UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී දළදා පුරාණය:- 5 : දළදා වහන්සේ ආරක්ෂා කළ අයුරු

දළදා වහන්සේ ආරක්ෂා කළ අයුරු

කෝට්ටේ රාජධානි සමයේදී තෙමහල් ප්‍රාසාදය තුළ තැන්පත් කර තිබූ දළදා වහන්සේ දෙල්ගමුව විහාරයට වැඩම කරවා ඇත්තේ හිරිපිටිය දියවඩන නිළමේතුමා බව වංශ කතාවල සඳහන් වෙයි.එතුමා දුටු සිහිනයකට අනුව, සිහිනෙන් පැමිණි දෙවියෙකු විසින් ,දත මැද ගන් රාළේ යනුවෙන් ප්‍රකාශ කර අතුරුදහන් වූ බවත්, එම ප්‍රකාශනයට අනුව දළදා වහන්සේ දෙල්ගමු විහාරයට වැඩම කරවා ඇති බවත්,එම ප්‍රකාශනයෙහි අර්ථය නිවැරැදිව වටහාගත් හිරිපිටිය දියවඩන නිළමේතුමා දත යනුවෙන් දළදා වහන්සේත්, මැද යනුවෙන් මධ්‍ය දේශයත්, ගන් යනුවෙන් වැඩමවාගෙන යා යුතුය යන අදහසට අනුව දළදා වහන්සේ මධ්‍ය ප්‍රදේශයට රැගෙන යාමට කටයුතු කර ඇත.


දළදා වහන්සේ සඟවා තැබූ දෙල්ගමු විහාරයේ පැරැණි
කුරහන් ගල

නමුත් එම කාලය වන විට මධ්‍ය දේශය හෙවත් උඩරට ප්‍රදේශය තුළ තිරසාර රාජ්‍යයක් නොතිබුණ බැවින් දළදා වහන්සේට ආරක්ෂාව සැපයීම සඳහාත් ,පුද පුජාවන් සිදුකිරීම සඳහාත්,දළදා වහන්සේ දෙල්ගමු විහාරයට වැඩමවා එම විහාරයෙහි තිබූ පැරැණි කුරහන් ගලක තැන්පත් කළ බව සඳහන් වේ. දළදා වහන්සේ සඟවා තැබූ එම කුරහන් ගලට වර්තමානයෙහිත් පුද සත්කාර පවත්වන ආකාරය දැක ගත හැකියි.

නැණවත්වූ හිරිපිටිය නිළමේතුමා දන්ත ධාතූන් වහන්සේ කුරහන් ගලක් තුළ සඟවා තබන්නට හේතු වුණේ පරසතුරන්ගෙන් මැනවින් ආරක්ෂාකරගැනීම සඳහා. මහා සංඝරත්නයේ නොමඳ සහයෝගයත්, දෙල්ගමු විහාරයේ වැඩ සිටි නායක ස්වාමීන් වහන්සේගේ ආරක්ෂාවත් ,නිතැතින්ම ලැබීම දළදා වහන්සේ ආරක්ෂාකර ගැනීමට හේතු වී ඇත.එපමණින් නොනැවතී දළදා වහන්සේ උදෙසා කළ යුතු පුද සිරිත් එම ස්ථානයේදීම අප්‍රකටව සිදුකර තිබේ.

මේ ආකාරයට කලක් දෙල්ගමු විහාරයේ තැන්පත් කර තිබූ දළදා වහන්සේ කොනප්පු බණ්ඩාර නම්, සෙන්පතියා ක්‍රි. ව. 1592 දී මහනුවර නගරය සංවර්ධනය කර විමල ධර්මසූරිය නමින් රාජ්‍යයට පැමිණීමෙන් අනතුරුව, දළදා වහන්සේ යම් කෙනෙකුට අයිතිද , ඔහුම අගරජ වශයෙන් පිළිගැනීමේ පැරැණි චාරිත්‍රයට අනුව දළදා වහන්සේ වැඩ සිටි දෙල්ගමු විහාරයෙන් මහනුවරට වැඩමවා දර්ශනීය දළදා මැඳුරක් ඉදිකරවා තැන්පත් කළ බව මහා වංශයේ සඳහන් වේ. දළදා වහන්සේ මහනුවරට වැඩමවීම පිළිබඳව රසවත් කතා පුවත් ජනප්‍රවාදයේත් ,මහනුවර යුගයේ රචනා වූ දළදා පුවත ග්‍රන්ථයේත් සඳහන් කර ඇත.

බුද දහම හා සඟ සසුන දියුණු කිරීමට විවිධාකාරයෙන් කටයුතු කළ විමලධර්මසූරිය රජතුමා ගලඋඩ නමින් හැඳින්වූ තෙරුන් වහන්සේ සමඟ සාකච්ඡා කරමින් සිටින අවස්ථාවේදී තමන්ට දළදා වහන්සේ කවදා ලැබේදැයි, කොතැනට වඩින්නේ දැයි? විමසූ විට තෙරුන් වහන්සේ සඳහන් කර ඇත්තේද, ඔබතුමාගේ අරමුණ ඉක්මනින්ම ඉටුවෙනවා. ඒ වගේම දළදා වහන්සේ වර්තමානයෙහි සතර කෝරළය නමින් හැඳින්වෙන කෑගලු ප්‍රදේශයේ සිට පැමිණෙන මාර්ගය ඔස්සේ බලන දුර්ගය හරහා වඩින බවට සඳහන් කර ඇත. එවිට රජතුමාගේ වැටහීමට අනුව, සබරගමුවේ සිට දළදා වහන්සේ අම්පිටිය ඉදල්ගස් කන්ද නම්, ස්ථානයෙන් මහනුවරට වඩමිමවන බවයි. එම ප්‍රකාශය ඒ අයුරින්ම සනාථ කරමින්, දළදා වහන්සේ අම්පිටිය ඉදල්ගස් කන්ද මැදින් මහනුවරට වැඩම කර තිබේ. අතිශයින් අමන්දානන්දයට පත්වූ රජතුමා දළදා වහන්සේ දෝතින්ම පිළිගෙන පුද සත්කාර කළ බව ජනප්‍රවාදයේ සඳහන් වේ.

විමලධර්මසූරිය රජතුමා මහනුවර ප්‍රදේශයේ කරන ලද මාලිගාව පසුකාලයේදී පෘතුගීසින් විසින් විනාශ කළ බවත්, එම කාල වකවානුවෙහිම කන්ද උඩරට රාජ්‍ය නායක්කර වංශිකයන් අතට පත්ව තිබුණ ආකාරයත් පැහැදිලි වේ. නායක්කාර වංශික රජවරුන්, දළදා වහන්සේ තුළ තිබෙන ප්‍රාතිහාර්යයත්, දළදා වහන්සේ ආරක්ෂා කිරීමේ වගකීමත් රජවරුන්ගේ වගකීමක් ලෙස සළකා දළදා වහන්සේ ්ආරක්ෂා කිරීමේ වගකීම ඔවුන් බාරගැනීමට කටයුතු කර ඇත.

කීර්තී ශ්‍රී රජතුමාගේ කාලයේදි මෙරට සම්බුද්ධ ශාසනය තුළ උපසම්පන්න භිික්ෂූන් වහන්සේ වැඩ නොසිටි බැවින් සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාකළ වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමිපාණන් වහන්සේත්, කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාත් නැවත උපසම්පදාව ලංකාව තුළ පිහිටුවා දළදා වහන්සේ ආරක්ෂා කිරීමේ කාර්යයත්, දළදා වහන්සේ උදෙසා කළ යුතු පුද සිරිත් ආදියත් මනා කොට සිදුකර ඇත. ඒ වගේම පෘතුගීසීන් විසින් විනාශ කළ දළදා මන්දිරය නැවත ප්‍රතිසංස්කරණය කරමින් දළදා වහන්සේට විශාල රන් කරඬුවක් ඇතුළු රන් කරඬු කිහිපයක් තනවා ආරක්ෂිත විධි විධාන සකස් කළ ආකාරයත් මහා වංශයේ සඳහන් ෙවි.

එහි සම්පූර්ණ අයිතිය මල්වතු මහා විහාරයේ මහානායක මා හිමි පාණන් වහන්සේටත් , අස්ගිරි මහා විහාරයේ මහානායක මාහිමිපාණන් වහන්සේලාටත් බාර කිරීමට කටයුතු කර ඇත. වර්තමානයේ දළදා වහන්සේ උදෙසා මහත් ගෞරවයෙන් සිදුකරන පුද පූජාවන් තිබෙනවා නම්, එහි ආරම්භක අවස්ථාව කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලයේදීයි. දළදා මන්දිරයට යාබදව තනවා ඇති පත්තිරිප්පුව කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ නිර්මාණයකි.එම රජතුමාගේ රාජ්‍ය කාලයෙහි ලන්දේසීන් විසින් කන්ද උඩරට ප්‍රදේශයට විටින් විට ප්‍රහාර එල්ල කර ඇත. කීර්ති ශ්‍රී ිරාජසිංහ රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහය යටතේ ,නාවින්නේ ශ්‍රී ධම්මදස්සී මහා නායක මා හිමිපාණන් වහන්සේ දළදා වහන්සේ මැද මහනුවරට වැඩමවාගෙන ගොස් එහි සඟවා තබමින් සංඝ රත්නයේ ආරක්ෂාවත් , සහායත් ඇතිව, දළදා වහන්සේ වෙනුවෙන් කළයුතු පුදසිරිත් සත්කාර සිදුකර ඇති ආකාරය සඳහන් වේ.

කීර්තී ශ්‍රී රාජසිංහ රජතුමාගෙන් පසු රාජාධිරාජසිංහ රජතුමා විසින් වනාන්තරවල ආරක්ෂාකරමින් පැවැති දළදා වහන්සේට පුදසත්කාර කළ ආකාරයත්, ඒ වගේම නැවත දළදා වහන්සේ මහනුවරට වැඩමවාගෙන පැමිණි ආකාරයත් පිළිබඳ තොරතුරු දෙවුල්දෙන තල්පතෙහි සඳහන් කර තිබේ. එම දෙවුල්දෙන තල්පතෙහි සඳහන් ආකාරයට අනුව, මහනුවර සතුරු බය පැමිණි කල්හි මහ වාසලින් මිදී රඹුක්වැල්ල රතනජෝති වන මම සහ නාවින්නේ නායක උන්නාන්සේද, පොතුහැර උන්නාන්සේද, හනුමුල්ලේ උන්නාන්සේද හා උභය විහාරීය තවත් උන්නාන්සේලා කිහිප නමක්ද, ගිහි පක්ෂයෙන් අලදෙනියේ ගැටවත්තේ දෙන්නා ඇතුලුව තවත් කිහිප දෙනෙක්ද දළදා වහන්සේ වැඩමවාගෙන පෙරහර ලෙසින් මහනුවරට වැඩමෙව්වාය. එහි සිටි පෙරහර ලෙසින් වැඩමවාගෙන මී මුනිය රටටත්, උඩසිය පත්තුවටත්, ගම්පහටත් අතර ගිරි දුර්ග වන දුර්ගයෙන් කර්කෂ වූ නාවනගල කන්දටත්, සරතින්දු කුන්ද, දවල, කිරන, ප්‍රභා ආදී ගිනවර ශ්‍රී දන්තධාතූන් වහන්සේ දෙමහල් මාලිගාවක් කරවා වඩමවාගෙන සිට එතැහි දුම්බර පන් සිය පත්තුව බද දෙවුලේගම ගල්ලෙන් මාලිගාවට වැඩමෙව්වාය.මේ ආකාරයෙන් කෙවුලේගම තල්පතේ දළදා වහන්සේ ආරක්ෂා කරගැනීම සඳහා යොදන ලද උපක්‍රම විධි පිළිබඳ දීර්ඝ විස්තරයක් තවදුරටත් සඳහන්වේ.

1798 ශ්‍රී වික්‍රමසිංහ රාජසිංහ රජතුමාගේ රාජ්‍ය කාලයේදී ඇති වූ ලන්දේසි ආක්‍රමණ නිසා දඹුලු වනය ආදී කැලෑවලටත්, හේවාහැට හඟුරන්කෙත මැදපිටිය කිතුල්පේ ආදී ස්ථානවලත් දළදා වහන්සේ වැඩමවා විටින් විට ආරක්ෂා කරන්නට යෙදුන බවට තොරතුරු සඳහන්වේ.

ඒ ආකාරයට දළදා වහන්සේ සතුරු ආක්‍රමණයන්ගෙන් ආරක්ෂා කරගැනීමට කැලෑ ගල්ලෙන් ආදී ස්ථානවල සඟවා තැබුවත්,කළ යුතු සියලු පුද සිරිත් ආදිය හැකි පමණින් අප්‍රකටව සිදුකළ බව මහා වංශයේ මහනුවර යුගයේ රචනා වුණ සිංහල දළදා වංශය, දළදා පූජාවලිය , දළදා වරුණ, දළදා විත්තිය, ආදී සිංහල පාලි ගද්‍ය, පද්‍ය, කාව්‍යවල විස්තර සඳහන් වේ.


ශ්‍රී දළදා පුරාණය:- 4 : රාජ්‍යත්වයට උරුමකම් පෑමට හේතු වූ දළදා වහන්සේ

 

ඇසළ පුර පසළොස්වක පෝය


ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 08 වනදා සෙනසුරාදා පූර්ව භාග 7.31ට ලබයි. 09 වන දා ඉරිදා පූර්ව භාග 9.36 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම ජූලි 08 වන දා සෙනසුරාදාය.

 

මීළඟ පෝය ජූලි 16 වන දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 08

Second Quarterඅව අටවක

ජූලි 16

Full Moonඅමාවක

ජූලි 23

First Quarterපුර අටවක

ජූලි 30


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]