UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක පදවියෙන් පිදුම් ලබන ධර්මපාල වංශාලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නා හිමි

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක පදවියෙන් පිදුම් ලබන ධර්මපාල වංශාලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නා හිමි

ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ මහෝත්සවය කොළඹ 07 නිදහස් මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් අගෝස්තු 3 වන දා සවස 3 ට පැවැත්වේ

ධම්මාවාස මහා නා හිමි

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්ම විනයධර ආදර්ශවත් සංඝපීතෘන් වහන්සේ නමකි.

අමරපුර භික්ෂු වංශයේ සියලු පාර්ශ්වයන් එක් වී පිහිටුවන ලද අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක පදවියට කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන් වහන්සේ පත්වී වදාළේ මීට මාස දෙකකට පමණ පෙරය. අග්ගමහා පණ්ඩිත බේරුවල සිරිනිවාස මහා නාහිමියන්ගේ මූලිකත්වයෙන් 50 දශකයේදි අමරපුර මහා නිකායේ සියලු පාර්ශ්වයන් ඒකරාශි කර මහා සංඝ සභාවක් ලෙස ගොඩනගන්නට ක්‍රියා කළේ යුගයේ අවශ්‍යතාවයක් වූ හෙයිනි. කොස්ගොඩ පඤ්ඤාසීහ නාහිමි, පොළතුගොඩ ඤාණාලෝක නාහිමි, අකුරළ සීලවංශ නාහිමි, ඇන්දානේ දයානන්ද නාහිමි යන මහා යතිවරයන් වහන්සේ මේ සඳහා ආරම්භක නායකත්වය ලබා දුන්හ. ඒ අනුව අග්ගමහා පණ්ඩිත බේරුවල සිරිනිවාස මහා නා හිමියෝ ප්‍රථම එම සංඝ සභාවේ සභාපති ධූරයට පත්වූහ. දෙවනුව යළි අමරපුර නිකායේ සියලු පාර්ශ්ව සංවිධානය වී ගොඩනැගුණේ 1966 දීය. එහිදී අග්ගමහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නා හිමියන් අමරපුර මහා සංඝ සභාවේ සභාපති පදවියට පත්වූහ. උන්වහන්සේගෙන් පසුව 1975 දී රාජකීය පණ්ඩිත සිරි සද්ධම්මවංශපාල ගණාචාරිය මහෝපාධ්‍යාය කොස්ගොඩ ධම්මවංශ මහා නා හිමියන්ද, උන්වහන්සේගෙන් පසුව විද්‍යා විශාරද අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමියන් අමරපුර මහා සංඝ සභාවේ සභාපති පදවිය හෙබ වූහ. මඩිහේ මහා නා හිමියන්ගේ යුගයේ දී එම සංඝ සභාවේ සභාපති පදවියට අමතරව උත්තරීතර මහානායක පදවිය බිහි විය. එය යාවජීව මහානායක තනතුරක් ලෙස ස්ථාපිත කළහ. ඒ අනුව සියලු පාර්ශ්වයන්ගෙන් සමන්විත අමරපුර මහා නිකාය බිහි විය. ඒ සඳහා අමරපුර භික්ෂු වංශයේ නිකායන් හා පාර්ශ්ව 22 ඒකරාශි විය. මඩිහේ මහ නා හිමියන්ගෙන් පසුව උත්තරීතර මහානායක පදවියට පත් වූයේ අග්ග මහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහානායක මා හිමිපාණන් වහන්සේ ය. මීට තෙමසකට පමණ පෙර උන්වහන්සේ අපවත්වූ හෙයින් පුරප්පාඩු වූ උත්තරීතර මහානායක පදවියට පත් වූයේ අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහ නා හිමියන් ය.

අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස උත්තරීතර මහා නා හිමියන් මෙම තනතුරට පත්වූයේ අමරපුර භික්ෂුවංශය මෙරට ආරම්භ වී වසර 214 ක් සම්පූර්ණ වන අවධියේ දී ය. අමරපුර මහා සංඝ සභාවේ සහකාර ලේකම්වරයෙකු වශයෙන් 1985 දී කොටුගොඩ නාහිමියන් පත්කරනු ලබන්නේ එවකට අමරපුර මහා සංඝ සභාවේ සභාපති අතිපූජ්‍ය කොස්ගොඩ ධම්මවංස මහා නාහිමියන් විසිනි. තුන්කල් දකින ඉසිවර නුවණකින් ඉටුවූ මෙම තනතුරු ප්‍රදානය සමඟ කොටුගොඩ නා හිමියෝ පසුව සංඝ සභාවේ සම ලේකම් ධූරයටත් අනතුරුව මහා ලේඛකාධිකාරී පදවියටත් පත්ව පසුව සංඝ සභාවේ සභාපති පදවිය පස් වසරක් දරා ඉන් අනතුරුව ටික කලක් විශ්‍රාම සුවයෙන් පසු වන්නේ අමරපුර මහා සංඝසභාවට වසර 30 ක් පමණ එක දිගට සිදුකළ අසීමිත සේවයට පසුවය.

නිකායේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවෙන අතරතුර නා හිමියෝ මෙරට අග්‍රගන්‍ය ධර්ම කථික හිමිනමක් ලෙස දේශනයෙන්ද, ලේඛනයෙන්ද සිදුකළ මෙහෙවර ඉතා විශාලය. උන්වහන්සේ ධර්ම දේශනයන් සඳහා අප රටේ නොවැඩි පළාතක් නැති තරම්ය. උන්වහන්සේ ලියූ දහම් පොතපත පිටපත් දස දහස් ගණනින් වාර කිහිපය බැගින් නිකුත් විය. සිය පදවි ප්‍රාප්තිය පිළිබඳව රාජකීය ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේ පිහිටි නිදහස් මන්දිරයේ දී පැවැත්වේ.


අත්කරගෙන ඇති කීර්තිය අතිමහත් ය

“යෝ හෝති වියත්තෝ ච විසාරදෝ ච බහුස්සුතෝච ධම්මධරෝච හෝති අනුධම්මචාරි ස තාදිසෝ වුච්චති සංඝ සෝභනෝ” යන දේශනාවට අනුව යම් භික්ෂුවක් ව්‍යක්ත, විශාරද, බහුශ්‍රැතවේද, ධර්මධරවේද, ධර්මයට අනුව ක්‍රියාකරයිද, එබඳු වූ භික්ෂුව සංඝ සෝභන යැයි බුදුරජාණන් වහන්සේ දේශනාකොට ඇත. එකී ගුණ සමුදායන්ගෙන් අනූනව පැවිදි දිවියක් ගතකරන මහා යතිවරයාණන් නමක් ලෙස අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාසාභිධාන මහානාහිමිපාණන් වහන්සේ හැඳින්විය හැකිය. එසේම ළයාන්විත ස්වරයකින් ධර්ම දේශනාවන් සිදුකරන උන්වහන්සේ එමගින් ශ්‍රාවක සිත්සතන් සුවපත් කිරීමට සමත්වන අතර, දෙස් විදෙස්, ධර්මදූත සේවාවෙහිද නිරතව වැඩ වෙසෙති. මෙරට ප්‍රමුඛ පෙළේ ගුවන්විදුලි, රූපවාහිනී ධර්ම දේශකයාණන් වහන්සේනමක් ලෙසද උන්වහන්සේ අත්කරගෙන ඇති කීර්තිය අතිමහත්ය.

