UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර

අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර

ඓතිහාසික අනුරපුර ශ්‍රී දළදා මහා පෙරහර විසි එක් (21) වන වරටත් මෙම ජූලි මස (07-08) හත, අට දිනයන් හි අනුරාධපුර පින්බිමේදී අත්‍යාලංකාරයෙන් පැවැත්වේ.


පල්ලේගම
සිරිනිවාස නා හිමි

ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක, අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනා මත උතුරු මැද ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර මහතාගේ මගපෙන්වීම යටතේ පෙරහර කමිටුව මගින් මෙය සංවිධානය කරනු ලබයි.

නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ස්වර්ණමාලි චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමි, සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ උතුරු හා උතුරු මධ්‍යම යන දෙපළාතේ ප්‍රධාන සංඝනායක ශ්‍රී බුද්ධ ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද යන නා හිමිවරු ප්‍රධාන අටමස්ථානයේ අනිකුත් නා හිමිවරුන්ගේද ආශිර්වාදයෙන් මෙම පෙරහර ජූලි 07 දින පූජානගරය හා ජූලි මස 08 දින නව නගරය කේන්ද්‍ර කරගෙන පැවැත්වේ.

අනුරපුර රාජධානියේ මහසෙන් රජුගේ පුත් කිත්සිරි මෙවන් රජ දවස (ක්‍රි.ව. 301-308) දඹදිව කළිඟු රට රජකළ ගුහසීව රජුගේ දියණිය වු හේමමාලා කුමරිය හා දන්තකුමරු දඹකොළ පටුනෙන් ගොඩ බැස ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවන ලදී.


 උතුරු මැද ප්‍රධාන අමාත්‍ය
පේෂල ජයරත්න

අනුරාධපුර වයඹ දිග පිහිටි මේඝ විහාරයට දළදා වහන්සේ වැඩම කළ බව දැනගත් කිත්සිරි මෙවන් රජු එහි ගොස් දළදා වහන්සේගේ ප්‍රාතිහාර්ය දැක සුදු අසුන් යෙදූ විශේෂ පූජනීය රථයකින් දළදා වහන්සේ ඇතුළු නුවරට වඩා හිඳුවා එහි භාරකාරත්වය අභයගිරි විහාරයෙහි උත්තර මූලයට භාරදී වාර්ෂිකව පෙරහර පැවැත්වූ බව ‘ජිනකාලමාලි’ පුජාවලිය යන ග්‍රන්ථවලින් මෙන්ම මහා වංශයෙන්ද පෙන්නුම් කරයි.

කිත්සිරි මෙවන් රජ දවසින් පසුව ශ්‍රී දළදා පෙරහර වංශකථාවේ නව පිටුවක් සරසමින් අනුරාධපුර ඓතිහාසික ශුද්ධ නගරයේ මෑත යුගයේ ප්‍රථම පෙරහර 1997 ජූලි 18 වන දින පැවැත්විණි.

මෙම පෙරහර නිර්මාතෘවරයා වනුයේ එවකට කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා වූ උතුරු මැද හිටපු ප්‍රධාන අමාත්‍යවරයකු ද වූ වත්මන් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ පියාණන් වූ දිවංගත බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතාය. එසේම පෙරහර ආරම්භයේදී හිටපු ප්‍රධාන අනුශාසක අපවත්වී වදාළ අටමස්ථානාධිපති පල්ලේගම සිරිසුමන රේවත ඤාණරතන නාහිමියන්ද මේ සඳහා පෙරමග ගමන් කරුවන්වූ අනුරාධපුර හිටපු මහදිසාපති ජයම්පති ජී.හෙට්ටිආරච්චි, මධ්‍යම සංස්කෘතික අරමුදලේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රෝලන්ඩ් සිල්වා, ප්‍රථම සංවිධායක කමිටුවේ ලේකම් නීතිඥ පේ‍්‍රමසිරි හෙට්ටිආරච්චි යන මහත්වරුද මෙහිලා කෘතවේදීව සිහිපත් කළ යුතුය. මෙම පෙරහර ආරම්භයේ පස් දිනකට සීමාකර එය පූජනීය බල ප්‍රදේශය තුළ පමණක් පැවැත්විණි, පසුව බැතිමතුන්ගේ ප්‍රතිචාර හේතුවෙන් පෙරහර දින දෙකක් පැවැත්වීමට තීරණය කර පවත්වන ලදී.

