UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමි

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ

මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමි

සීසර් සුදුසිංහ

 

අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසනා කරමින් ඓතිහාසික යුග මෙහෙවරක නිහඬව නිරතවන සසුනඹරේ මහ පහන් ටැඹකි, මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මා හිමිපාණන් වහන්සේ.

දුටුවන්ගේ සිත් පහන් කරවන නිහතමානිත්වයෙන් යුක්තව වැඩවසන මහානායක මාහිමිපාණන් වහන්සේ සසුනඹරට ඉමහත් ආලෝකයකි. ගිහි පැවිදි උභය සමාජයේම මහත් ගෞරවාදරයට පත්ව වැඩවසන උන්වහන්සේගේ මෙහෙවර ආදර්ශවත්ය.

ත්‍රිපිටක ධර්මය ග්‍රන්ථාරූඪ කිරීමෙන් සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ සම්භාවනාවට පාත්‍රවූද, ශාසනභාරධාරී සංඝ පීතෘන් වහන්සේගේ ජාත භූමියක්ද වූ මාතලේ කොහොන්සිය පත්තුවේ තිබ්බටුවාව ග්‍රාමයේදී මහානාහිමිපාණන් වහන්සේ ජන්ම ලාභය ලැබූහ. තිබ්බටුවාව ගම් පියසේ තිබ්බටුවාව වලව්වේ බණ්ඩාරනායක වාසල මුදලි ටිකිරි බණ්ඩාර නිලමේතුමාගේ සහ කරල්ලියද්දේ ඉඩමේ වලව්වේ ලොකු කුමාරිහාමි දම්පතීන්ගේ කනිටු පුත්‍ර රත්නය ලෙස 1944 මැයි මස 30 වන දා එසේ ජන්ම ලාභය ලැබූහ.

මල්වතු මහා විහාරයීය විහාරාංග සංවර්ධනයෙහි සදානුස්මරණීය මෙහෙවරක් සිදුකළ මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති අතිපූජ්‍ය පුරිජ්ජල ශ්‍රී සරණංකරභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාරපාර්ශ්වයේ විසිඑක් වන මහානායක මාහිමිපාණන් වහන්සේ සහ මල්වතු මහා විහාරයීය කාරක සංඝ සංභාන්තරගත තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකරාභිධාන ඓතිහාසික රිදී විහාරයේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1957 ජූනි 16 වන දා මල්වතු මහා විහාරයේ දී උතුම් පැවිදි දිවියට ඇතුළත්වූහ.

අතිපූජනීය අමුණුගම රාජගුරු ශ්‍රී විපස්ස්‍යාභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ විසි දෙවැනි මහානායක මාහිමිපාණන් වහන්සේ, අතිපූජ්‍ය විමලකීර්ති ශ්‍රී සුමන පණ්ඩිත සිරිමල්වත්තේ ආනන්දාභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ විසිහතර වැනි මහානායක මාහිමිපාණන් වහන්සේ, ඓතිහාසික සෝමවතී රජ මහා විහාරාධිපති රාජකීය පණ්ඩිත පහමුණේ ධර්ම කීර්තී ශ්‍රී සරණංකර ගුණානන්ද අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මල්වතු මහා විහාරයීය ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත රඹුක්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මල්වතු මහා විහාරයීය කාරක සංඝ සභික රත්තින්දේ ශ්‍රී අනෝමදස්සි ස්වාමීන්ද්‍රයන් වහන්සේද යන කෘතහස්ත ධර්මාචාර්යයන් වහන්සේලා වෙතින් මහනුවර ශ්‍රී සංඝරාජ පරිවේණස්ථානයෙන් ධර්ම විනය මෙන්ම ශබ්ද ශාස්ත්‍රද හදාරා භික්ෂූන් වහන්සේ නමකට අවශ්‍ය වත් පිළිවෙත් ආදිය පුහුණුවෙමින් වර්ගපටිපාටියෙන් උසස් අධ්‍යාපනය ලැබූහ.

1964 ජූනි 10 වන දා අතිපූජ්‍ය අමුණුගම රාජගුරු ශ්‍රී විපස්සි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් වාහලනාග නාමයෙන් මල්වතු මහා විහාරයීය උපෝසථාගාරයේ දී උපසම්පදාවට පත්වූහ. තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ කුඩා කල සිට දැනුමෙන් සහ ගුණ නුවණින්ද පෝෂණය වෙමින් ශාසනික උසස් තනතුරු ලැබීමට හා දැරීමටද සුදුසුකම් සපුරාලීය.

මල්වතු, අස්ගිරි උභය මහා විහාරයන්හි ගරුතර මහ සඟරුවනට පැවරෙන භාරදූර වගකීම් අතර ජීවමාන බුදුරජාණන් වහන්සේ වන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා සිදුකෙරෙන තේවාව අතිඋතුම් පූජනීය දුර්ලභ අවස්ථාවකි. 1965, 1981, 1991 වසරවලදී එවකට වැඩසිටි අතිපූජනීය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ කාරුණික අනුග්‍රහය ලබා ශ්‍රී දළදා මාලිගාවේ තේවා ධූරයට පත්ව සම්බුද්ධෝපස්ථානයෙහි යෙදී දළදා මාලිගාවෙහි පෞරාණික වත් පිළිවෙත් ආදිය පිළිබඳ මහත් ශ්‍රද්ධා ගෞරවයෙන් මනා පරිචයක් ලැබූහ.

අතිපූජ්‍ය අමුණුගම රාජගුරු ශ්‍රී විපස්සී මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ගරුතර කාරක මහා සංඝ සභාවේ කාරක සභික ධුරයට 1968 සැප්තැම්බර් 25 වන දා තෝරා පත් කරන ලදහ. මල්වතු මහා විහාර පාර්ශ්වයේ කර්මාචාර්ය ධූරයට 1969 දී පත් වූ උන්වහන්සේ ස්වකීය ආචාර්යෝත්තමයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු 1974 දී ඓතිහාසික රිදී විහාරය ඇතුළු විහාරස්ථානයන්හි අධිපතිධූරයට පත්වීමෙන් එම විහාරාරාමයන්හි නව ආලෝකයක් උදා කිරීමට සමත් වූහ.

අතිපූජ්‍ය විමලකීර්ති ශ්‍රී සුමන පණ්ඩිත සිරිමල්වත්තේ ආනන්දාභිධාන මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක මාහිමිපාණන් වහන්සේගේ නියමයෙන් 1979 මැයි 10 වන දා මල්වතු මහා විහාරයීය ගරුතර කාරක මහා සංඝ සභාවේ උප ලේඛකාධිකාරී ධූරයට පත්වූහ. සිරිමල්වත්තේ ආනන්දාභිධාන මහා නාහිමියන්ගේ නියමයෙන් 1985 නොවැම්බර් 09 වන දා ගරුතර කාරක මහා සංඝ සභාවේ ලේඛකාධිකාරී ධූරයට පත්ව ඊට අදාළ සියලු වගකීම් මැනවින් ඉටු කරන ලදී.

මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති රඹුක්වැල්ලේ ශ්‍රී ධර්මරක්ෂිත විපස්ස්‍යාභිධාන මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ විසිපස්වැනි මහානායක මාහිමිපාණන් වහන්සේගේ නියමයෙන් එම සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ධූරයට 1990 දී පත්කොට වදාළහ.

මෙසේ ශාසනික වගකීම් මනා කැපවීමෙන් ඉටු කළ හෙයින් රඹුක්වැල්ලේ ශ්‍රී ධර්මරක්ෂිත විපස්ස්‍යාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සානුනායක කාරක මහා සංඝ සභාව මගින් රඹුක්වැල්ලේ ශ්‍රී ධර්මරක්ෂිත රතනපාල සෝභතාභිධාන අනුනාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ අනුනායක ධූරයට පත් කරගන්නා ලදී.

මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපතිව වැඩ විසූ රඹුක්වැල්ලේ ශ්‍රී ධර්මරක්ෂිත විපස්ස්‍යාභිධාන මහානායක මාහිමිපාණන්වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ මහ පදවිය වන මහානායක ධූරයට 2004 ජූනි 20 වන දා තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පත්කොට වදාළ අතර එම පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය 2004 අගෝස්තු 16 වන දා මහනුවර ඓතිහාසික මගුල්මඩුවේ දී පැවැත්විණි.

ඓතිහාසික රිදී විහාරයෙහි පෞරාණිකත්වය, අති සම්භාවනීයත්වය, පූජනීයත්වය මෙන්ම රමණීයත්වය ආරක්ෂා කරමින් එහි සංවර්ධනය සඳහාද ඇප කැප වී ක්‍රියාකළ ආකාරය ආදර්ශවත්ය. රිදී විහාරයට අයත් කැලේ පන්සල භාවනා මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට කටයුතු යෙදූහ. කුඹුරුලෙන විහාරස්ථානය පිළිසකර කරවන ලදී. 1996 දී ශ්‍රී සිද්ධාර්ථ පිරිවෙන ආරම්භ කර ප්‍රදේශයේ ජාතික ආගමික සේවාවන් සිදු කරන ලදී.

මල්වතු මහා විහාරයීය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මානව සහයෝගිතා පදනම මඟින්ද ආදර්ශවත් යුග මෙහෙවරක් සිදු කර ඇත. අසරණ සරණයෙහි, ගිලානෝපස්ථානයෙහි යෙදෙමින් සුවිසල් සමාජ මෙහෙවරක් ඉතා නිහඩව සිදුකර ඇත. පටුවාද භේද ඉවත ලා මනුෂ්‍යත්වය සළකා අවශ්‍ය පරිදි නිසි අයුරින් නොපැකිලව පිහිටවීම අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවිශේෂී ලක්ෂණයක් වූහ.

කිවයුතු දේ කිවයුත්තා අභිමුවෙහි පැවසීමත්, යහපත් දේ ඇගයීමත් උන්වහන්සේගේ සුවිශේෂී ලක්ෂණයකි. කිසිවිට මහ පදවියෙන් තමන්වහන්සේ බැබළීමට නොව තමන්වහන්සේගෙන් මහ පදවිය බැබළවීමට කටයුතු සලසන අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ මෙම මස 30 වන දා සියදිවි මගෙහි 74 වන වියට පා තබති. සම්බුදු සසුනේ චිරස්ථිතිය කවදත් අගයන අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේට චිරජීවනය පතමු.

 

වෙසක් අමාවක පෝය

 

වෙසක් අමාවක පෝය මැයි 25 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 05.08 ට ලබයි.
26 වනදා සිකුරාදා පූර්ව භාග 01.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 25 වන දා බ්‍රහස්පතින්දාය.


මීළඟ පෝය ජූනි 01 වන දා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 25

First Quarterපුර අටවක

ජූනි 01

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]