ජාතික හා සාමාජික සේවාවන්හි පමණක් නොව ශාසනික සේවාවන්හිදී උද්‍යෝගිමත්ව ක්‍රියාකරන උන්වහන්සේ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරීන් වහන්සේ ලෙස ඉතා දීර්ඝ කාලයක් අප්‍රමාණ සේවාවක නිරත වූහ. එපමණක් නොව තත් සංඝ සභාවේ සභාපතින් වහන්සේ ලෙසද සම්මානිත වු උන්වහන්සේ අදවන විට අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණිස්සර මහානායක මාහිමිපාණන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ උත්තරීතර මහානායක ධුරයට තේරි පත්ව ඇත.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ දියුණුව සඳහා කැපවී ක්‍රියාකරන්නට අභිනව උත්තරීතර මහානාහිමියන්ට හැකිවේවායි ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ නවක, මධ්‍යම ස්ථිවිර සියලු දෙනා වහන්සේ වෙනුවෙන් මෙත් සිතින් ප්‍රාර්ථනා කරම්හ.


සම්බුද්ධ ශාසනයේ හා ජන සමාජයේ චිරස්ථිතියට හා ප්‍රගමනයට හේතුවන්නක්

ගල්කිස්ස ධර්මපාලාරාමාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාසාභිධාන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක පදවිය පිළිබඳ සන්නස්පත්‍රය ප්‍රදානය කිරීමේ රාජ්‍ය මහෝත්සවය වෙනුවෙන් සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරනු ලබන්නේ ඉමහත් ගෞරවයෙනි.

දකුණු සිරිලක වැලිතර (බලපිටිය) මහකරාවේ ඤාණවිමලතිස්ස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදි කර්තෘත්වයෙන් ක්‍රි.ව. 1802 දී සමාරම්භ වූ අමරපුර භික්ෂු වංශය නිසා ලක්දිව බුදුදහම හා සර්වඥ ශාසනය ඉමහත් ලෙස ව්‍යාප්ත වන්නට ඉවහල් වූයේය යන්න පොදු පිළිගැනීමකි. ලක්දිව නා නා පළාත්වල ගම්නියම්ගම්වලින් ඇදී ආ සාධු ජනයා මහණ උපසම්පදාව ලදුයෙන් අමරපුර නිකාය ඉතා ශීඝ්‍රයෙන් ලක්දිව ව්‍යාප්ත විය. එතැන් සිට අතිපූජ්‍ය බෝගහපිටියේ ධම්මජෝති, අත්තුඩාවේ ධම්මරක්ඛිත, කතලුවේ ගුණරතන, කපුගම ධම්මක්ඛන්ධ ආදී මහා යතිවරයන් වහන්සේලා මෙන්ම බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමි මඩිහේ පඤ්ඤාසීහ මහ නා හිමි යන අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලා අමරපුර නිකාය සුරක්ෂිත කරමින් නිකායේ ප්‍රවර්ධනයට ප්‍රබල දායකත්වයක් දැක් වූ, අවුරුදු 214 ක් සම්පූර්ණ වන අමරපුර මහා නිකාය අදවන විට පාර්ශ්ව දෙවිස්සකින් හා භික්ෂූන් වහන්සේලා පහළොස් දහසකින් පමණ සමන්විත වේ.

එම අභිමානවත් සඟ පරපුරේ නායකත්වය සඳහා අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පත්වීම ශාසනමාමක සැමදෙනාගේ සතුටට හේතුවන්නකි. එසේම මෙම පත්වීම සම්බුද්ධ ශාසනයේ හා ශ්‍රී ලාංකීය ජනසමාජයේ චිරස්ථිතියට හා ප්‍රගමනයට හේතුවන්නක් බව මාගේ විශ්වාසයයි.

අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පොදු මහජනයා තුළ ගෞරවයට පාත්‍රව ඇත්තේ චිත්තාකර්ශනීය ලෙස සරල සුගම බස්වහරකින් ධර්ම දේශනා කරන විචිත්‍ර ධර්ම කථික ස්වාමීන් වහන්සේ නමක් ලෙසයි. පැවිදි ජීවිතයේ අමිල මෙහෙවරක් ඉටු කරනු ලබන ගෞරවණීය ඔබ වහන්සේ ගිහි පැවිදි කා තුළත් ප්‍රසාදයට හා ගෞරවයට පත් වී ඇත්තේ භික්ෂුවක සතු සෘජු බව, ව්‍යක්ත විශාරද බව, ධර්මානුකූල ප්‍රතිපත්තිගරුක බව නිසාමයි. රටටත් පොදුවේ සම්බුද්ධ ශාසනයටත් තවතවත් වැඩවඩන්නට කායික හා මානසික සුවයත් චිර ජීවනයත් ලැබේවායි මෙත් සිත් පෙරටුව ප්‍රාර්ථනා කරමි.


ශාසනික සේවාව සමාජයට මහත් ආලෝකයකි

සම්බුදු සසුනට මෙන්ම පොදු ජනතාවටත්, සමස්ත සමාජයටත් විශිෂ්ට මෙහෙවරක් ඉටුකළ දෙස් විදෙස් පතළ කීර්තිමත් අමරපුර මහා නිකායික භික්ෂු වංශය කෙරෙහි අප තුළ පවතින්නේ අපරිමිත ගෞරවාදරයකි. ථේරවාදී බුදුදහම අනුගත අමරපුර මහා නිකාය මහා කාරුණිකත්වය පෙරදැරිව ඉටුකරනු ලබන ශාසනික සේවාව අප සමාජයට මහත් ආලෝකයකි.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ලෙස පරම පූජනීය අග්ගමහාපණ්ඩිත , මහෝපාධ්‍යාය, කොටුගොඩ ශ්‍රී ධම්මාවාස මහානායක ස්වාමින් වහන්සේ පත්වීම එම මෙහෙවර ඉදිරියට ගෙන යාම සඳහා මහත් ආශිර්වාදයක් වනු ඇති බව මගේ විශ්වාසයයි. වඩාත් හෘදයාංගම ධර්ම ශාස්ත්‍රිය මෙහෙවරක නියැළුණු අප නායක ස්වාමින් වහන්සේ ශාසනික සේවය තුළ මෙන්ම පොදු සමාජ මෙහෙවර තුළද කැපී පෙනුනු දායකත්වයක් ලබා දුන් විශිෂ්ට යතීන්ද්‍රයාණන් වහන්සේ නමකි.

බුද්ධ ධර්මයේ සැබෑ හරය, ගැඹුර යටපත් කරලමින්, අවිද්‍යාවටත් මෝහාන්ධකාරයටත් ඇදී යන්නාවු වර්තමාන සමාජයට අර්ථ ධර්ම අනුශාසකත්වයෙන්, මඟපෙන්වීමෙන් සුවිසල් මෙහෙවරක් ඉටුකිරීමේ භාරදුර වගකීම අප මහා නායක ස්වාමින්වහන්සේ ඉදිරියේ ඇත. අතිපූජ්‍ය කොටුගොඩ ශ්‍රී ධම්මාවාස මහා නාහිමිපාණන් වහන්සේ ඒ සඳහා අප්‍රමාදීව, කැපවීමෙන් කටයුතු කරන බව නිසැකය.

අපේ ජාතික සිරිත මත පදනම් වූ බහු ආගමික, බහු ජාතික සංස්කෘතියකින් හෙබි ශ්‍රී ලංකාවේ ජාතික, ආගමික සංහිඳියාව ගොඩනගනු සඳහා බුදුදහමේ මෛත්‍රී පූර්වක චින්තනය ඔස්සේ සමස්ත සමාජය නිවැරදි මඟ ගෙන යාමට අප මහා නායක ස්වාමින් වහන්සේ මැදිහත්ව කටයුතු කරනු ඇත. දේශයේ අභිවෘද්ධිය උදෙසා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙලට අභිනව මහා නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා අපි දු මහත් ගෞරවයෙන් අපේක්ෂා කරමු.

