UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

නිකිණි පුර අටවක 2017.07.30

හිත හදන ආකල්පමය වෙනසක්

කරදර, බාධක, ගැටලු අවම තැන සිත සැනසීම සැදේ. හිරු නැඟ, හිරු බැස යන තුරුත්, ඇතැම් විට රැයේ නින්දේදීත් අප ප්‍රාර්ථනා කරන්නේ සැනසීමෙන් ජීවත් වීමටයි. ජීවිත බිය ඇති, සොර සතුරු බිය ඇති, අන්‍යොන්‍ය විශ්වාසය බිඳුණු, දුකකදී, කරදරයකදී පිහිටට නැති අසල්වාසීන් සමඟ ජීවත්වීමට සිදුවේ නම් එවැනි පරිසරයක සතුටින් ජීවත් විය නොහැකි ය .සැනසීම ද දියුණුව ද අඩාළ ය. ‘පතිරූපදේස වාසෝච’ සුදුසු පරිසරයක ජීවත්වීම උතුම් මංගල කරුණක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ එහෙයිනි.

එවැනි පරිසරයක් සැකසෙන්නට නම්, සමාජයක් ගොඩ නැඟෙන්නට නම් මිනිසුන් ඔවුනොවුන් කෙරෙහි සේම ගහකොළ, සතා සිවුපාවුනට ද හිතානුකම්පී විය යුතු ය. තමන්ගේ හිත පිණිස ද, අනුන්ගේ හිත පිණිස ද හැසිරීම් හසුරුවා ගන්නා අය විය යුතු ය.

ඒ සඳහා යහපත් ආකල්ප වුවමනා ය. තමන්ට දැනෙන දුක, වේදනාව, බඩගින්න, සතුට සැනසීම අනුන්ටද දැනෙනවා’ යි තමන් උපමා කොට සිතන්නට හැකි නම්, නිලයෙන්, බලයෙන්, ධනයෙන්, කුලයෙන්, ජාතියෙන්, ආගමෙන් බෙදී වෙන් වීම මායාවක්, බොරුවක් බව සිතන්නට හැකි නම් ඒ මිනිසුන් වෙසෙන සමාජය ඔවුනොවුන්ට එරෙහි වන්නේ නැත.

සියලු ලෝක සත්ත්වයා කෙරෙහි සම සිත, සම මෙත පැතිරූ ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයාණන් වහන්සේ, තථාගත බුදුපියාණන් වහන්සේ පන්සාළිස් වසක් පුරා අපට දේශනා කොට වදාළේ ජීවිතයේ යථාර්ථයයි. උන්වහන්සේ එක් අවස්ථාවක පෙන්වා දුන්නේ උපතින් කිසිවෙකු වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ නොවන බවයි. කරන කියන ක්‍රියාවෙන්, හැසිරීමෙන් ම වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන බවයි.

ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, තරහව ආදී වූ හැඟීම් පාලනය කර ගත නොහී, විවිධ දෑ සංකේතවත් කරමින් අප බෙදී වෙන්වනවා නම්, අනෙකාගේ ජීවිතය නැති කරනවා නම්, මානසික, කායික වධ හිංසා දෙනවා නම් ඒ මනුෂ්‍යත්වය ඉක්මවා යාමකි. සරලව කියනවා නම් වසල ගතියකි.

එක් වර්ගයක, එක් පැහැයක, එක් සුවඳක මල් යායක දැනෙන සුන්දරත්ව යට වඩා නේක වර්ණැති, නේක සුවඳැති මල් ගොමුව අවට ලස්සන කරයි. වටිනාකමක්, විවිධත්වයක් ගෙන දෙයි. ඒත් ඒ සියලු මල් දිනකින් නොවේ නම්, දින දෙකකින්, තුනකින් පරව යයි. මිය යයි. හැමූ සුවඳ පමණක් මතකයේ ඉතිරි වෙයි.

මනුෂ්‍යයන් ලෙස අපට ද උරුම වන්නේ සොබා දහමේ ඒ නියමය යි. ජීවිතය නියත නැත. මරණය කොතැන කොයි මොහොතක වේ දැයි කිව නොහැකි ය. තැනක්, නොතැනක්, කාලයක් වේලාවක් නැත. මරණය දැන ජීවත් විය යුතුසේ ම අනුන්ට කරදරයක්, හිරිහැරයක්, බාධකයක් නොවන සේ ජීවත් විය යුතු ය. දඬුවමට, මරණයට තමන් මෙන්ම අනුන් ද බිය වන බව සිතිය යුතු ය.

තවත් ජීවිතයක වටිනාකම නොදැනෙන්නේ එය තේරුම් නොගත් විටය. පසුගියදා සිදු වූයේ ද එවැන්නකි. වාර්තා වූ ලෙස වසර තිහක් පුරා රාජ්‍ය සේවයේ නිරත වුණු අවංක පොලිස් නිලධාරියෙක් දරුවන්ට මහා ශක්තියක් වූ පියෙක් තවත් මිනිසකුගේම වෙඩි පහරට ජීවිතය දුන්නේ මිනිස්කම පරයා වසල ගති මතුවීම නිසා ය. වසර 15 ක් පුරා මේ නිලධාරියා ආරක්ෂා කළේ අන්‍ය ආගමක, අන්‍ය ජාතියක තවත් රාජ්‍ය සේවකයකුගේ, නීතිය පසිඳ ලූ විනිසුරුවරයකු ගේ ජීවිතයකි. ජාතිභේද, ආගම් භේද සිතුවා නම් ඔහු තමන්ගේ ජීවිතය පරදුවට තබා අනුන් රකින්නේ නැත. මිය ගිය රාජ්‍ය සේවකයා අන්‍ය ජාතිකයෙකැයි, අන්‍ය ආගමිකයෙකැයි, ඒ විනිසුරුවරයාට ද සිත හදා ගන්නට පහසු වූ බවක් පෙනෙන්නට නැත. ඔහු ගරු කළේ මිනිස්කමේ උදාරත්වයට බව පසක් වූයේ මරණ පරීක්ෂණ මොහොතේ දරා ගත නොහැකි ශෝකයෙන් හඬා වැළපුණ අයුරු දැකීමෙනි. පවුලේ සාමාජිකයන්ට දුක ප්‍රකාශ කළ අයුරු දැකීමෙනි.

වරද ඇත්තේ ජාතිය හෝ ආගම මත නොවේ. මිනිසුන් හිතන විදිහේ ය. ආකල්පයන්ගේ ය. මේ එක් උදාහරණයක් පමණි. මිනිසුන් හදන, චර්යාවන්, ආකල්පයන් හදන වැඩ පිළිවෙළකට වහාම ආරම්භය නොදෙන්නේ නම් මෙවන් භයානක දේ වැඩිවනවා මිස අඩුවන්නේ නැත. එවිට නැතිවන්නේ සමාජයේ සාමයයි. සංහිඳියාවයි.

තවත් මිනිසකුගේ ජීවිතය ආරක්ෂා කරන්නට, ගෞරවය කරන්නට උගන්වන්නේ නැතිනම්, ඒ ආදර්ශය වැඩිහිටියන්ගෙන් නොලැබෙනවා නම් අපේ බාල පරපුර ද ගමන් කරන්නේ ඒ මඟ ය.

මේ නිසා මවුපිය, ගුරුවරු, වැඩිහිටි සැම එක්ව ළමා පරපුරේ ද හැසිරීම් හසුරුවන වැඩ පිළිවෙළකට මාර්ගය ද, ආදර්ශයද දීමට වහ වහා උත්සුක වීමට කාලය පැමිණ ඇත.

 

නිකිණි පුර අටවක පෝය


නිකිණි පුර අටවක පෝය ජූලි 30 වන දා ඉරිදා පූර්වභාග 08.06 ට ලබයි. 31 වන දා සඳුදා පූර්ව භාග 09.47 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 30 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 07 වනදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 30

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]