UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

ඇසළ පුර පසළොස්වක 2017.07.08

දහම් ඇස පහළවිය

සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් කල් පෙරුම් පුරා, දස පාරමී දම් සපුරා උතුම් සම්මා සම්බුදුපදවි ලැබ, අප තථාගතයන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයේ දී පස්වග තවුසන් උදෙසා පළමු ධර්ම දේශනය, දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ, අවිදු අඳුරෙන් වෙළුණු ලෝකයට දහම් ඇස පහළ කරමින් ආර්ය ශ්‍රාවකයන් බිහි කළ පින්බර ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදයි. ඒ දහම් සිසිලසින්, සීල සුගන්ධයෙන් පිරුණු වෙහෙර බිම් සිසාරා නැඟෙන සාධු නද බොදු හදවත් බුදු බැතියෙන් නිවා සනහාලයි.

හමුවීම්, වෙන්වීම් අතර, අසීමාන්තික දුක්ඛ දෝමනස්ස මැද කෙළවරක් නැති වේදනාබර සසරේ නිමාවක් දකිමින් බුදුහිමි දෙසා වදාළ උතුම් නිවනින් නිවි සැනසීම බෞද්ධ අපගේ එකම ප්‍රාර්ථනාව කරගන්නට මේ පොහෝ දින නැවත සිතට මතක් කර දිය යුතු බව හැඟෙන්නේ බෞද්ධ යැයි සිතා සිටියද ඒ ගුණධර්ම ඇතැම් අයෙක් වෙත නොවන බැවිනි. බණ දහම් ශ්‍රවණය කළ ද, ආගමික පුද පූජාවන්ට සහභාගී වුවද දහම අවබෝධ කර නොගත්තේ නම්, ධර්ම මාර්ගයට ප්‍රායෝගිකව ප්‍රවිෂ්ඨ නොවන්නේ නම් සැබෑ බෞද්ධයකු විය නොහැකිය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් නිවී සැනහිය නොහැකි ය. අසන, කියවන ධර්මය ජීවිතයට සමීප කරගත යුතු ය. පුරුදු පුහුණු කළ යුතු ය. ඒ සඳහා සිත එකඟ කර ගත යුතු ය.

අප කරන කියන සියලු යහපත් දේට මුල් වන්නේ සිතය. සිත අපිරිසුදු නම් කරන කියන දේ ද අපිරිසුදුය. බෞද්ධයාට අපිරිසුදු කාය, වාග් කර්ම නොගැළපේ. පිරිසුදු සිතින් යමක් කියන්නේද, කරන්නේ ද ඒ සියල්ල පිරිසුදුය. සිතෙහි පිරිසුදු බව අත්‍යවශ්‍ය එහෙයිනි.

එහෙත් බොහෝ දෙනෙක් සිත අපිරිසුදු වන බව නොදනී. කුණු දුහුවිලිවලින් අපිරිසුදු වූ වත බාහිරට පෙනෙයි. අපි‍්‍රය ස්වභාවයක් දැනෙයි. ඇතැම්විට දුගඳ හමයි. මේ නිසා අපි පිරිසුදු කාරක යොදා කය සෝදා පවිත්‍ර කර ගනිමු. එය අතපසු නොකරමු.

මෙසේ බාහිරින් අභ්‍යන්තරයෙන් සිරුර හා ගැටෙන අනේකවිධ දේ නිසා සිරුර අපිරිසුදු වන්නා සේ සිතද අපවිත්‍ර වේ. එහෙත් ඒ බව නොපෙනේ. බොහෝ විට බාහිර සමාජයටද නොපෙනේ. ලෝභය, ද්වේශය, මෝහය, ඊර්ෂ්‍යාව, තෘෂ්ණාව, වෛරය ආදී සිතිවිලි සිත කිළිටි කරයි. ඒ කෙලෙස් ගින්නෙන් දැවෙන මොහොතක් පාසා අභ්‍යන්තරය, එසේත් නැතිනම් අධ්‍යාත්මය අපවිත්‍ර වෙයි. එවිට කලකිරීම්, බිඳවැටීම්, මානසික වේදනාවන්, හැළ හැප්පීම් ඇති වේ.

ජීවිතයේ ගන්නා, තීන්දු තීරණ වැරදේ. මේ නිසා අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන් සිත සිසිල් කරගත යුතු වේ. වෛරී සිතිවිලි ඇතිවෙන සෑම මොහොතකම මෛත්‍රියේ සිසිලසින් සිත පිරිසුදු කරගන්නට උත්සාහ කළයුතු වේ.

ජීවිතය ලස්සන වන්නේ, සාර්ථක වන්නේ එවිටය. ජීවිතය දිනුවා වන්නේ එවිටය. අනුන්ට පෙනෙන්නට, අන් සිත් ගන්නට ඇඟපත ලස්සන වූ පමණට ප්‍රමාණවත් නැත. සිතත් ලස්සන විය යුතු ය. සිත ලස්සන කර ගන්නට, සංවර්ධනය කර ගන්නට සම්බුදු දහම අපට අපුර්ව මාර්ගෝපදේශයක් ලබා දෙයි.

ධම්ම පදයේ දී සිත ගැන කරන පැහැදිලි කිරීමේ දී සඳහන් කර ඇත්තේ සියලු අදහස්වලට සිත ප්‍රධාන වන බවය. නරක අදහසින් යමක් කියන්නේ නම්, කරන්නේ නම් එයින් ඇතිවන නරක ප්‍රතිඵල තමන් පසුපසම එන බවය. ගොනු පසු පස්සේ එන රිය සක ලෙසය. එහි විරුද්ධ පසද එලෙසමය. පිරිසුදු අදහසින්, හොඳ අදහසින් යමක් කියන්නේ නම්, කරන්නේ නම් ලැබෙන ප්‍රතිඵල ද යහපත් ය. හොඳය. තමන් සමඟ ඇති සෙවණැල්ල සෙයින් ඒ යහපත තමන්ගෙන් දුරස් නොවන්නේ ය.

ධර්මෝපදේශයන් අනුව මේ පුන් පෝදිනයේ ධර්ම ඥානය ලබා සිත සංවර කරගන්නට, සිත පිරිසුදු කරගන්න අධිෂ්ඨාන කර ගමු.

 

ඇසළ පුර පසළොස්වක පෝය


ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 08 වනදා සෙනසුරාදා පූර්ව භාග 7.31ට ලබයි. 09 වන දා ඉරිදා පූර්ව භාග 9.36 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම ජූලි 08 වන දා සෙනසුරාදාය.

 

මීළඟ පෝය ජූලි 16 වන දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 08

Second Quarterඅව අටවක

ජූලි 16

Full Moonඅමාවක

ජූලි 23

First Quarterපුර අටවක

ජූලි 30


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]