UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අසිරිමත් සෝමවතියේ 12 වන වරටත් පවත් වන ශ්‍රී දකුණු දළදා පෙරහර

අසිරිමත් සෝමවතියේ 12 වන වරටත් පවත් වන ශ්‍රී දකුණු දළදා පෙරහර

සම්මාසම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට ඇති පොළොන්නරුවේ ඓතිහාසික සෝමවතී චෛත්‍යරාජයා අභියස සිට ජූනි 29 දින සිට පවත්වනු ලබන සතිපිරිත් දේශනාව හා ශ්‍රී දකුණු දළදා පෙරහර 12 වන වරටත් මෙම 2017 ජූලි මස 06,07,08 යන දිනයන්හි පවැත් වීමට කටයුතු සූදානම් කර ඇත.

ක්‍රි.පූර්ව දෙවන සියවසේදී සෝමවතී දේවිය හා ගිරි අභය කුමරු විසින්, බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට ඉදි කරන ලද මෙම සෝමවතී චෛත්‍ය රාජයා අභියස රාජ්‍ය වර්ෂ 112 දී ගජබා රජතුමා විසින්, සොලීන් විසින් ලක්දිවින් පැහැරගෙන ගිය 12000 ක් සිංහල ජනතාවත් පාත්‍රධාතූන් වහන්සේත්, දේවාභරණත් සමග සොලීන් 12000 ක් ද මහා විජයග්‍රහණයකින් ලබාගෙන ශ්‍රී ලංකාද්වීපයට පැමිණ සෝමවතී චෛත්‍ය රාජයා අභියස දළදා පූජා හා පෙරහර පවත්විය.

දළදා වහන්සේගේ ආශීර්වාද ලබාගන්නා මොහොතේ දී සෝමවතී විහාරස්ථානයේ වැඩ විසූ භික්ෂූන් වහන්සේ ගජබා රජතුමාට “යුද්ධ ජයග්‍රාහක ගාමණී අභය” යන ගෞරව නාමය පිරිනැමූ බව සෝමවතී චෛත්‍ය රාජයා සමීපයේ ඇති දිග්ගලේ “ගාමිණී අභය යුදජී රජඅඩියගම මණි අගිය විහරට දිනි” (රා.ව. 112 සිට 134) යනුවෙන් මීන්විලු පර්වත ලිපියෙහි රජතුමාට “ගාමිණී අභය යුදජී” (යුද්ධ ජයග්‍රාහක ගාමිණී අභය) යන ගෞරව නාමය පිරිනැමූ බවත්, රජතුමා අපමණ සතුටට පත්ව රාජකීය ඇලක් සාදවා එම ඇලෙන් වැඩ කරන කුඹුරු සියල්ලම සෝමවතී හෙවත් මණි අගිය විහාරයට පිරිනැමූ බවත් එම සෙල්ලිපියේ සඳහන් වෙයි.

මේ අයුරින් ගජබා රජතුමා විසින් විජයග්‍රහණය සිහිපත් කරමින් ආරම්භ කළ පෙරහර, පොළොන්නරු යුගයේ අවසානය දක්වාම පවත්වාගෙන අවුත්, පොළොන්නරු යුගය අවසන්වීමත් සමගම අභාවයට පත් විය. නැවත 1947 දී මල්වතු මහා විහාරයීය ගරුතර කාරක සංඝ සභික සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නාහිමි සහ පහමුණේ ශ්‍රී ගුණානන් ද මල්වතු පාර්ශ්වයේ අනුනාහිමියන් විසින් සැදැහැවත් ජනතාව සමග පැමිණ බුද්ධ රශ්මි මාලාව හා ශබ්ද පූජාවන් සියැසින් දකිමින් හා සිය කනින් අසමින් සොයා ගැනීමෙන් පසු මෙම චෛත්‍යස්ථානය සංවර්ධනය කිරීමට පටන් ගති.