පෞරාණික සම්ප්‍රදායන්ට සහ සංස්කෘතික ලක්ෂණයන්ට හැකිතරම් සමීපව පෙරහරේ සියලු අංග පැවැත්වීම මෙහි සුවිශේෂ ලක්ෂණයකි. එදා පෙරහර සම්බන්ධව අලියකු පිට නැගී පණිවිඩකරුවකු විසින් රටවැසියාට, දැනුම් දුන් ක්‍රමය අද අණබෙරකරුවකු මගින් හෝ වත්මන් සමාජ රටාවට අනුව විවිධ ක්‍රමවේද හරහා දැනුම් දෙනු ඇත. එසේම එදා පෙරහරේ පිරිත් සජ්ඣායනා කරමින් පිරිත් නූලක් එක දිගට ගෙනගිය අන්දමට සමගාමීව අද පෙරහර පිරිත් සජ්ඣායනා රථයක් ගමන් කරවනු ඇත. පෙරහර ගමන් මාර්ගයෙහි තැනින් තැන ජාතක කථා පසුබිම් කරගත් රංගනයන් පැවැති අතර අද ජාතක කථා චිත්‍රයට නංවන ලද පෙතිකඩ පෙරහරේ ගෙනයනු ඇත. අලි ඇතුන් , කොඩිසේසත් පංචතූර්ය නාද උඩරට , පහතරට, සබරගමු සම්ප්‍රදායික නැටුම්, හේවිසි , පන්තේරු, වෙස්, සවරන්, කසකරුවන් , රබන් හා ගිනිබෝල කරකවන්නන්, කෝල්මුර කණ්ඩායම්, බොරු කකුල් කරුවන්, කෝලම් නැටුම්, ලී කෙලී , මල් බයිසිකල්කරුවන් බෞද්ධ ධජ, ඇතුළු විවිධ සංස්කෘතිකාංග අති විශාල සංඛ්‍යාව පෙරහරේ ගමන් කරවනු ඇත. ඒ අතර ඉතා අලංකාරව නිර්මාණය කරන ලද රන්සිවි ගෙයක් තුළ තැන්පත් කරන ලද සධාතුක කරඬුව හස්තිරාජයකු පිට ගමන් කරවනු ඇත. මේ සමඟ දේවාල පෙරහරවල් ගමන් ගන්නා අතර නිළමේවරු, පෙරමුණේ රාළ ඇතුළු සංස්කෘතිකත්වය ඉතිහාසය පිළිබිඹු කරන අංග සිය ගණනක් පෙරහරේ අලංකාරත්වය ප්‍රෞඩත්වය පිළිබිඹු කරවනු ඇත. ජුලි 07 දින ප්‍රථම දින පෙරහර අනුරාධපුර ජය ශී‍්‍ර මහා බෝ සමිඳුන්ගේ නැගෙනහිර වාහල්කඩ අභියසදී මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ හස්තිරාජයා පිට තැන්පත් කර පෙරහර ආරම්භ කරනු ඇත.

එය මහ බෝ සමිඳු වටා ඇති පෙරහර මාවත ඔස්සේ ගමන් කර පෙත් මග හරහා රුවන්මැලි මහ සෑ රදුන් අබියසින් පැරණි රෝහල් මංසන්ධිය දක්වා ගමන් කරනු ඇත. එහිදී කරඬුව සහිත හස්තිරාජයා ඇතුළු පිරිසක් ඇතුල්නුවර සංඝමිත්තා මාවතේ පිහිටි ප්‍රථමයෙන්ම දළදා වහන්සේ තැන්පත් කරන ලද මාලිගාව වෙත ගොස් පුද පූජා පැවැත්වීමෙන් පසුව නැවත එම පිරිස පැරණි රෝහල් හන්දියට පැමිණ මහ පෙරහරට එක්වී ථූපාරාම චෛත්‍ය අභියස හන්දියෙන් දකුණට හැරී අනුලා මාවත හරහා වයි හන්දිය පසුකර අභයගිරි ව්‍යාපෘතිය අභියසින් ගමන්කර අභයගිරි විහාරයට ගෙවදීමෙන් ප්‍රථම දින පෙරහර අවසන් වේ.

දෙවන දින (ජූලි 08) පෙරහර මහ බෝ සමිඳුගේ නැගෙනහිර වාහල්කඩ අභියසදී පෙරදින සේම පුද පූජා පවත්වා ආරම්භ කරන පෙරහර ශී‍්‍ර මහා බෝධි මාවත සිංහ කණුව මං සන්ධිය, මාර්කට් පෙදෙස, හන්දියෙන් මහ වීදිය ඔස්සේ නව නගරයේ ඔර්ලෝසු කණුව වටරවුමෙන් ලේක්හවුස් මන්දිරය, ජයන්ති මාවත ඔස්සේ සිංහ කණුව ශ්‍රී මහා බෝධි මාවත හරහා මහ විහාරයට ගෙවදීමෙන් 2017 අනුරාධපුර ඓතිහාසික පෙරහර මහත් පූජනීයත්වයෙන් නිමාවට පත්වනු ඇත.

පෙරහර අවසානයේ රන්සිවිගෙය මුදාහැරීමෙන් පසු එය රැගෙන ගිය හස්තිරාජයා මහ බෝ සමිඳුන් වෙත නමස්කාර කිරීම සුවිශේෂ ලක්ෂණයක් වන අතර එම අවස්ථාව වනතුරු බැතිමතුන් පෙරහර අවසානය දක්වා රැඳීසිටීමද සුවිශේෂත්වයක් වනු ඇත.

 

ඇසළ පුර පසළොස්වක පෝය


ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 08 වනදා සෙනසුරාදා පූර්ව භාග 7.31ට ලබයි. 09 වන දා ඉරිදා පූර්ව භාග 9.36 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම ජූලි 08 වන දා සෙනසුරාදාය.

 

මීළඟ පෝය ජූලි 16 වන දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 08

Second Quarterඅව අටවක

ජූලි 16

Full Moonඅමාවක

ජූලි 23

First Quarterපුර අටවක

ජූලි 30


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]