UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හෝමාගම පුරාණ විහාරයේ පොසොන් මහා පෙරහර

හෝමාගම පුරාණ විහාරයේ පොසොන් මහා පෙරහර

වසර 2500ක් තරම් ඉපැරැණි බෞද්ධ ඉතිහාසයක් හිමි ශ්‍රී ලංකාව බුදුදහමින් ශික්ෂණය ලැබූ දහම් දිවයින යන උදාර යශෝරාවයට හිමිකම් කියන පුණ්‍ය භූමියකි. ගම්, නියම්ගම්, නගර ජනපද සිසාරා මහාබෝ, දැගැබ්, පිළිම ඉදිවෙමින් මිහිඳු මහ රහතන් වහන්සේ ගෙනා බුදුරජුන්ගේ නව දහම් පණිවුඩය ලක්වැසියන් අතර පැතිරී ගියේ එහි ඇති පෙර නොවිඳි නිරාමිස සුවය හේතුවෙනි. මහින්දාගමනයේ ආභාසය හුදෙක් ආගමික අංශය වෙත පමණක් නොව සිංහල සාහිත්‍යය, කලාශිල්පාදී සියලු අංශ වෙත ද නොඅඩුව ගලා ගියේ ය.

අතීත හෙළ රජදරුවන් ලංකා මාතාවගේ විජයග්‍රහණය පිණිස අද්විතීය සේවාවක් ඉටු කළා සේ ම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස ගත් විවිධ ක්‍රියාමාර්ග ගැනත් මහාවංසය ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වෙයි. මහසමුදුර පරයන වැව් තනා ඒ අසලම දාගැබ් තැනුවේ හෙළදිව වැසියන් අර්ථයෙන් හා ධර්මයෙන් පෝෂණය කරනු පිණිසය. තවද දළදා වහන්සේ ලංකාවට වැඩම කරවීමද ලංකා ශාසනික ඉතිහාසයේ තවත් සුවිශේෂ සිදුවීමක් විය. දළදා වහන්සේ මුල් කර ගත් නොයෙක් සංස්කෘතිකාංග එකතුවීම එයින් අප ලද විශේෂ ඵලයකි.

ඒ අනුව ලක්දිව මුල් ම පෙරහර අභයගිරි විහාරය කේන්ද්‍ර කර ගනිමින් ‘දළදා පෙරහර’ වශයෙන් අනුරාධපුර නගරය ඒකාලෝක කරමින් පැවැත් වූ බව මහාවංසය වාර්තා කරයි. අනතුරුව වෙසක්, පොසොන් උත්සව හා ඇසළ පෙරහර උත්සව ලක් රජවරු විසින් ඒ ඒ කාලවලදී පැවැත් වූ බව ඉතිහාසයේ සඳහන් වෙයි. ඇසළ මාසය ඉන්දියාවේ මෙන්ම මෙරටද සැණකෙළි සමයක් ලෙස සලකා කටයුතු කර ඇත. පොසොන් පෙරහර මහින්දාගමනය මුල් කරගෙන පැවැත් වූ අතර මිහිඳු මහ රහතන් වහන්සේ පිදීම එහි මූලික අරුත විය. මිහිඳු හිමියන්ගේ ප්‍රතිමාවක් රැගත් පෙරහර ක්‍රමයක් ගැන සාහිත්‍ය ග්‍රන්ථවල සඳහන් අතර ක්‍රමානුකූල ව එය විශාල සංස්කෘතිකාංගයක් බවට සංවර්ධනය වූ බව මෙහිදී සඳහන් කළ යුතු ය.

හෝමාගම පුරාණ විහාරස්ථානය, ජාතික හා ආගමික සංස්කෘතික පුනර්ජීවනයක් ඇතිකරන හේවාගම් කෝරළේ පිහිටි පැරැණි විහාරස්ථානයකි. එහි, 1960 වසරේදී ආරම්භ කළ පොසොන් පෙරහර මෙවර ද ජුනි මස 17 වන සෙනසුරාදා රාත්‍රී වීථි සංචාරය කිරීමට නියමිතය. පුරාණ විහාරාධිපති සීනාදි සිවුකෝරළේ ප්‍රධාන සංඝනායක විශ්‍රාමලත් උපදේශක මාදෝවිට පඤ්ඤාකිත්ති නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ මහා මහින්දෝත්සව සමිතිය සංවිධානය කරන මෙම පෙරහරට විශාකා කුලඟන සමිතිය, දායක සභාව, සිරි සීවලී දහම් පාසල යන ආයතන සෘජු ව දායකත්වය සපයයි. එපමණක් නොව හෝමාගම ප්‍රාදේශීය සභාව විශාල අනුග්‍රහයක් දක්වන අතර බස්නාහිර පළාත් සභාව ද හේවාගම කෝරළේ මෙම සංස්කෘතික උදානය රැකබලා පෝෂණය කිරීමට දායකත්වය සපයයි. හෝමාගම පුරාණ විහාරස්ථානයට කවදත් අතහිත දෙන හෝමාගම ව්‍යාපාරික ප්‍රජාව මෙම පොසොන් මහ පෙරහර සාර්ථක කර ගැනීමට දක්වන උනන්දුව අමිල වේ.

මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව වැඩම කරවන අතර මහා මිහිඳු ප්‍රතිමාව වැඩම කරවීම මෙම පෙරහරේ විශේෂ අංගයකි. උඩරට, පහතරට, සබරගමු නැටුම්, දිසා පළාත් ධජපතාක, අලි ඇතුන්, දහම්පාසල්, ගුරු ශිෂ්‍ය දෙපිරිසත් නැටුම්, ගැයුම්, භක්තිගීත, ලී කෙළි, ගිනිකෙළි, වන්නම්, බොරු කකුල්, කස ඇතුළු සාම්ප්‍රදායික හා නූතන අංගයන්ගෙන් මෙවර පෙරහර විචිත්‍රවත් වනු ඇත.

පෙරහර නැරඹීමෙන් බෞද්ධ අබෞද්ධ ජනතාවගේ සිත් සුවපත් වනු ඇත. අපේ ආගම දර්ශනයක් වනවා සේම ආගමික රසවින්දනයට ද මං පාදන ජවයක් වන බව මෙම සංස්කෘතික උදානයෙන් අවබෝධ වනු ඇත.

කොළඹ දිසාවේ පවත්වන මෙම පෙරහර ද අඩසියවසකට වැඩි ඉතිහාසයක් හිමිය. හෝමාගම පොසොන් පෙරහර නැරඹීම බෞද්ධ ප්‍රබෝධයක් පමණක් නොව කොළඹට ආසන්න ප්‍රධාන නගරයක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන හේවාගම් කෝරළේ මහා සංස්කෘතිය ප්‍රබෝධයෙන් පිබිදෙන ජනතාව අතරට ඔබ ද එක්වෙනවා ඇත. හෝමාගම පොසොන් පෙරහට බැතිබර දායකත්වය සපයන හැමදෙනාටත් එය සාර්ථක කර ගැනීමට නන් අයුරින් ආධාර උපකාර කරන සියලු දෙනාටත් තෙරුවන් සරණ ලැබේවා ! යි ප්‍රාර්ථනා කරමි.

 

පොසොන්
අව අටවක පෝය


පොසොන් අව අටවක පෝය ජුනි 17 වන දා සෙනසුරාදා පූර්ව භාග 05.15 ට ලබයි. 18 වන දා ඉරිදා පූර්ව භාග 04.38 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 17 වනදා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය
ජුනි 23 වන දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01

Full Moonපසෙලාස්වක

ජූලි 08


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]