UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අවසන් හුස්ම පොද දක්වා...

අවසන් හුස්ම පොද දක්වා...

පුරාණ ආචාර්යන් වහන්සේ ආනාපාන සති භාවනාව සඳහා ගණන් කිරීමේ ක්‍රමයක් හඳුන්වා දී තිබෙයි. හුස්ම වාර එකේ සිට පහක් ගණන් කර නැවත එකේ සිට හය දක්වාත්, එකේ සිට හත දක්වාත්, එකේ සිට අට දක්වාත්, එකේ සිට නවය දක්වාත්, එකේ සිට දහය දක්වාත් වාර හයක් එක හුස්මක්වත් අමතක නොවන සේ ගණනකට භාවිතා කරන්න. ආශ්වාස ප්‍රශ්වාස මොහොතේ ගණන් කිරීමේ ක්‍රමය නිවැරැදිනම් ආනාපාන සතිය ප්‍රගුණ කිරීම පහසුය. ගණන වැරදුණොත් නැවත මුලටම පැමිණ කීප වරක් හෝ ගණන් කිරීමේ ක්‍රමය නිවැරැදිව ආනාපාන සතිය වැඩිය යුතුයි.

නිවසක් ඉදිකරන්න පෙර අපි අඩිතාලමක් දැමිය යුතු වෙමු. එහි සවි ශක්තිය ඇත්නම් නිවස ඉරි නොතලා කලක් රදා පවතීවි. එසේම අනාපානසති භාවනාවට යොදන අඩිතාලම ශක්තිමත්නම් ඉදිරියට ධ්‍යාන අවස්ථා දක්වාම දියුණු කරන්න පුළුවන්. තුනුරුවන්ට වැඳ නමස්කාරකර කය ඍජුව තබාගෙන ගණන් කිරීමේ ක්‍රමය පළමුව කරන්න. ගණන් කිරීම පැහැදිලි නම් ආනාපාන සතියට යොමුවෙන්න පුළුවන්. ඇතැමෙක් හුස්ම පිට කිරීම දෙක, හුස්ම ඇතුළු කිරීම තුන, පිටකිරීම හතර යනුවෙන් වාර සියයකින් පසුව නැවත සියයේ සිට එකට ගණනය කරයි. වැරදුණොත් නැවත මුල සිටම ගණනය කළ යුතුයි. මෙලෙස සිතට ශක්තියක්, දැඩි බවක් ලැබී අනාපාන සතිය වඩන්න පහසු වෙයි. ආශ්වාස ප්‍රශ්වාස දෙක කෙරෙහි පමණක් භාවනා කරන යෝගියා සිහි කල්පනාව පිහිටවූවිට තමන්ට එය හොඳින් දැක ගන්න පුළුවන්. මෙසේ ක්‍රමයෙන් ආනාපාන සති භාවනාවට යොමුවන විට හුස්ම දීර්ඝ බවත් හුස්ම රස්නයෙන් යුක්ත බවත් තමන්ටම දැනේවි. හුස්ම තිබුණත්, නැහැ වගේ සැහැල්ලු ගතියක් තමන්ට දැනේවි. එතරම්ම හුස්ම රැල්ල සියුම්. සිත තැන්පත් වීමෙන් තමන් සැහැල්ලුවට පත්වෙයි. එය බොහොම හොඳින් පුරුදු පුහුණු කළ යුතුයි. පාන්දරම අවදිවී තුනුරුවන් වැඳ නමස්කාරකර උතුරට මුහුණ යොමා කය හේත්තු නොවන සේ ඍජුව තබාගෙන ආශ්වාස ප්‍රශ්වාසයන් හොඳින් කළ යුතුයි. මුලින්ම බොහෝ වේලාවක් අපහසුනම් විනාඩි පහක් තුළ නිවැරැදිව හුස්ම පිහිටුවා තැබුවොත් එය විශාල ජයග්‍රහණයක්.

ආනාපාන සතියෙහි සිත පිහිටුවා නීවරණ පහෙන් ඉවත් වීම සති සම්බොජ්ඣංගයි. මෙය නිවන් සම්පත් සලසන සුදුසු භාවනා ක්‍රමයක්. සිහි කල්පනාව හොඳින් වැඩීමට ඉවහල් වෙයි. එය ධම්ම විචය බෝධි අංගය යනුවෙන්ද හඳුන්වයි. නුවණ හොඳින් වැඩෙන අතර නිවන් පාක්ෂිකව භාවනාව වැඩෙයි. උත්සාහය, සිතේ සතුට, සිතේ ගතේ තැන්පත්කම , මධ්‍යස්ථ ලක්ෂණය හොඳින් ලැබෙන බව ආනාපාන සති භාවනාවෙන් ඉතා හොඳින් තේරුම් බේරුම් කරගන්න පුළුවන්.