1966 දී චෛත්‍ය රාජයාට මුල්ගල් තබා, 1981 දී බුද්ධරශ්මි මාලා මධ්‍යයේ කොත් පැළඳ වීමෙන් පසු නැවතත් ඇති වූ ත්‍රස්තවාදය නිසා මෙම ස්ථානයට සම්බන්ධ සියලු දෙනාම 1986 දී ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කිරීමත් සමග චූඩා මාණික්‍යය ගැලවූ ත්‍රස්තවාදියාද සිය ගිණි අවිය පත්තු වීමෙන් මරණයට පත්විය. චෛත්‍යරාජයා සමීපයෙහි බිමදමා තිබී හමුදා නිලධාරීන්ට හමුවූ මෙම චූඩා මාණික්‍යය නැවත අප වෙත ලැබී පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුව භාරයේ සුරක්‍ෂිතව තැබිණි.

වසර 17 කින් පසු නැවතත් 2002 පෙබරවාරි 27 දින එවක එක්සත් ජාතික පක්ෂ රජයේ සම්බන්ධතාවය ඇතිව, ඝණකැලයෙන් වැසී තිබූ මෙම ස්ථානය, මහවැලිය, පොලිසිය, යුධ හමුදාව සම්බන්ධ කරගෙන එවකට රජයේ හා සැදැහැවතුන්ගේ ආධාරයෙන් ජල පහසුකම් හා ජෙනරේටරයකින් විදුලිය ද තාවකාලික ගොඩනැගිලි පහසුකම් සලසාගෙන දින 112ක් ඇතුළත, 2002 ජුනි 19 වන දින චූඩාමාණිඛ්‍යය පැළඳවීය. එවක රජය මගින් ප්‍රධාන විදුලි පද්ධතිය ලබා දෙමින්, මාර්ග පහසුකම් සලස්වන මොහොතේ, සැදැහැවතුන්ගේ ආධාර ඇතිව අදාළ ස්ථිර ගොඩනැගිලි ආදිය ඉදිකරවමින් සංවර්ධන කටයුතු සිදු කරන කාලයේ දී ගල් ගැලවී විනාශයට පත්වෙමින් පැවති ඇතුල් මළුව සෑදීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන්, කොළඹ ජිනසේන සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තිස්ස ජිනසේන මහතා අතින් මුල්ගල් තබන දැක වර්තමාන වනජීව අමාත්‍යවර ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඇතුලු සැදැහැවත් පිරිස අපමණ සතුටට පත්වූහ.

කුරුණෑගල කුලියාපිටිය නැදලගමුව ප්‍රදේශයේ දීගල්ල ධර්‍මදාන පදනම ඇතුළු එම පිරිස සම්බන්ධ කරගෙන දකුණු දළදා පෙරහර පැවැත්වීමට තීරණය කොට කිසිවෙකුගෙන් අලියෙකු ලබා ගැනීමට නොහැකි වූයේ වනයේ සිටින අලි ඇතුන් කෙරෙහි ඇති බිය නිසා අලි ඇතුන් රහිතව, සධාතුක කරඬුව සිය හිසමත හා ඉන්පසුව වාහනයක තබාගෙන වර්ෂ තුනක් පෙරහර පැවැත්වීමෙන් අනතුරුව බෝධීන් වහන්සේගේ රන්දළු හටගත් අතරම, ත්‍රස්තවාදීන්ගෙන් රට මුදවාගත් මොහොතේ 04 වන දළදා පෙරහර පැවැත් වීමට 2009 ජුනි 07 වැනි පොසොන් පොහෝදින සාකච්ඡා කරමින් වනයේ සිටින අලි ඇතුන් නිසා පෙරහර අලි රහිතව පැවැත් විමටත් රන්සිවිගේ සහිත කරඬුව වාහනයක තබා වැඩම කිරීමටත් තීරණය කරණ ලදි.

එනමුත් පසුදින උදයේ 6.30 ට පමණ කිරි ආහාර පූජාව රැගෙන යන මොහොතේදී සිදු වූ අසිරිය දැක එය අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාට ඡායා රූප ගතකිරීමට ද හැකි විය.

