ආක්‍රෝශ පරිභව කරන්නේ නම් අතින් පහර නොදෙන්නේ යැයි යහපත් සිතක් ඇති කර ගන්නෙමි.

ඔබට අතින් පහර දෙන්නේ නම් කවර සිතක් ඇති කර ගන්නේද? ගල් කැබලිවලින් පහර නොදෙන්නේ යැයි යහපත් සිතක් ඇතිකර ගන්නෙමි.

ගල්වලින් පහර දෙන්නේ නම් කවර සිතක් ඇති කර ගන්නේද? මට දඬු කැබලිවලින් පහර නොදෙන්නේ යැයි යහපත් සිතක් ඇති කර ගන්නෙමි.

යහපත් සිතක්

දඬුවලින් පහර දෙන්නේ නම් කවර සිතක් ඇති කර ගන්නේද? ගල් සැතකින් පහර නොදෙන්නේ යැයි යහපත් සිතක් ඇතිකර ගන්නෙමි. සැතකින් පහර දෙන්නේ නම් කවර සිතක් ඇති කර ගන්නේ ද? සැතකින් පහර දී මාගේ ජීවිතය තොර නොකරන්නේ යැයි යහපත් සිතක් ඇති කර ගන්නෙමි. හොඳයි, පුණ්ණ ඒ වැසියන් සැතකින් ඔබගේ ජීවිතය නැති කළොත් ඔබට කවර නම් වූ සිතක් පහළ වෙයි ද? ස්වාමිනි, ශ්‍රාවකයෝ කායිකවත් ජීවිත පැවැත්මෙන් පීඩාවට පත්ව සැතකින් තමාට පීඩා කර ගැනීමට සොයති. මා විසින් එසේ නොකරම, මා වෙතට පැමිණ ඇතැයි සිතක් ඇති කරගන්නෙමි. පුණ්ණ, ඉතාම යහපත්ය. ඉන්ද්‍රිය දමනයෙන් සහ සංයමයෙන් යුතු බවට සුනාපරන්ත දේශයෙහි වාසය කරන්නට හැකිය. ඔබට එහි දැන් වැඩම කළ හැකිය.

අනතුරුව, පුණ්ණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට, ප්‍රදක්ෂිණා කොට, ගෞරව දක්වා, පාත්‍රා සිවුරු ගෙන සුනාපරන්ත දේශයට වැඩම කළහ. පුණ්ණ තෙරණුවෝ එහි වැඩම කොට ඒ වස් කාලයේ ම පන්සියයක් පමණ උවැසි උවැසියන්ට ධර්මාවබෝධය කළහ. ත්‍රි විද්‍යා අවබෝධය කරවූහ. උන්වහන්සේ පිරිනිවන් පෑහ. බොහෝ භික්ෂූන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත වැඩම කොට මේ ආරංචිය දැන්වූහ. කළුරිය කළ පුණ්ණ තෙරුන් වහන්සේ කවර ගතියකට පත්වූයේ දැයි විමසූහ. පුණ්ණ ඥානවන්තයි. නවලෝකෝත්තර ධර්මය අවබෝධ කළ බැවින් පිරිනිවන් පෑහ. ධර්මාවබෝධය ලැබීම පිණිස මට ද වෙහෙස නොකළේ ය.

අනිත්‍ය, දුක්ඛ, අනත්ත, නම් වූ ත්‍රිලක්ෂණ ඔස්සේ තමා කෙරේ වූ අධ්‍යාත්මික ලෝකයත් දකින්නට සිත පුරුදු කරන තැනැත්තා තෘෂ්ණාවෙන් මිදෙයි. “මේ මිනිසුන් නිසා හෝ මේ පරිසරය නිසා හෝ මට කරදරයි කියමින් තණ්හා මද මානාදියෙන් පිරෙන ලෝකයට පුණ්ණ තෙරුන් වහන්සේගේ චරිතය උතුම් වූ ආදර්ශයකි”.

 

නිකිණි පුර අටවක පෝය


නිකිණි පුර අටවක පෝය ජූලි 30 වන දා ඉරිදා පූර්වභාග 08.06 ට ලබයි. 31 වන දා සඳුදා පූර්ව භාග 09.47 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 30 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 07 වනදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 30

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]