බෝසතාණන් වහන්සේ කුඩා අවධියේ උපදවා ගත් ධ්‍යාන දුෂ්කර ක්‍රියා අවස්ථාවේදී විනාශයට පත්වුණා. නැවත උන් වහන්සේ බෝධීන් වහන්සේ සමීපයේ ආනාපාන සති භාවනාව මෙනෙහි කළ යුතු බව තේරුම් ගත්තා. සියලු බුද්ධාදී උතුමන් වහන්සේ දියුණු කරගනු ලැබූ ආනාපාන සති භාවනාව වැඩූ බෝසතාණන් වහන්සේ යටපත්ව තිබූ ධ්‍යාන නැවත උපදවා ගත්තා. පටිච්ච සමුප්පාද යෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ මෙනෙහි කර නව ලොවුතුරා ධර්මය ගුරුවරයෙක් නොමැතිව තමන් වහන්සේම අවබෝධ කළා. එය සන්දිට්ඨික, අකාලික, ඒහිපස්සික , ඕපනයික, පච්චත්තං වේදිතබ්බ විඤ්ඤූහි යන උදාර ගුණයන්ගෙන් සමවිතයි. මෙසේ නව ලොවුතුරු ධර්මය අවබෝධ කළේ බුද්ධගයාවේ සිටයි. එය තමන් වහන්සේට සාක්ෂාත් කර ගැනීමට මූලික පදනම වූයේ ආනාපාන සති භාවනාවයි. එසේනම්, ආනාපානසති භාවනාව පුහුණු කළොත් හොඳ සිහියක් පවත්වා ගන්න පුළුවන්. තමන්ගේ දූ දරුවන්ට ආනාපාන සති භාවනාවෙන් ලැබෙන සිහි කල්පනාව ගැන පහදා දෙන්න.

ආනාපාන සති භාවනාවේ සීමාවට අදාළ ධ්‍යාන සතර වන්නේ ප්‍රථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය සහ චතුර්ථ ධ්‍යානයි.

මෙය පාදක කරගත් උතුමන්ට භාවනා ක්‍රමවලින් අභිඤ්ඤාවන්ට යොමු වන්න පුළුවන්. මෙසේ සිත දියුණු කර ගැනීමෙන්, ධ්‍යාන අභිඤ්ඤා, විදසුන් නුවණ පහළව, විදර්ශනා ඥාන දහයක් සම්පූර්ණ වීමෙන් මූලික අඩිතාලම වැටෙයි. එය පිරිසුදුයි. ගෝත්‍ර වූ ඥානයෙන් පසුව සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් මාර්ග ඵල අවස්ථාවන්ට පත් වෙනවා. එය පාදක කරගෙන ඉදිරියට යන්නන්ට වරදින්නේ නැහැ. එසේනම්, බුදු දහම අනුපිළිවෙළ ඇති දහමක්.

ශීල, සමාධි, ප්‍රඥා වශයෙන් ක්‍රමයෙන් දියුණු කළයුතු දහමක්. ටිකෙන් ටික අධ්‍යයනයෙන් තමාගේ නැණ පමණින් තමාම තේරුම්ගෙන සති, සමාධි, ඥාන දියුණුවෙන් තමාගේ සිත, ගත සකසාගෙන මේ ගමන ඉදිරියට යන පින්වතුන්ට මහා ශක්තියක්, බලයක් ගොඩනංවා ගන්න පුළුවන්.

නිවනට පත්වන අවස්ථාවට සිහි නුවණ ඉතා ප්‍රයෝජනවත් වෙයි. සිහි නුවණ දියුණුවෙන් මාර්ග ඵල අවස්ථාවට පත්වේවි. ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, බණ ඇසීම , ධර්මය මෙනෙහි කිරීම, ධර්මය සජ්ඣායනා කිරීම, භාවනා කිරීම ආදියෙන් සිතේ නැත්පත්කම, සිතේ දියුණුව මෙන්ම මාර්ග ඵල අවස්ථාවට සමීප වෙන්න පුළුවන්. මෙම කරුණු කවුරුත් හොඳින් දැනුවත්ව තමන්ගේ සිත සිහි නුවණට මෙහෙයවන්න මහන්සි ගන්න. සිත සහ නුවණ දෙආකාරයි. සිතින් පහළවන සිතිවිල්ල නුවණයි. එය පහළ වුණොත් කුමන දෙයක් හෝ ශක්තිමත්ව කරන්න පුළුවන්. නුවණ නොමැතිව කරන වැඩකටයුතුවල සාර්ථක ප්‍රතිඵල නැහැ. හොඳින් මතක තබා ගන්න. සිතේ සතුට, නුවණ පහළ කරගෙන තමන් කරන බාහිර , ආධ්‍යාත්මික වැඩකටයුතු නිවැරැදිව සිදු කළ යුතුයි. මේ මඟින් අපේ සිතේ දියුණුව සලසා ගැනීමට පුළුවන්. පින්වත් ඔබත් අවසන් හුස්ම පොද දක්වා, සම්බුදු සසුන පවතින තුරා ආනාපාන සතිය දියුණු කරන්න.

 

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජූනි මස 01 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 06.20 ට ලබයි. 02 සිකුරාදා පූර්වභාග 06.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 01 වන දා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජූනි 8 වන දා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 01

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]