එවැනි විශේෂ සිදුවීම් නිසා පෙරහර සඳහා ඇතෙක්ම යොදා ගතයුතු යැයි තීරණය කොට වර්තමාන වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා හා හිටපු කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ද සම්බන්ධතාවය ඇතිව මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තුමා මගින්, මහනුවර ශ්‍රී දළදා පෙරහරේ කරඬුව වැඩම වන ඉන්දිරාජා හස්තිරාජයා රැගෙන ගොස් 2009 ජූලි 06 වන දින දළදා පෙරහර චෛත්‍ය රාජයා වටා ප්‍රදක්‍ෂිණා කොට ගෙවදීමත් සමගම රාත්‍රී 01.00 ට පමණ එක් දළක් ඇති ඇත්පැටියෙක් චෛත්‍ය රාජයා වෙත පැමිණ පැයක් පමණ සිට කැලයට ගියේ ය.

පසුදින 07 වැනිදා ප.ව. 05.00 ට පමණ එක් දළක් සහිත අවුරුදු හයක් පමණ වයසැති ඇත් පැටවෙක් චෛත්‍ය රාජයා දෙසට පැමිණෙනු දැක මා ඉදිරියට යන විට මා සමීපයට පැමිණ හොඩවැල ඔසවා මා දෙස බලා සිටියේ ය.

මවිතයට පත් මා කැමරාව ගෙන ඡායා රූප ගත් අතරම, පලතුරු දෙනවාත් සමගම හුරු පුරුදු ඇත් පැටියෙක් මෙන් මා ඉදිරියට පැමිණ පලතුරු සියල්ලම අනුභව කොට පැය කීපයක් ම චෛත්‍යරාජයාවටා ඇවිදමින් සිට කැලයට ගිය නමුත් චෛත්‍ය රාජයා පෙනෙන දුරින් හැසිරෙමින් දකින කාටත් විනෝදයක් දනවන අයුරින් චෛත්‍ය රාජය අවට හැසිරෙමින් අද දක්වාම සිටී.

මේ අතර 2012 නොවැම්බර් 04 දින සීමාමාලකය සම්මතර කර අවසන් වනවාත් සමගම ජායාරූපයට ගැනීමට හැකි වූ අතර, පසුගිය වසරේ මහනුවර දිසා විනිසුරුතුමා විසින් ද සුදු ඇත්පැටවෙකු සියැසින් දැකීමෙන් පෙරහරකට හස්ථිරාජයන්ගේ සම්බන්ධතාවය මැනවින් පැහැදිලි විය. එසේම 2013 වසරේ දළදා මාළිගාවේ ඉන්දිරාජා හස්ථියා සහිතව පෙරහරේ කරඬුව රන්සිවි ගෙහි තැන්පත් කරන මොහොතේ කිහිපවතාවක් ම දළදා වහන්සේ සහිත කරඬුව චෛත්‍යරාජයාණන් වහන්සේට ඉහළ අහසේ දිස්වනු දැකීමත්, වරකට බුද්ධරශ්මි මාලාවන් ද තවත් විටෙක හේවිසි ශබ්ද පූජාව, මිණිගෙඩි හා ගණ්ඨාර ශබ්ද හා පිරිත් දේශනා ශබ්දත් හා සාධුකාර ශබ්ද ද ඇසීමට හා දැකීමටත්, සුදු හංසයෙක් මත දිස්වන රූප ද වැනි ආශ්චර්යයමත් සිද්ධීන් සිදුවිමත්, අලි ඇතුන්ගේ ද වන්දනා පවා දකින මෙම ආශ්චර්යයමත් සිද්ධීන්ගෙන් ගහණ බුදුරාජණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට ඇති මෙම සෝමවතී චෛත්‍යරාජයා අභියස මේ අයුරින් විශ්මයජනක සිද්ධීන් ඇතිවීමෙන් ඉතිහාසයේ ද මීටපෙර සඳහන් වු අයුරින් අදෘශ්‍යමාන බලවේග තුළින් පෙරහරක් පැවැත් විය යුතු ආකාරය පෙන් වූයේ මෙම සෝමවතී චෛත්‍ය රාජයා සමීපයෙහි ශ්‍රී දළදා පෙරහර අනිවාර්යයෙන් පැවැත්විය යුතුයැයි යන පණිවුඩය ලෝකයාට පෙන්නුම් කිරීම බව ඔබ අප හැම දෙනාටම වැටහී යන කාරණයකි.

සකල ජනතාවටම ඉමහත් ශාන්තියක් සැලසෙන මෙම දළදා පෙරහර පැවැත් වීමේ අත්‍යවශ්‍යතාවය මැනවින් හැගීගිය නිසාම අපමණ සතුටට පත් වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, වනජීවී අමාත්‍ය ජයවික්‍රම පෙරේරා මැතිතුමා, හිටපු කෘෂිකර්‍ම අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා ඇතුළු සැදැහැවත් පිරිසද නන් අයුරින් පෙරහරට සම්බන්ධ වෙමින් පෙරහර දර්ශනීය අන්දමින් වාර්ෂිකව සිදු කිරීමටත් පටන් ගන්නා ලදි.12 වන වරටත් පවත් වන මෙම පෙරහර ද අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, වනජීවී අමාත්‍යවර ජයවික්‍රම පෙරේරා මැතිතුමා, හිටපු නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මැතිතුමා, පොළොන්නරු මහදිසාපති තුමා, අතිරේක දිසාපතිනි, ලංකාපුර ප්‍රාදේශීය මහලේකම් තුමා හා ලංකාපුර ප්‍රාදේශීය සභාවේ ලේකම් තුමා ඇතුළු එම ආයතනයන් හි නිලධාරී පිරිසත්, ලංකාපුර, පොළොන්නරුව, හිඟුරක්ගොඩ ආදි ප්‍රදේශවල සැදැහැවත් පිරිසත්, කුරුණෑගල, කුලියාපිටිය නැදලගමුව සැදැහැවත් පිරිසත් එකතුව ඉමහත් සහසම්බන්ධතාවයකින් මෙම ජූනි 29 වන දින පටන් සතිපිරිත් දේශනාව ආරම්භ කොට ජූලි 05 දින දොරකඩඅස්න අනුශාසනාව හා දළදා පෙරහර සහිත දේවදූත පෙරහර සිදු කෙරේ.

06 වන දින 75 නමක් මහා සංඝරත්නය විෂයෙහි සාංඝික දානයක් පිරිනමා 6 හා 7 දිනයන්හි චෛත්‍යරාජයාණන් වහන්සේ වටා විහාරයේ ඇතුල් මළුවේ පෙරහර ද ඇසළ පුර පසළොස්වක් පොහෙදා දින රාත්‍රී 08.00ට චෛත්‍යාරජයා සහිත මහමළුව වටා පෙරහර මාර්ගයෙහි ශ්‍රී දකුණු දළදා පෙරහරත්, මහා මුළුතැන් දළදා පූජාව ආදී ඇසළ පොහෝ දින සිදු කෙරේ.

මෙම පින්කම් මාලාවට සහසම්බන්ධ වන උක්ත ජනාධිපති තුමන් ප්‍රධාන මැති ඇමතිවරුන් ඇතුළු සකල ලාංකික ජනතාවට ශ්‍රී දකුණු දළදා වහන්සේගේ ආශීර්වාදය ලැබීමෙන් නිසිකලට වැසි ලැබී සකල ප්‍රාර්ථනා සමෘද්ධිමත් වී ඉමහත් යහපතක්ම සැලසේවායි ප්‍රාර්ථනය කරමි.

 

ඇසළ පුර පසළොස්වක පෝය


ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 08 වනදා සෙනසුරාදා පූර්ව භාග 7.31ට ලබයි. 09 වන දා ඉරිදා පූර්ව භාග 9.36 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම ජූලි 08 වන දා සෙනසුරාදාය.

 

මීළඟ පෝය ජූලි 16 වන දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 08

Second Quarterඅව අටවක

ජූලි 16

Full Moonඅමාවක

ජූලි 23

First Quarterපුර අටවක

ජූලි 30


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]