UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං


 

මල්වතු මහා විහාර කාරක සංඝ සභික පදවියෙන් පිදුම් ලැබූ

ඇතිපොල බුද්ධරක්ඛිත හිමි

අම්පිටිය දළුක්ගොල්ල රජමහාවිහාරය, උඩුනුවර කැලියැල්පිටිය පුරාණ විහාරද්වයාධිපති, මහනුවර මල්වතු මහා විහාරවාසී උඩුනුවර සහ උඩපළාත ප්‍රධාන සංඝ නායක ඇතිපොල සද්ධර්ම කීර්ති ශ්‍රී ධර්මරක්ෂිත බුද්ධරක්ඛිතාභිධාන හිමි මල්වතු මහා විහාරපාර්ශ්වයේ විංශත්වර්ගික කාරක මහා සංඝ සභාවේ කාරක සභික පදවියට මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මාහිමිපාණන් විසින් පත්කර ඇත.

අම්පිටිය දලුක්ගොල්ල රජමහා විහාරාධිපතිව සිට අපවත් වී වදාළ පණ්ඩිත රඹුක්වැල්ලේ ධර්මරක්ෂිත නාහිමිගේ සහ අලුත්ගම සීලරතන ලොකුහාමුදුරුවන්ගේ ආචාර්යත්වයෙන් 1984 පෙබරවාරි 26 වෙනිදින පැවිදි බිමට ඇතුළත්ව 1984 ජූනි 10 වෙනි දින ඓතිහාසික මල්වතු මහා විහාරයේ මංගල උපෝසථගාරයේ දී උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ලැබූ ඇතිපොල බුද්ධරක්ඛිත හිමි දලුක්ගොල්ල රජමහා විහාරයේ ශ්‍රී ධර්මරක්ෂිත දහම් පාසලේ සහ කැලියැල්පිටිය පුරාණ විහාරයේ ශ්‍රී සෝභිත යන දහම්පාසල්වල ප්‍රධානාචාර්ය වශයෙන් ද මාම්පිටිය ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපති වශයෙන්ද ප්‍රදේශයේ දරු දැරියන්ගේ ධර්ම ඥානය දියුණු කිරීම්වස් කැපවීමෙන් කටයුතු කරන ධර්ම විනයධර සුපේෂල ශික්ෂාකාමී තෙරනමකි. උඩුනුවර මාම්පිටිය ප්‍රදේශයේ පොදු සංවර්ධන කටයුතුවල දියුණුව සඳහා සේවය කරන බුද්ධ රක්ඛිත හිමි සමස්ත ලංකා සාමදාන විනිසුරු වශයෙන්ද සම්මාන ලබා ඇත.

මාතලේ අස්ගිරිය උඩසියපත්තුවේ හිටපු ගම්පති බී.එම්.කේ. බණ්ඩාර සහ බී.එම්. රන්මැණිකේ කුමාරි යන දම්පති යුවල ඇතිපොල බුද්ධරක්ඛිත හිමියන්ගේ දෙමව්පියන් වෙති.


කහල්ලේ ඤාණින්ද හිමි

අනුරාධපුර ථූපාරාමාධිපතිව වැඩ විසූ අනුරාධපුර නුවරගම් පළාතේ ප්‍රධාන සංඝනායක ගල්කිරියාගම සිරිසුමන රේවත සෝරත නාහිමියන් වසර 101 ක් ආයුවළඳා පසුගියදා අපවත්වූයෙන් එම පුරප්පාඩුව සපුරමින් අභිනව ථූපාරාමාධිකාරි වශයෙන් ශාස්ත්‍රපති කහල්ලේ ඤාණින්ද හිමියන් පත්කර ඇත.

මෙම පත්වීම සිදුකරන ලද්දේ අනුරාධපුර අටමස්ථානයේ ගරුතර මහා සංඝරත්නයේ කැමැත්ත පරිදි, අටමස්ථාන කමිටුවේ නිර්දේශය මත ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතුපාර්ශ්වයේ උතුරු මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සෙවනේ (බෝමළුව පන්සල) වැඩ වාසය කරමින් වසර ගණනාවක් උතුම් ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ තේවා කටයුතු මැනවින් සිදු කරමින් මහා පුණ්‍ය කර්මයක නිරතව සිටී, ශාස්ත්‍රපති කහල්ලේ ඤාණින්ද හිමිපාණන් වහන්සේ අනුරාධපුර අටමස්ථානයෙන් එකක් වන ථූපාරාමයේ ථූපාරාමාධිකාරි වශයෙන් පත්කිරීම පිළිබඳ රජරට මහා සංඝරත්නයේ මෙන්ම සැදැහැති බෞද්ධ ජනතාව සතුට පළකර සිටිති.

උතුරු මධ්‍යම පළාතේ, අනුරාධපුර දිසාවට අයත් පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කහල්ල ගම්පියසේ පදිංචි රාජකරුණා මුදියන්සේලාගේ ටිකිරිබණ්ඩාගේ බණ්ඩාරනායක මැතිතුමාට හා ටිකිරිකුමාරි ඒකනායක මැතිනියට දාව 1980.09.12 වැනි දින උපත ලද තරංග ලයනල් රාජකරුණා පවුලේ දෙවැනි දරුවාය.

තරංග ලයනල් මූලික අධ්‍යාපනය ලැබුවේ ආඩියාගල මධ්‍ය මහා විද්‍යාලයෙනි.

පන්සල හා මහසඟරුවන ඇසුරු කළ තරංග දරුවා වෙරලාගල රජමහා විහාරයේ විහාරාධිකාරි ලෙස වැඩවාසය කළ විමලඤාණ නායක ස්වාමීන් වහන්සේගේ ඇසුරට පත්ව උන්වහන්සේ විසින් වයස 9 දී පමණ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිස්ථානය වෙත කැඳවා ගෙන විත් එවක අටමස්ථානාධිපතිව වැඩ විසූ අපවත්වී වදාළ පල්ලේගම ඤාණරතන නාහිමියන්ට බාරකරන ලදී.

අටමස්ථානාධිපති ඤාණරතන නාහිමියෝ තරංග සසුන්ගත කිරීමේ සියලු කටයුතු සංවිධානය කළහ. වයස 10 දී 1991 අපේ‍්‍රල් මස 26 වෙනි දිනට යෙදී තිබුණ සුභ මොහොතින් කහල්ලේ ඤාණින්ද නමින් සසුන්ගත වූහ.

සසුන්ගත වීමෙන් පසු දහම්පොත් ප්‍ර‍්‍රගුණ කිරීම සඳහා එවක අනුරාධපුර ශ්‍රී මහා බෝධිස්ථානයේ වැඩ වාසය කළ වත්මන් අනුරාධපුර ලංකාරාමාධිකාරි, උතුරු මැද පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක රැළපනාවේ ධම්මජෝති නාහිමියන්ගෙන් ලැබුණ පිටුවහල ඤාණින්ද හිමියන් නිතර නිතර කෘතවේදීව සිහිපත් කරයි.

ඤාණින්ද හිමියන් පිරිවෙන් අධ්‍යාපනය සඳහා පොතුහැර චන්ද්‍රසේල පිරිවෙනට ඇතුළත් කරන ලදී. එහි 3 වැනි වසර දක්වා ඉගෙනුම ලැබූ උන්වහන්සේ පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් විය.

විද්‍යාලංකාර පිරිවෙනේ ඉගෙනුම ලබන අවධියේ තම ගුරුදේවෝත්තමයාණන් වන අටමස්ථානාධිපති , පල්ලේගම ඤාණරතන නාහිමියන් අපවත්වූහ. ඤාණින්ද පොඩිහාමුදුරුවන්ගේ ගුරුදේවයාණන් ලෙස කටයුතු කරන්නේද වර්තමාන අටමස්ථානාධිපති, උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් වහන්සේය.

විද්‍යාලංකාර පිරිවෙනේදී පිරිවෙන් අවසානය, ප්‍රාචීන ප්‍රාරම්භයද උසස් පෙළ ද සමත්ව පසුව ශී‍්‍ර ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත්හ. ඤාණින්ද හිමියන් තවදුරටත් අධ්‍යාපනය හැදෑරිය යුතු බවට අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ මෙන්ම රුවන්වැලි චෛත්‍යරාමාධිකාරි, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදි පල්ලේගම හේමරතන නාහිමියන්ගේ තීරණය වූහ.

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේත්, රුවන්වැලි චෛත්‍යරාමාධිකාරි පල්ලේගම හේමරතන නාහිමියන්ගේත් ආශිර්වාදයෙන් කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුලත් වූ ඤාණින්ද හිමියන් මෙහිදී ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමට සමත් වූහ.

2000 දී මහනුවර මල්වතු මහා විහාරයේ උපෝසථාගාරයේදී අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස, රුවන්වැලි චෛත්‍යරාමාධිකාරි ශාස්ත්‍රවේදී පල්ලේගම හේමරතන යන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් උපසම්පදාව ලැබූහ.

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ මගපෙන්වීම යටතේ ඇමරිකාව , ප්‍රංශය, ජර්මනිය, ස්වීඩන්, ගී‍්‍රසිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, ජපානය, රුසියාව, මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දියාව ආදි රටවල ධර්ම දූතකටයුතුවල නිරතව විශාල ආගමික සේවාවක් සිදුකර ඇති ඤාණින්ද හිමියෝ 2017 වසරේ මාර්තු 05 වෙනි දින අනුරාධපුර ථූපාරාමාධිකාරි ලෙස පත්වූහ. මෙම ධූරයට පත්වීමට පෙර බෝමළුව පන්සලේ වැඩවාසය කරමින් ජය ශී‍්‍ර මහා බෝධින් වහන්සේගේ තේවාව නොපිරිහෙලා සිදු කිරීම ඤාණින්ද හිමියන්ගේ ප්‍රධාන කාර්ය විය.


සීදුවේ සුමනවංස නා හිමි

රද්දොළුව අභිනවාරාම පුරාණ විහාරය හා රද්දොළුව සුබෝධාරාම මහා විහාරාධිපතිව වැඩවිසූ අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශ්වයේ සම්මාන අනුනායක රද්දොළුවේ අමරවංස නාහිමිපාණන් වහන්සේ අපවත්වීමෙන් පසුව ස්ව නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නා හිමිපාණන් වහන්සේ ප්‍රධාන ශ්‍රී සුමංගල කාරක සංඝ සභාවේ තීරණය මත රද්දොළුව අභිනවාරාම පුරාණ විහාරයේ නව විහාරාධිපති වශයෙන් පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී සීදුවේ සුමනවංස නාහිමියන් පත්කර ඇත. එම විහාරාධිපති, අධිකාරී පත්‍රය අප්‍රෙල් මස 30 වෙනි දින පැවැති අපවත් වී වදාළ රද්දොළුවේ අමරවංස අනු නා හිමියන් වහන්සේගේ තුන් මාසයේ ශතාධික සඟසතු දානමය පින්කම පැවැති දින මහා නා හිමිපාණන් වහන්සේ විසින් පිරිනමන්නට යෙදුණි.

අපවත්වී වදාළ රද්දොළුවේ අමරවංස අනු නාහිමිපාණන් වහන්සේගේ කනිටු පැවිදි ශිෂ්‍යවරයන් වහන්සේ වශයෙන් 1970 ඔක්තෝබර් මස 31 වෙනි දින රද්දොළුව සුබෝධාරාම මහා විහාරස්ථානයේ දී සසුන් දිවියට පත් වූ සීදුවේ සුමනවංස නාහිමිපාණන් වහන්සේ 1982 සිට රද්දොළුව අභිනවාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී වශයෙන් ද කටාන මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය ලේඛකාධිකාරී, ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ හිටපු ප්‍රධාන ලේඛකාධිකාරී, රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද ජාතික විදුහලේ විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති, මුළු දිවයිනටම සාමවිනිසුරු රද්දොළුගම නිවාස සංකීර්ණයේ ශ්‍රී සුමංගල හා විහාරස්ථ ශ්‍රී ධම්මානන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්ය වශයෙන් ක්‍රියා කරන අතර ප්‍රදේශයේ විවිධ ආගමික, ජාතික හා සාමාජික සමිති සංවිධානවල ප්‍රධාන පැවිදි අනුශාසක වශයෙන් කටයුතු කරමින් සේවා රැසක් ඉටු කරති.

 

පොසොන්
අව අටවක පෝය


පොසොන් අව අටවක පෝය ජුනි 17 වන දා සෙනසුරාදා පූර්ව භාග 05.15 ට ලබයි. 18 වන දා ඉරිදා පූර්ව භාග 04.38 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 17 වනදා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය
ජුනි 23 වන දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01

Full Moonපසෙලාස්වක

ජූලි 08


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]