UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහරහත් මිහිඳු මා හිමි දැක්ම

මහරහත් මිහිඳු මා හිමි දැක්ම

ශ්‍රී ලංකාව බොහෝ රටවලට සාපේක්ෂව සංස්කෘතිකව වෙනස් රාජ්‍යයකි. එහි බහුතර සිංහලයන්ද, බෞද්ධයන්ද සමඟ සෙසු ජාතීහුද වෙසෙන බව නොරහසකි. එහෙත් මේ සියලු ශ්‍රී ලාංකිකයෝ එකම සංස්කෘතියකට අයත් වෙති . මෙකී එකම සංස්කෘතියකට අයත්වීම නිසාම ශ්‍රී ලංකාව තුළ බොහෝ අර්බුද පැන නොනැඟී පැවතිණි. එකී සංස්කෘතිය ක්‍රමයෙන් තුවාලවීමේ ප්‍රතිඵලයක් වශයෙන් වර්ගවාදී සිතිවිලි ක්‍රියාත්මකව යම් යම් අර්බුද රෙටි පැන නැඟි බවද අපි දනිමු.

තිස්වසරක යුද්ධයකින් පීඩාවට පත් සමාජයක් සිතිය යුත්තේ එකී යුද්ධයට පෙර ශ්‍රී ලාංකේය සමාජයෙහි තිබූ සංහිඳියාව පැවතුණේ කෙසේද? යන්නයි. ඊට ලැබෙන පිළිතුර විය යුත්තේ මිහිඳු මහරහතන් වහන්සේගේ චින්තනය හා දැක්ම සමාජගතව තිබූ නිසා වෙනි යන්නයි. මිහිඳු මහරහතන් වහන්සේ් වඩින්නට පෙරාතුව ශ්‍රී ලංකාවේ විසූයේ ම්ලේච්ඡ ජන සමාජයක්ය යන්න කල්පිතයකි. නූතන අනාවරණය වීම් අනුව, ශ්‍රී ලාංකේය ආදී සමාජය මිහිඳු මහරහතන් වහන්සේට පෙරද ශික්ෂිත හා බොහෝ දියුණු සමාජ ලක්ෂණවලින් සමන්විත සමාජයක්ව පැවති බව දත යුතුයි.යක්ෂ, නාග, ගෝත්‍ර වැනි සමාජ ගෝත්‍රික සමාජ නොවූ බවත්, එකී සමාජයන්හි යම් යම් සමාජමය සාධනීය ලක්ෂණ තිබූ බවත් දැන් දැන් අනාවරණය වන තොරතුරු අනුව පෙනී යයි. මෙයින් පෙනෙන්නේ මිහිඳු මහ රහත් ආගමනයට පෙර, මිහිඳු මහරහතන් වහන්සේ විසින් වෙනස් කරනු ලැබූවද,තරමක දියුණු මානව සමාජයක් මෙහි ස්ථාපිතව පැවැති බවයි. එකී දියුණු මානව සමාජය මිිහිඳු මහරහතන් වහන්සේ විසින් කරනු ලැබූයේ බෞද්ධමය වූ මුහුණුවරකට හැරවීමයි.

එකී බෞද්ධ මුහුණුවරට හැරවීම යනුවෙන් අදහස් කරනු ලබන්නේ ම්ලේච්ඡත්වයෙන් මිදීම යන්න නොවෙයි. ම්ලේච්ඡභාවය නමින් හඳුන්වනු ලබන අතිශය නොදියුණු අකෘතික, අසීලාචාර සමාජයක් මිහිඳු මහරහතන් වහන්සේ විසින් සීලාචාර කරනු ලැබීය යන කියමනට වඩා සත්‍ය වන්නේ වඩාත් යහපත් හා විධිමත් සමාජයක් මිහිඳු මහරහතන් වහන්සේ විසින් නිර්මාණය කළේය යන්නයි.තවත් ආකාරයකින් ප්‍රකාශ කළ හොත් ඉතිහාසය විසින් අපට උගන්වනු ලබන්නාවූ කෑම බීම, ඇඳීම පැලඳීම, ගෘහාශ්‍රිත ජීවිතය සහ කලාව යන සියල්ල මිහිඳු මහරහතන් වහන්සේගෙන් ලැබුූණේය යන නිගමනය තරමක විෙවිචනයකින් හා විචාරාක්ෂයෙන් පරිශුද්ධ කොට වටහාගත යුතු බවයි. මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීමත් සමඟ සමගාමී පිරිස් ශ්‍රී ලංකාවට පැමිණි බව සත්‍යයි. දහ අට කුලයක් පැමිණි බවද සත්‍යයි. එකී දහ අට කුලයම යම් යම් ශිල්පයන් හා ශාස්ත්‍රයන්ට අයත් අය බවද, මිහිඳු මහ රහතන් වහන්සේ්ට සාදාදුන් ප්‍රාසාදය කාලප්‍රාසාදය යැයිද ,ඉන් අනතුරුව ගෘහාශ්‍රිත ජීවිත ඇරඹිණි යැයිද , යන අදහස් කල්පිත අදහස් ලෙසම සැලකිය යුතු වන්නේ එකී උපකල්පනය ප්‍රමාණාත්මක සාධකයක් වශයෙන් ගෙන ඉන් පෙර සමාජය නොදියුණු යැයි තීන්දු කිරීම අශාස්ත්‍රීය බැවිනි. කෙසේ වෙතත් මිහිඳු මහ රහතන් වහන්සේ විසින් කරනු ලැබූයේ මෙකී සමාජය බෞද්ධ සමාජයක් ආකාරයට සකස් කිරීමයි. තවත් අයුරකින් කිවහොත් හුදෙක් ශ්‍රී ලාංකේය සමාජය ආගමානුුකූල සමාජයක් කිරීමයි. ඒ වන විටත් දියුණුවූද,විධිමත්වූද,ඒකීයවූද ආගමිකභාවයක් ස්ථාපිතව නොමැති දේශයක් වශයෙන් එවක ශ්‍රී ලාංකිකයා එකී නූතන දහම වැළඳගත්තේ හෝ එකී දහම සැලකිල්ලට ගනිමින් විය යුතුයි. තවද, රාජකීය ආගමනයක් ලෙස හා රාජකීය පිළිගැනීමක් ලෙස පැවති මෙම නව දහම ශ්‍රී ලාංකේකයන් විසින් ්එවකට පිළිගනු ලබන්නට ඇත්තේ බලාරෝපණයක් වශයෙන් නොව හුදෙක් ශාන්තිකරවූද, විශ්වසනීය වූද, වඩාත් ගැලපෙන්නාවූද, ආගමික ලක්ෂණ සහිත ජීවයක් දර්ශනයක් මේ තුළ අන්තර්ගත යැයි ක්‍රමයෙන් වටහාගත් බැවිනි. ආරම්භයේදී ආගන්තුක පිරිසක් පිළිගන්නා ආකාරයෙන් පිළිගැනුණු මිහිඳු මහරහතන් වහන්සේ ක්‍රමිකව ස්ථාපිත වන්නේ ආගමිකයෙකු ලෙසට වඩා ශාන්තිදායකයෙකු හා ජීවන දර්ශනයක් දේශනා කරන්නෙකු වශයෙනි.

මුලදීම දේශනා කරනු ලැබූ දේශනා පිළිබඳව යම් යම් ඓතිහාසික හා සාහිත්‍යමය මූලාශ්‍රයන්ගෙන් එන තොරතුරු ද පිළිගනිමින් ශාස්ත්‍රීය උපකල්පනයකට බහින්නේ නම්, මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස ශ්‍රී ලංකාව තුළ රාජකීය අනුහසින් ස්ථාවර වෙමින් මහජනතාව අතර ස්ථාපිත වූයේ මහජනතාවට වඩාත් ගැළපෙන හා පිළිගත හැකි දේශනා දේශනා කිරීම හේතුවෙනි. වසර ගණනාවක් ලක්බිමෙහි වෙසෙන අතර මිහිඳු මහරහතන් වහන්සේ්ද පසුව පැමිණි සඟමිත් තෙරණිය ඇතුළු පිරිසද දේශනා කරන්නට ඇති සූත්‍ර සංඛ්‍යාව නම් වශයෙන් සඳහන් කිරීම ශාස්ත්‍රීය නොවේ.ඒ අනුව මිහිඳු මහ රහතන් වහන්සේ විසින් ඇතිකරන ලද භික්ෂු සම්ප්‍රදාය ද සංඝමිත්තා මහරහත් තෙරණිය විසින් ඇතිකරන ලද භික්ෂුූණී සම්ප්‍රදායද මඟින් ලක්දිව පුරා ව්‍යාප්ත වූ සංස්කෘතියක් නිර්මාණය විණි. මෙහිදී භික්ෂූන් වහන්සේ සහ භික්ෂූණීන් වහන්සේ ගේ දැක්ම ජනතාව අතර කිසියම් අයුරක මිනිස් ප්‍රජාවක් අතර විශේෂිත ප්‍රජාවක් දකින්නට ඇත. මේ වන විටත් මිනිසුන් අතර විශිෂ්ට පුද්ගලයන් හෝ විශේෂිත වූ පූජ්‍යයන් පිළිබඳ අත්දැකීමක් නොලද සමාජය වෙනස්වන්නට ඇත්තේ එකී පූජනීය මිනිසුන් පිළිබඳ , අත්දැකීම ලැබීමෙන් විය යුතුය. එහිදී මානව සම්බන්ධතා ඇතිකරගත යුතු ආකාරය , ඥාාතිධර්මතා එක් එක් ඥාාතීන්ගේ විෂමතා විභ්‍යතා හා ගරු කිරීම් මