UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පළමුව තමාටමමෙත් වඩන්න

පළමුව තමාටමමෙත් වඩන්න

" මෛත්‍රී භාවනාව තමන්ම අත්හදා බලන්න. මඟ තොට යද්දී , නින්දට යනතුරා, සියවරක් හෝ තමන්ටම මෛත්‍රී කිරීමෙන් ලැබෙන අනුසස් කෙතරම් බලගතුදැ’යි බලන්න. හැම හදවතකම මෛත්‍රී භාවනාව පිබිදුණොත් තමන්ටම ලැබෙන පිහිට අපමණයි"

සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ භාවනා ක්‍රම අතුරින් මෛත්‍රී භාවනාව විශේෂිතයි. එය සමාජයට බොහෝ වැදගත් වෙයි. ඇතැම් තරුණ ජීවිත බාහිර වශයෙන් උගත්කමෙන් පෝෂණය වුවද සිය දිවි නසා ගැනීම් සිදු වන්නේ තමාට තමාම මෙත් නොවඩන නිසයි. මෛත්‍රී භාවනාව කරන්නා සිය දිවි නසා ගැනීම් සිදු කරගන්නේ නැත. එවැනි පුද්ගලයා සමාජයට ද වෛර නොකරනු ඇත.

කෙනෙක් සුවපත් වේවා! යනුවෙන් සිතුවත් විශාල පිනකි. සියලු සත්ත්වයෝ කායික සුවයෙන් සුවපත් වෙත්වා! සියලු සත්ත්වයෝ මානසික සුවයෙන් සුවපත් වෙත්වා! සිතිවිල්ලත් ලෞකික ලෝකෝත්තර වශයෙන් මෛත්‍රිය පැතිරීමයි. එසේනම්, අප මෛත්‍රී භාවනාව හොඳින් දැන හඳුනාගෙන පළමුව තමන්ට මෛත්‍රිය කළ යුතුයි. තමා ළඟ මෛත්‍රිය නැතිනම් ලෝවැසි සත්ත්වයන්ට මෙත් වැඩිය නොහැකියි.

තමන්ගේ සිත , තරහ, වෛර, ක්‍රෝධ ඊර්ෂ්‍යාවෙන් පිරී පැවතුණොත් අනුන් සුවපත් වෙත්වා යනුවෙන් පැවසුවාට වැඩක් නැහැ. මුලින්ම තමන්ගේ සිතේ මෛත්‍රිය පුළුවන් තරමින් දියුණු කළ යුතුයි. එසේ මෛත්‍රිය භාවනාව වරක් දෙවරක්, තෙවරක් හෝ සිය දහස්වරක් හෝ තමන්ටම බොහෝ වේලාවක් මෛත්‍රිය කළ යුතුයි

කරණීය මෙත්ත සූත්‍රය, ඛන්ධ පිරිත ආදී බොහෝ සූත්‍රවල මෛත්‍රී භාවනාව ගැන සඳහන් වෙයි. එක්තරා දිනක ස්වාමීන් වහන්සේ පන්සිය නමක් බුදුරදුන්ගෙන් අවසර ලබාගෙන වස් සමාදන් වන්නට දුර බැහැර ආරණ්‍යයක වනගත වුණා. උන් වහන්සේ දින දෙක තුනක් හොඳින් කල් ගත කළත් ඉන් පසුව අසුභ අරමුණු පෙන්නුම් කළා. මෘත ශරීර ,දුගඳ හමන අරමුණු, අමනුෂ්‍ය උවදුරු වලින් සිත පිරී විසිරී ගියා. සමාධිය නොලද නායක ස්වාමීන් වහන්සේ සීනුව නාදකර අනෙක් ස්වාමීන් වහන්සේත් කැඳවා මේ බව දැන්වූවා. ස්වාමීන් වහන්සේ පන්සිය නමටම ඇතිවූ එවැනි අසුභ අරමුණුු ගැන දායකවරුන් දැනුවත් කර බුදුරදුන් හමුවට නැවත වැඩම කළා.

එහිදී බුදු පියාණන් වහන්සේ ස්වාමීන් වහන්සේ පන්සියනමට මෙම මන්ත්‍රය පාඩම් කරන්නැ’යි කරණීය මෙත්ත සූත්‍රය අනුදැන වදාළා. කරණීය ධර්ම දාහතරක් සහ අකරණීය ධර්ම එකක් වශයෙන් දියුණුකර, සෑම ඉරියව්වකදීම මෛත්‍රී භාවනාව වඩමින් නැවත ආරණ්‍යයට වැඩම කළ භික්ෂූන් වහන්සේ ගැන රුක් දෙවි දේවතාවුන් පැහැදී බිමට බැස භික්ෂූන්ට අවශ්‍ය ආගන්තුක සත්කාර ඇප උපස්ථාන, දාන මාන සියල්ලම සැපිරුවා. නොබෝ කලකින් සිත සමාධි ගත වූ ස්වාමීන් වහන්සේ පන්සිය නමටම මෛත්‍රිය ධ්‍යාන වැඩී විදසුන් නුවණ පහළවුණා. මේ අසිරිමත් මොහොතේ බුදුරදුන් අනුදැන වදාළ විශේෂ අනුශාසනාවෙන් ස්වාමීන් වහන්සේ පන්සියනම මහ රහත් වූවා.

තවද මහ බෝසතාණන් වහන්සේ ස්වර්ණ සාම ජාතක දේශනාව අවස්ථාවේදී සැමටම මෙත් සිත පැතිරුවා. එහි බලයෙන් බෝසතාණන් වහන්සේ රන්වන් පැහැ වූවා. අඳ මව්පියන්ට ඇප උපස්ථාන කරමින් භාවනාව උගන්වා තමනුත් මෛත්‍රිය වැඩුවා.

වනාන්තරයේ සතා සිවුපාවන් අතරත් මෛත්‍රිය පැතිරී තිබෙනවා. මෛත්‍රී භාවනාව කෙතරම් ව්‍යාප්ත දැ’යි බලන්න. කොටි, මුවෝ , නයි, පොළොගුන් ආදී එකට වාසය කරන දරුණු සත්ත්වයෝ පවා එකිනෙකාට මෛත්‍රී සහගතයි. මස් මාංශ අනුභව කරන සත්ත්වයෝ නිර්මාංශ වුණා. එසේනම් මෛත්‍රී භාවනාව කෙතරම් බල සම්පන්නද? මස්, මාංශ පරිහරණයෙන් වැළකී මෛත්‍රී භාවනා කිරීමෙන් අපට ඉක්මනින් අනුසස් ලබන්න පුළුවන්. මිය ගිය සත්ත්වයන්ට මෛත්‍රිය වඩන්න බැහැ. මෛත්‍රිය වැඩිය යුත්තේ ජීවත්ව සිටියදී පමණයි. මේ සඳහා සිතේ මෛත්‍රිය අවශ්‍යයයි.

සතුන් මරාගෙන ජීවත්වෙන්නාට මෛත්‍රී භාවනාව කිරීම අපහසුයි. අහිංසක බොහොම යහපත් අයෙක් වුවද අසද්පුරුෂ ආශ්‍රයෙන් හිංසක වූවා. ගුරු පඬුරු උදෙසා මිනිසුන් මරා ඇඟිල්ල බැඟින් ලබා ගත්තා. නමුත්, අතීත සංසාර සාගරයේ බොහෝ පාරමී ගුණ දහම් පිරූ අංඟුලිමාල බුදුරදුන්ගේ කරුණාබර වදනින් සුවපත්ව තුනුරුවන්හි පිහිටා මෛත්‍රිය දියුණු කළා.

මේ අහිංසක කුමරුට පිහිට වූ බුදුරජාණන් වහන්සේ මහණ උපසම්පදාව ලබා දුන්නා. නමුත් අංගුලිමාල හාමුදුරුවෝ දකින රජවරු, ගම් වැසියන්, රට වැසියන් බියට පත්ව, නිවැසියන්ගේ දොරගුළු වසාගත්තා. එක්තරා දවසක දරු ප්‍රසූතියකට සූදානම් මාතාවකට, අංගුලිමාල තෙරණුවන් අසීමිත කරුණා ගුණ බලයෙන් කළ ආශිර්වාදය මහත් අස්වැසිල්ලක් වුණා. මේ පුවත ගමේ රටේ පතල වීමෙන් එදා සිටම අද දක්වාම අංගුලිමාල පිරිත භාවිතා වීම සුවිශේෂී වෙයි.

හිංසක වූ අංඟුලිමාල අහිංසක වූවානම් ඔබ අප හැමෝටම මෛත්‍රිය භාවනාව දියුණු කළ හැකියි. අරහං බුදු ගුණ බලයෙන් මම වෛර නොවෙමි. මම තරහ නොවෙමි. මම නිදුක් වෙමි. මම නිරෝගී වෙමි. මම සුවපත් වෙමි. සම්මා සම්බුද්ධ බලයෙන් මම වෛර නොවෙමි. මම තරහ නොවෙමි. මම නිදුක් වෙමි. මම නිරෝගී වෙමි. මම සුවපත් වෙමි. යනුවෙන් බුදු ගුණ නවයම එකිනෙක මුලට යොදාගෙන ඉහත සඳහන් සේ තමන්ටම මෛත්‍රිය පතුරුවා ගන්න. එය පළමු පියවරයි.

අනන්ත බුදු ගුණ, අනන්ත දහම් ගුණ, අනන්ත සඟ ගුණ සිතමින් තමන්ගේ ගුණත් සිතා තමන්ටම මෛත්‍රිය කරමින් තමන්ගේ සිතේ පිරී තිබෙන තරහ, වෛර , ක්‍රෝධ, ඊර්ෂ්‍යා ගළවා දමන්න. මෙලෙස මෛත්‍රිය වඩන්නාට ධ්‍යාන අවස්ථාව දක්වා දියුණු වෙන්න පුළුවන්.

මෛත්‍රී භාවනාව තමන්ම අත්හදා බලන්න. මඟ තොට යද්දී , නින්දට යනතුරා, සියවරක් හෝ තමන්ටම මෛත්‍රී කිරීමෙන් ලැබෙන අනුසස් කෙතරම් බලගතුදැ’යි බලන්න. හැම හදවතකම මෛත්‍රී භාවනාව පිබිදුණොත් තමන්ටම ලැබෙන පිහිට අපමණයි.

එතරම් බලගතු, ශ්‍රේෂ්ඨ, ආනුභාව සම්පන්න වූ මෛත්‍රී භාවනාවෙන් ලැබෙන ආනිසංස බහුලයි. නින්ද නොයන්නන්ට නින්ද යයි .කල්වේලා ඇතිව අවධි වෙයි. නපුරු සිහින නොදකියි, මිනිසුන්ට පි‍්‍රය මනාප වෙයි. දෙව් රැවරණය හොඳින් ලැබෙයි, සිත වහා සමාධි ගත වෙයි. ගිනි-වස-විස-අවි ආයුධ වලින් මිය නොයයි. රූප කලාප අවධිවී ශරීරය පැහැපත්ව සිහි නුවණින් අවසන් ගමන් ගොස් මරණින් මතු දෙව්ලොව, බඹලොව උපත ලබයි.

 

පොසොන්
අව අටවක පෝය


පොසොන් අව අටවක පෝය ජුනි 17 වන දා සෙනසුරාදා පූර්ව භාග 05.15 ට ලබයි. 18 වන දා ඉරිදා පූර්ව භාග 04.38 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 17 වනදා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය
ජුනි 23 වන දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01

Full Moonපසෙලාස්වක

ජූලි 08


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]