තම ශක්ති ප්‍රමාණයෙන් බුද්ධ ශාසනයේ සහ සංඝ සමාජයේ චිරස්ථිතිය උදෙසාද, සමාජයීය අවශ්‍යතා උදෙසාද කැපවී කටයුතු කරන අපේක්ෂාවෙන්, පසුවන අමරපුර මහා නිකායේ පරමපූජනීය කොටුගොඩ ශ්‍රී ධම්මාවාස මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේට හෘදයාංගම සුභාශිංසන පිරිනමමින්, ලෝ සසුන් වැඩ පිණිස නිදුක් නිරෝගී සුවයත්, චිර ජීවනයත් ප්‍රාර්ථනා කරමි.


අමන්දානන්දයට කරුණක්

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහානායක පදවිය සඳහා ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමාධිපති අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහානායක මාහිමිපාණන් වහන්සේගේ පදවි ප්‍රාප්තිය සමස්ත බෞද්ධ ලෝකයාගේම අමන්දානන්දයට කරුණකි.

ශ්‍රී සද්ධර්මය පිළිබඳව හසළ දැනුමක්ද මනා ධර්මකථිකත්වයක්ද සරල සුගම ලේඛනශක්තියක්ද උප්පත්ති වාසනා ගුණයන්ද රැගෙන ආ මහ නා හිමිපාණන් වහන්සේ බෞද්ධ ලෝකයට ලබාදෙන දහම් පණිවුඩය සමාජය ධර්මානුකූල කරවන්නකි. අපි පාසල් යන සමයේ සිට නා හිමියන්ගේ ධර්ම දේශනා, ධර්ම ලේඛන කියවා ඇත්තෙමු. ඒ තුළින් ජීවිතයට විශාල දහම් අධ්‍යාපනයක් ලබා ගැනීමට හැකිවූ බව සතුටින් සිහිපත් කරමු.

ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ සිට සියලුම ජනාධිපතිවරුන් සමඟ මහනාහිමියෝ ජාතික ,ආගමික, ශාසනික කටයුතුවලදී අවශ්‍ය උපදෙස් අනුශාසනා ලබා දුන්හ. කිසිවිටෙකත් පක්ෂ දේශපාලනයට සම්බන්ධ නොවුන අතර රටේ ප්‍රගතියට, සංවර්ධනයට නා හිමියන් ලබා දුන් අනුශාසනා උපදෙස් සියල්ල සියලුම රාජ්‍ය නායකයන් පිළිගත්හ.අනුමත කළහ.

මා උපන් මා ජීවත්වන ගාල්ල දිස්ත්‍රික්කයෙන් බිහිවු අමරපුර භික්ෂු වංශය මෙරටට සිදුකර ඇති උදාර සේවය අතිමහත්ය. සිරිලක සම්බුද්ධ ශාසනය රැකගන්නට වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද මා හිමියන් වැනි යතිවරයෙකු මෙම භික්ෂු වංශය තුළින් පහළ නොවුණා නම් අප රටේ සම්බුද්ධ ශාසනය පිරිහී යන්නට ඉඩ තිබුණි. එවන් සඟපරපුරක වර්තමාන උත්තරීතර මහනායක පදවියෙන් සම්මානිත ව අතිගරු ජනාධිපතිතුමන් අගමැතිතුමන් ප්‍රමුඛ තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාද මත නිදහස් මන්දිරයේදී උත්තරීතර මහානායක පදවිය පිළිබඳව ශී‍්‍ර සන්නස් පත්‍රය ලබන මේ මොහොතේ අතිගරු උත්තරීතර මහනායක මහ සමිඳුන්ට නිදුක් නිරෝගි සුවය හා දිගාසිරි ප්‍රාර්ථනා කරමු.

 

නිකිණි පුර අටවක පෝය


නිකිණි පුර අටවක පෝය ජූලි 30 වන දා ඉරිදා පූර්වභාග 08.06 ට ලබයි. 31 වන දා සඳුදා පූර්ව භාග 09.47 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 30 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 07 වනදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 30

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]