UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කය අනුව සිත පිහිටුවමු

කය අනුව සිත පිහිටුවමු

කායගතා සති භාවනාව යනු කය අනුව සිහිය පිහිටුවා බැලීමයි. බුදුරජාණන් වහන්සේ කායගතා සති භාවනාව පිළිබඳව දීර්ඝව සූත්‍ර ගණනාවකම දේශනා කර වදාළා.

යෞවන වයසේ විකසිත වන්නෙක් කෙස් , ලොම්, නිය , දත් , සම් පිරිසුදු කර වර්ණවත් කර, දර්ශනීයත්වයට පත් කිරීම ස්වභාවිකයි. කෙනෙකුට නිරෝගී දිවියක්, ලස්සන රුවක් සරසවන්නේ කෙස් , ලොම් නිය, දත් ,සම් නිසයි. ඒවා වෙනස්නම්, අපිරිසුදුනම්, ඇලීමක් ගැටීමක් ඇති වන්නේ නැහැ. වෙනස්වන මේවායෙහි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණත්‍රය නුවණින් වටහා ගත යුතුය.

බුදුරජාණන් වහන්සේ වදාළේ මේ මහා තණ්හාව, මහා පටිඝය දුරුකර ගැනීම සඳහා මාන්නය , උඩඟුකම අඩුකර ගැනීම සඳහා කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ යනුවෙන් කායගතාසති භාවනාව නිබඳවම මෙනෙහි කරන ලෙසයි.

මෙය අනුන් ගැන නෙවෙයි. තමන් ගැනමයි. කේසා, ලෝමා, නඛා, දන්තා , තචෝ , යන කරුණු පහ සති දෙක තුනක් දිගටම මෙනෙහි කරන්න. එයයි ඉගැන්වීමේ ක්‍රමය.

ගිහි ගෙදර සිටම මෙනෙහි කළ හැකි මෙම භාවනාව කුමන ඉරියව්වකින් හෝ මෙනෙහි කළ හැකියි. සිටගෙන සිටියදී , ඇවිදිමින් සිටියදී, නිදන ඉරියව්වෙන් හෝ නින්දට යන තුරා සිහියෙන් මෙය මෙනෙහි කළ හැකි භාවනාවකි.

බුදු දහමේ දාන, ශීල, භාවනා, වශයෙන් පින්කම් තුනක් සඳහන් වෙයි. කෙනෙක් දානමය පින්කමකින් පමණක් සෑහීමට පත් නොවී සීලයත්, භාවනාවත් සම්පූර්ණ කළ යුතුයි. එය සර්ව සම්පූර්ණව පිරිසුදු සිතකින් වැඩිය යුතුයි. දානයෙන්, තණ්හාව නැති කරයි. ශීලයෙන් තරහව නැති කරයි, භාවනාවෙන් මෝහය නැති කරයි. එසේනම් මේ කායගතා සති භාවනාව බොහොම උනන්දුවකින් , ගෞරවයකින් සිදු කළ යුතුයි.

තමන්ගේ සිහිකල්පනාව දියුණුවෙන යෝනිසෝ මනසිකාරයත් හොඳට දියුණුවෙන භාවනා පිළිබඳ වැටහීම උනන්දුවෙන් හොඳට ශක්තිමත් කළ යුතුයි. කායගතා සති භාවනාව මෙනෙහි කිරීමෙන් ශීල, සමාධි, ප්‍රඥා තුන හොඳින් වැඩී සද්ධා, වීර්ය, සති, සමාධි, ඥාන ධර්මයෝ දියුණු වෙයි. මෙම ආනිසංසයෝ හොඳට දැන කියාගෙන සම්බුද්ධ ශාසනයේ පමණක් ඉගෙන ගත හැකි මේ භාවනාව තමනුත් පුළුවන්තාක් මෙනෙහි කරමින් අන් අයටත් කියා දීම ඉමහත් කුසලයකි.

කරුණු පහක් නිසා මෙය තච පංචක භාවනාව යැයි හඳුන්වනවා. එය කායගතාසතියටම ඇතුළත් වෙයි. එසේනම් කේසා, ලෝමා, නඛා, දන්තා , තචෝ යන පංචකය පුළුවන් තරමින් මෙනෙහි කරන්න. සිත ගත දියුණු කරන භාවනා ක්‍රමයක් වන මෙය මාර්ග ඵල අවස්ථාව දක්වා සමීප කරවයි. එසේනම් තච පංචකය අඩුම තරමින් දවසකට වාර තිහ හතළිහක් මෙනෙහි කරන්න. එයින් තමන්ගේ සිහි නුවණ හොඳින් දියුණුවී භාවනාව තවත් ඉදිරියට දියුණු කළ හැකියි.

මේ කරුණු පහ මුලින්ම මෙනෙහි කිරීමෙන් පසුව පිළිකුල මෙනෙහි කරන්න. කේසයෝ වර්ණයෙන් පිළිකුල්ය, සටහනින් පිළිකුල්ය, ගන්ධයෙන් පිළිකුල්ය, ආශ්‍රිත කුණුපයන්ගෙන් පිළිකුල්ය, පිහිටි තැන් වශයෙන් පිළිකුල්ය, යනුවෙන් ඉතිරි කොටස් වූ ලොම්, නිය , දත්, සම්, මස් ... ආදියටත් පිළිකුල යොදාගෙන නිබඳවම මෙනෙහි කරන්න. එසේ නැත්නම් කේසයෝ පිළිකුල්ය යනුවෙන් සිතුවත් ප්‍රමාණවත් වෙයි. ගැඹුරින් මෙනෙහි කළ හැකි අයට මේ භාවනාව ගැඹුරටම මෙනෙහි කළ හැකියි.

කායගතාසති භාවනාවෙන් බොහෝ අනුසස් ලැබෙයි. මතක ශක්තිය වැඩිවී කටපාඩම් හිටියි. කුමක්දැයි වටහා ගන්නට පුළුවන් වෙයි. නොඇලී , නොගැටී වාසය කරන්නත් සමත් වෙයි. ප්‍රඥාව වැඩෙන, සිත පිවිතුරු කරන , සිහිකල්පනාව වැඩෙන මේ භාවනාව පාපී සිතිවිලි අඩුකරන්නට සමත් වෙයි. අකුසල කර්ම සන්සිඳුවාගෙන , දස කුසල කර්ම දියුණු කර ගන්නට එය මහෝපකාරී වෙයි. ලෝභ, ද්වේශ, මෝහ අකුසල මූලයන් යටපත් කර අලෝභ, අදෝශ, අමෝහ කුසල මූලයන් මතුකර ගැනීමට කායගතා සති භාවනාව ඉතා ප්‍රයෝජනවත් වෙයි.

මේවා ගැන හොඳ දැනුමක් ඇති කරගෙන ධ්‍යාන අවස්ථාව දක්වාම විදර්ශනා නුවණ පහළ කර ගැනීම මාර්ග ඵල අවස්ථාව දක්වා ගමන් කරන උතුම් කරුණු තුළ අපට අනුයුක්ත වන්නනට පුළුවන්කම තිබෙයි.

එසේ කල්පනාකර සති, සමාධි, ඥාන දියුණුවෙන් පාරමී ගුණ සම්පත් දියුණුවෙන් ඉක්මන් භවයකදී නිවන් පසක් කරගන්න කායගතා සිති භාවනාව හේතු වාසනා වේවා.

 

නිකිණි පුර අටවක පෝය


නිකිණි පුර අටවක පෝය ජූලි 30 වන දා ඉරිදා පූර්වභාග 08.06 ට ලබයි. 31 වන දා සඳුදා පූර්ව භාග 09.47 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 30 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 07 වනදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 30

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]