UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී දළදා පුරාණය: දළදා වහන්සේගේ අසිරිය

දළදා වහන්සේගේ අසිරිය

ක්‍රි.ව. තුන්වන සියවසෙහි රාජ්‍ය කළ කීර්තී ශ්‍රී මේඝවර්ණ රජතුමාගේ රාජ්‍ය කාලයෙහි හේමමාලාවන් සහ බෑණනුවන් වන දන්ත කුමාරයාත් බ්‍රාහ්මණ වේශයක් මවාගෙන දළදා හාමුදුරුවන් වහන්සේ ලංකාවට වැඩමවාගෙන එන අවස්ථාවෙහි, ගිමන් හැරීමේ අදහසින් එක්තරා ගඟක් සමීපයෙහි නැවතී දළදා හාමුදුරුවන් වහන්සේ ගඟ ඉවුරෙහි වැලි දාගැබක තැන්පත් කරමින් මදක් විෙවික ගත් බව සඳහන් වෙයි.

එම අවස්ථාවෙහි අහසින් වැඩම කළ මහ රහතන් වහන්සේ නමක් වැලි දාගැබෙහි බුදුරැස් විහිදෙන අයුරු දැක එම ස්ථානයට වැඩම කරමින් වන්දනා කර ඒ අසල ගිමන් හරිමින් සිටි හේමමාලා සහ දන්ත කුමරු යන දෙදෙනාගේ තොරතුරු විචාරා ඇත.ලක්දිවට යන ගමනේදී යමිකිසි කරදරයක් උවදුරක් සිදු වුවහොත් තමන් වහන්සේ සිහිපත් කරන ලෙසට මතක් කිරීමෙන් අනතුරුව රහතන් වහන්සේ වැඩම කළ බව සඳහන් වෙයි. අනතුරුව නාග ලෝකයෙන් පැමිණි පණ්ඩුහාර නාග රාජයා දළදා හාමුදුරුවන් වහන්සේ ගිලගෙන තමන්ගේ නාග භවනයට රැගෙන ගිය බවත් කරඬුව සහිත දළදා හාමුදුරුවන් වහන්සේ නොදුටු දන්ත කුමාරයා හා හේමමාලා යන දෙදෙනා රහතන් වහන්සේගේ නම සිහිපත් කළ පසු උන්වහන්සේ නැවතත් නාග ලෝකයට වැඩම කර දළදා කරඬුව වඩම්මවාගෙන ඇවිත් නැවතත් දළදා වහන්සේ බාර කර ඇත. දළදා හාමුදුරුවන් වහන්සේ ලක්දිවට වැඩම කරන අවස්ථාවෙහි මහ මුහුදෙහි නැව් නැඟී ගමන් කරන අවස්ථාවෙහි වටේ තිබෙන රළ පහර සියල්ලක්ම සන්සිඳී ගිය බවත්, නැව වටකරගෙන නාග ලෝකයෙහි සිටි නාගයන් පිරිසක් හත් දිනක් තිස්සේම මල් පූජා කරමින් ආරක්ෂා කරමින් ගමන් කළ බවට තොරතුරු ලැබෙයි. ඉන් අනතුරුව කීර්තී ශ්‍රී මේඝ වර්ණ රජතුමා දළදා වහන්සේ බාරගැනීමෙන් පසු සුදු බුදු රැස් විහිදුවමින් දළදා වහන්සේ පාන ලද ප්‍රාතිහාර්ය දැක සිංහාසන මස්තකයෙහි වඩා හිදුවා සුදුමල් පූජා කරමින් පුද පූජා සිදු කරන අවස්ථාවෙහිත් ප්‍රාතිහාර්ය පාමින් රජතුමාගේ සිත් සතන් පහදවන්නට කටයුතු කර ඇත.

ඉන් අනතුරුව අනුරාධපුර යුගයෙන් පසු දළදා හාමුදුරුවන් වහන්සේ රාජ්‍යයෙන් රාජ්‍යයට රැගෙන ගිය බවට තොරතුරු අනාවරණය වෙයි. පොළොන්නරු රාජධානි සමයෙහි රජවරුන් අතර රාජ්‍ය පාලනය පිළිබඳ විවිධ ආරවුල් ඇතිවුණ අවස්ථාවෙහිදීත් සතුරු බලයන් පරාජයට පත්කරමින් රාජ්‍ය බලය ලබාගත් මහා පරාක්‍රමබාහු රජතුමා තමන්ගේ රාජ්‍ය බලය සම්පූර්ණ වන්නේ දළදා හාමුදුරුවන් වහන්සේ තමන් සමීපයෙහි වැඩසිටියහොත් බවට සිතමින් සිටින අවස්ථාවක සුගලා දේවිය දළදා වහන්සේ දකුණු පළාතට වැඩම කරමින් තිබුණත් , දළදා හාමුදුරුවන් වහන්සේ නැවත වැඩමවා ගෙන ඒමට කටයුතු කර ඇත. ඒ අවස්ථාවෙහි දළදා හාමුදුරුවන් වැඩමවාගෙන පෙරහර යන මාර්ගයෙහි අකාල මහා වැස්සක් ඇදහැලෙන්නට පටන්ගත් බව සඳහන් වෙයි. ඒ අවස්ථාවෙහි රජතුමා මා විසින් සිදු කරනු ලබන්නේ යහපත් ක්‍රියාවක් නිසා එම පෙරහර කිසිම බාධාවකින් තොරව වැඩමකරන්න හැකියාව ලැබිය යුතු බවට කරනු ලැබූ සත්‍යක්‍රියාවකට අනුව දළදා හාමුදුරුවන් වහන්සේ වඩින මාර්ගය හැරුණු කොට පිටතින් පමණක් වැසි වසිමින් මඟ දෙපස තිබුණු දූවිලි ඉවත්කරමින් පෙරහර පවත්වන්නට හැකි ආකාරයෙන් ප්‍රාතිහාර්ය පෑ බව සඳහන් වෙයි. දඹදෙණි යුගයේ රාජ්‍ය කළ දෙවන පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා දළදා වහන්සේට සියලු පුදු පූජාවන් පවත්වන්නේ තමන් වහන්සේට කිසියම් ප්‍රාතිහාර්යක් දක්වන්නේ නම් පමණක් යැයි කියමින් කරන ලද ඉල්ලීමට අනුව ඒ අවස්ථාවෙහිදීම දළදා හාමුදුරුවන් වහන්සේ අහසට පැන නැග දස දිශාවම ඒකාලෝක කරමින් බුදුරජාණන් වහන්සේගේ රූපය මවමින් රජතුමාගේ අතටම වැඩම කළ බවට තොරතුරු ලැබෙයි. ඒ වගේම එම රජතුමාගේ රාජ්‍ය සමයෙහි මහා නියඟයක් හටගෙන ශශ්‍ය,ධාන්‍ය සියල්ලම විනාශව දුර්භික්ෂයක් ඇතිවුණ අවස්ථාවක රජතුමා නාථ මෛත්‍රී ආදී දෙවිවරුන්ට පූජාවන් පවත්වමින් පිරිත් දේශනා කරමින් දළදා හාමුදුරුවන් වහන්සේ මහත් හරසරින් පෙරහරේ වඩම්මවමින් මහා වැසි වසින්නටය කියා අධිෂ්ඨාන කළ අවස්ථාවෙහිත් මහ වැසි ලැබී ගංඟා වැව් අමුණු පිරී ඉතිරී සියලු ධාන්‍යයෙන් ආඩ්‍යව සමෘද්ධිමත් වීමට පටන්ගත් බව අනාවරණය වෙයි.


ශ්‍රී දළදා පුරාණය - 1: උත්තම මුනි දළදා වඩම්මන

 

වෙසක් අමාවක පෝය

 

වෙසක් අමාවක පෝය මැයි 25 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 05.08 ට ලබයි.
26 වනදා සිකුරාදා පූර්ව භාග 01.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 25 වන දා බ්‍රහස්පතින්දාය.


මීළඟ පෝය ජූනි 01 වන දා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 25

First Quarterපුර අටවක

ජූනි 01

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]