UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිසුන් වරදින් වැළක්වීම ගුරුවරයාගේ වගකීමයි

සිසුන් වරදින් වැළක්වීම ගුරුවරයාගේ වගකීමයි

තථාගතයන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි නිතර කෝපයට පත්වන එක්තරා භික්ෂූන්වහන්සේ නමක් අරභයා මෙම ජාතක කථාව දේශනා කළහ. දෙව්රම් වෙහෙර වැසි එක්තරා භික්ෂූන් වහන්සේ නමන් නිතර නිතර කෝපයට පත්වන හෙයින් සෙසු භික්ෂූන්වහන්සේ විසින් උන්වහන්සේ බුදුරදුන් අභියසට පමුණුවන ලදහ. උන්වහන්සේගෙන් කරුණු විමසූ බුදුරජාණන් වහන්සේ එම භික්ෂුව අතීත භවයෙහිද එසේම කෝපයට පත් වූයේ යැයි දක්වා තිලමුට්ඨි ජාතකය ගෙනහැර දැක් වූ සේක.

බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයෙහි තම පුතණුවන්ට ගුරු පඬුරු ලබා දී තක්සලා නුවරට ගොස් දිසාපාමොක් ආචාර්යවරයන්ට ගුරු පඬුරු පුදා මැනවින් ශිල්ප ශාස්ත්‍ර ඉගෙන පැමිණෙන ලෙස දන්වා සිටියේය. රාජ කුමාරයා ද පිය රජුගේ ඉල්ලීම අනුව තක්සලා නුවරට ගොස් දිසාපාමොක් ආචාර්යවරයා ඉදිරියේ පෙනී සිටියේය. දිසාපාමොක් ආචාර්ය වරයා ගුරු ප¼ඬුරු පිළිගෙන රාජකුමාරයෙකු කල් නොයවා ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත යුතු හෙයින් සුදුසු වේලාවක් බලා ශිල්ප හැදෑරවීම ආරම්භ කළේය. එක් දිනක් රාජ කුමාරයා සමඟ ස්නානය කිරීම පිණිස වැවට යන්නේ මාවතේ එක්තරා මහළු කාන්තාවක් තල වේළමින් සිටියා ය. ගුරුතුමා පිටුපසින් ගිය රාජ කුමාරයාට තල පැදුර දෑකීමෙන් එයින් ටිකක් කෑමට සිතක් පහළ වූ අතර ඔහු එයින් තලමිටක් ගෙන අනුභව කළේය. තල පැදුර අයිති මහලු කාන්තාව කුඩා රාජකුමාරයාගේ ක්‍රියාව කෙරෙහි සානුකම්පිත වූ අතර මුල්වරට එයට විරෝධයක් නොදැක් වූවාය. දෙවන දින ස්නානය සඳහා යන ගමනේදී ද පෙර පරිද්දෙන්ම තල මිටක් සොරාගෙන කෑ අතර එදිනද මැහැල්ල කිසිවක් නොකියා නිහඬ වූවාය.

තෙවන දිනයේද පෙර පරිද්දෙන් රාජ කුමාරයා විසින් තල මිටක් සොරා කෑ අතර එය දුටු මැහැල්ල දිසාපාමොක් ආචාර්යවරයා විසින් තම සිසුන් ලවා තමන්ගේ තල සොරකම් කරවනු ලබන්නේය යනුවෙන් මහත් හඬින් කෑ ගැසුවාය. මැහැල්ලගේ කෑ ගැසීම ඇසූ දිසාපාමොක් ආචාර්යවරයා ඇගෙන් කරුණු විමසා සිටි අතර මැහැල්ල විසින් පෙර දින දෙකෙහිම රාජ කුමාරයා විසින් තල සොරකම් කළ බව දන්වා සිටියාය. ඇගේ අලාභය ගෙවීමට දිසාපාමොක් ආචාර්යවරයා සූදානම් වුවද ඇය ඉල්ලා සිටියේ නැවැත එවැනි වරදක් නොකරන පරිද්දෙන් සුදුසු දඬුවමක් දෙන ලෙසයි. ඒ අනුව දිසාපාමොක් ආචාර්යවරයා විසින් උණ පතුරකින් රාජකුමාරයාගේ පිටට පහර දෙකක් දෙනලදි. උණ පතුරෙන් පහර කෑ රාජ කුමාරයා දිසාපාමොක් ආචාර්යවරයා කෙරෙහි ක්‍රෝධයක් ඇතිකරගත් අතර තමා යම් කිසි දිනෙක රාජ්‍යයට පත් වූ පසුව ගුරුවරයාගෙන් පළිගැනීමට අධිෂ්ඨානකරගත්තේය. රාජකුමාරයා තමා කෙරෙහි වෛර බැඳගත් බව දැනගත්ත ද දිසාපාමොක් ආචාර්යවරයා තම ශිෂ්‍යයා කෙරෙහි කිසිඳු වෙනසක් නොදක්වා මැනවින් ශිල්ප ශාස්ත්‍ර හැදෑරවීය. ශිල්ප ශාස්ත්‍ර මැනවින් හදාළ රජ කුමරු පෙරලා තම රටට යාමට පෙර දිසාපාමොක් ආචාර්යවරයා වෙත ගොස් දන්වා සිටියේ යම් දිනෙක තමන් රාජ්‍යයට පත් වූවහොත් එය දන්වා එවන බවත්, එවිට තම රාජ්‍ය බලා පැමිණෙන ලෙසත්ය. ආචාර්යවරයාගෙන් සමුගත් රජ කුමරු තම පිය රජුවෙත ගොස් තමා උගත් ශිල්ප ශාස්ත්‍ර සියල්ල දක්වා සිටියේය. ස්වකීය පුත්‍රයාගේ දස්කම් පිළිබඳ සතුටට පත් පියරජු තමා ජීවත්ව සිටියදීම ඔහුට රාජ්‍ය පවරා දුන්නේය.

රාජ්‍යයට පත් රජ කුමරු දිසාපාමොක් ආචාර්යවරයාගෙන් පලිගනු කැමැතිව තමා රාජ්‍යයට පත් වූ බවත් එබැවින් නොපමාව පැමිණෙන ලෙසත් දන්වා යැවීය. රජුගේ අයැදුම ගුරු බැතියෙන් කළ ආරාධනයක් නොවන බවත් නිසැකවම පලිගැනීම පිණිස කරන ලද්දක් බවත් වටහාගත් ආචාර්යවරයා රජු තවමත් තරුණ හෙයින් තමන් කියන අවවාද පිළිගැනීමට අකැමැති වන හෙයින් ඔහු වියපත් වූ පසුව යමියි සිතා ගමන කල් දැමීය. දිසාපාමොක් ආචාර්යවරයාද කලක් ගත වූ පසුව බරණැස් රාජ්‍යයට ගොස් තමන් පැමිණි බව රජ වාසලට දන්වා යැවීය. ආචාර්යවරයා පැමිණි බව දැනගත් රජු තමන් ලද දඬුවම සිහිපත්කොට ඇමැතියෙකු අමතා ඔහු ඝාතනය කරන මෙන් අණ කළේය. රජු ඇමතු ආචාර්යවරයා දන්වා සිටියේ එදින ඔහු කළ වරදට දඩුවම් නොකළේ නම් රාජ කුමාරයා සොරෙකු බවට පත්ව ජීවිතය පවා අහිමි කර ගන්නා බවත් එවැනි දෙයක් වී නම් අද ඔහු ලබන රාජ්‍යශ්‍රීය නොලබන බවත්ය. එසේම හික්මවීම පිණිස කළ දඬුවමට උතුම් පුද්ගලයෝ වෛර නොබඳින බවත් දන්වා සිටියේය. දි

සාපාමොක් ආචාර්යවරයාගේ ප්‍රකාශය අසා සිටි අමාත්‍යවරු ද එය එසේ විය හැකිව තිබූ බවත් අද දින එතුමා නිසා රාජ්‍යශ්‍රීය ලබාගැනීමට වාසනාව උදාවූ බවත් රජුට දන්වා සිටියහ. බුද්ධිමත් අමාත්‍යවරුන්ගේ අදහස ද මැනවින් පිළිගත් රජු තම වැරදි ආකල්පය බැහැර කොට දිසාපාමොක් ආචාර්යවරයා රාජ්‍යශ්‍රීයෙන් පිදූ අතර ඔහු තමන්ගේ පුරෝහිත තනතුරටද පත්කරගත්තේය. ගුරුවරුන් විසින් ශික්ෂණය කිරීම පිණිස කෙරෙන අවවාද හා දඬුවම් පලිගැනීමට හේතුවක් නොකරගතයුතුය යන්න මෙම ජාතක කථාවෙන් ලැබෙන ආදර්ශයයි. මෙහි දැක්වෙන දිසාපාමොක් ආචාර්යවරයා පරමාදර්ශි ගුරුවරයෙකි. ඔහු තම ශිෂ්‍යයා පවින් වළක්වා(පාපා නිවාරෙන්ති) යහපතෙහි යෙදවූවෙකි (කල්‍යාණේ නිවෙසෙන්ති).

ඒ සඳහා වරද දුටු සැණින් තම ශිෂ්‍යයාට දඬුවම් කර තිබේ. ශිෂ්‍යයා තමා කෙරෙහි වෛර බැඳගත්තද ගුරුවරයා කිසිදු වෙනසක් නොදක්වා තම ශිෂ්‍යයාට ශිල්ප දානය කළේය. ඒ සියල්ල සිදුකළේ ශිෂ්‍යයාගේ අනාගත යහපත වෙනුවෙන්ය. පරමාදර්ශී ගුරුවරයෙකුගේ භූමිකාව කෙසේ විය යුතුද යන්න ඉන් මැනවින් නිරූපණය වේ. කථාවේ එන මැහැල්ල වැඩිහිටි පුරවැසියෙකුගේ කාර්ය මැනවින් ඉටුකර තිබේ. කුඩා දරුවාගේ තල කෑම ගැන මුල්වරට සානුකම්පිත වුවද දෙවන හා තුන්වන අවස්ථාවේදී එසේ නොවූවාය. කුඩා දරුවන් පවින් වැළැක්වීම කවර වැඩිහිටියෙකුගේ වුව වගකීමක් වේ. මහලු කාන්තාව එය මැනවින් ඉටුකර ඇති බව දිසාපාමොක් ආචාර්යවරයාගෙන් ඇය අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න දන්වා සිටීමෙන් පැහැදිලි වේ. විනෝදය පිණිස වුව සිදුකරන වරද සුළුකොට නොතැකිය යුතුය යන්න මෙයින් ලැබෙන තවත් ආදර්ශයකි. තල සොරකම් කළ පළමු අවස්ථාවේදීම එයට යෝග්‍ය දඬුවම ලබාදිය යුතුව තිබුණි. නමුත් එම ක්‍රියාව දෙස සානුකම්පිතව බැලීමට ගත් උත්සාහය නිසා දෙවන තුන්වන අවස්ථාවේදී ද තල සොරාකෑම සිදුවිය.

බොහෝ සිසු දරුවන් මෙවැනි වැරැදි ක්‍රියාවල නිරත වන්නේ විනෝදය පිණිසය. ඔවුන්ට එහි බරපතල බව නොවැටහේ. එහෙත් ඔවුන් ශික්ෂණය කරන ගුරුවරුන් මෙන්ම වැඩිහිටියන් ඒ ගැන වඩාත් සැළකිලිමත් විය යුතුවේ. වරදට දඬුවම් කිරීම ගුරුවරයෙකුට පැවැරෙන වගකීමකි. එහෙත් එය සිදුකළ යුතු ආකාරය ගැන නිසි අවබෝධයක් තිබීම අවශ්‍ය වේ. දඬුවම් කිරීමෙන් ශිෂ්‍යයාගේ පෞරුෂයට හානි නොවිය යුතුය. ශිෂ්‍යයා වෛර බැඳගත් බව මැනවින් අවබෝධකරගත් දිසාපාමොක් ආචාර්යවරයා ඒ ගැන නොතකා ඔහුට අවශ්‍ය ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කරවීම අඩුපාඩුවකින් තොරව සිදු කළේය. සැබෑ ගුරුවරයාගේ භූමිකාව විය යුත්තේ ද එයයි. ගුරුවරු සිසුන් සමඟ කිසිදිනක අමනාප නොවෙති.

තිලමුට්ඨි ජාතකයේ එන රජ කුමරු තම රාජකීයත්වයෙන් උද්දාමයට පත් වූ ශිෂ්‍යයෙකි. දෙමාපියන්ගේ ධනය, බලය හා සමාජ තත්ත්වය ගැන සළකා ප්‍රචණ්ඩ ලෙස හැසිරීම යහපත් ශිෂ්‍යයෙකුගේ ලක්ෂණයක් නොවේ. එසේම එම තත්ත්වයන් පදනම්කරගෙන කිසිදු ශිෂ්‍යයෙකුට පන්තිකාමරය තුළ හෝ පාසල තුළ විශේෂ වරප්‍රසාද ලබාදීම නොකළ යුත්තකි. වයස මුහුකුරා යාමත්, අත්දැකීම් ලැබීමෙනුත් කෙනෙකු පරිණත බවට පත්වේ. සිසුන් වරදින් වළක්වා යහපතෙහි යොදවන ගුරුවරයා නිතැතින්ම සමාජ සම්භාවනාවට පාත්‍ර වේ.


පන්සිය පනස් ජාතක පොත් වහන්සේගෙන් - 16: කුසලතා දියුණුවේ සාර්ථකත්වය

 

නිකිණි පුර අටවක පෝය


නිකිණි පුර අටවක පෝය ජූලි 30 වන දා ඉරිදා පූර්වභාග 08.06 ට ලබයි. 31 වන දා සඳුදා පූර්ව භාග 09.47 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 30 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 07 වනදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 30

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]