UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කදුරුගොඩ විහාරය

කදුරුගොඩ විහාරය

යාපනයේ, චුන්නාකම්හි (හුණුගම) පිහිටි කන්දරෝඩේ හෙවත් කඳුරුගොඩ විහාරයේ අතීතය බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමය දක්වා දිව යයි. ක්‍රි.පූ. 6 වැනි සියවසේ බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කොට චූලෝදර මහෝදර රජවරුන් අතර පැවැති නොසන්සුන්තාවය සමථයකට පත්කිරීමෙන් අනතුරුව මෙම ස්ථානයට වැඩම කොට මොහොතක් විවේක සුවයෙන් ගත කළ බැව් ජනප්‍රවාදයෙහි එයි.

1917 දී එවකට යාපනයේ දිසා විනිසුරු වශයෙන් සේවය කළ ආචාර්ය පෝල් ඊ පීරිස් මහතා විසින් කදුරුගොඩ පුදබිමෙහි ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකම සම්බන්ධයෙන් පුරාවිද්‍යා බලධාරීන් වෙත ලිඛිතව දැනුම්දීමෙන් පසු 1917 සිට 1919 දක්වා මෙහි කැණීම් සිදුකර ඇත. එම කැණීම්වලදී සොයාගත් පුරාවස්තූ අතර බුදුපිළිම, වර්ණාලේපිත උළු කැබලි හා කාසි තිබී ඇත. ඒවා අනුරාධපුර හා පොළොන්නරු යුගවලට අයත් බැව් අනාවරණය වී තිබේ. එසේම එම පුරාවස්තු 1 වැනි පැරකුම්බා ලීලාවතී සහ බුවනෙකබාහු යන රජවරුන්ගේ යුගවලට අයත් බවද සොයාගෙන ඇත.

මහනුවර යුගයේ ලියැවුණු විහාර හා පුදබිම් නාමාවලිය වන නම් පොත් හෙවත් විහාර අස්නෙහි මෙම ස්ථානය කදුරුගොඩ විහාරය වශයෙන් දක්වා ඇත. මෙය පෘතුගීසි ලේඛනවල සඳහන්ව ඇත්තේ කන්දරකුඩ්ඩෙයි යනුවෙනි. ක්‍රි.ව. 9 වන සියවසෙහි 4 වන කාශ්‍යප රජු විසින් මෙම විහාරය වෙත කරන ලද ප්‍රදානයන් පිළිබඳව මෙම භූමිය තුළින් සොයාගනු ලැබු ටැම් ලිපියක සඳහන් වේ. එමගින් තහවුරුවනුයේ ක්‍රි.ව. 9 වන සියවසේ සිට මෙම විහාර පැවත එන බවයි.

16 වන සියවසේ යාපනය පාලනය කළ සංගිලි නමැති ප්‍රාදේශිය පාලකයාගේ ක්‍රියා නිසා මෙම විහාරය විනාශයට පත්වූ බව කියැවේ. පුවන්ග දිවයින හෙවත් පුංකුඩුතිව්හි රහතුන් වහන්සේ හැට නමක් අපවත් වූ බව හා එම ධාතුන්වහන්සේ තැන්පත් කොට දාගැබ් හැටක් කදුරුගොඩ විහාර භූමියේ ඉදි කළ බවත් ඉන් දාගැබ් පනස් හයක නටබුන් 1917 දී සොයාගත් බවත් පැරණි ලේඛනවල සඳහන් වේ. එකම ආකෘතියකට අනුව විවිධ ප්‍රමාණයෙන් ගොඩනගා ඇති මෙම දාගැබ් අද පවා දැකගත හැකිය. මෙම භූමිය මධ්‍යයේ වටදාගෙයක සාධක දක්නට ඇත. එසේම ආරාම ගෘහයක නටබුන්ද මතුපිට පොළොව මට්ටමින් ඉහළට එසැවුණු ගල්කණු සහිතව පෙනෙන්නට තිබේ.

දේවානම්පියතිස්ස රජු විසින් දඹකොළපටුනේ සිට අනුරාධපුර නගරයේ උතුරු දොරටුව දක්වා ගල්කනු යොදා අලංකාර මගක් ඉදිකරනු ලැබු බවත්, එම මගෙහි කදුරුගොඩ විහාරය පිහිටා තිබූ බවත් කියැවේ. මෙම ස්ථානයෙන් සොයාගත් බුදු පිළිම හා අනෙකුත් පුරා වස්තු මහජන ප්‍රදර්ශනය සඳහා යාපනය කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.

 

නිකිණි පුර අටවක පෝය


නිකිණි පුර අටවක පෝය ජූලි 30 වන දා ඉරිදා පූර්වභාග 08.06 ට ලබයි. 31 වන දා සඳුදා පූර්ව භාග 09.47 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 30 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 07 වනදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 30

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]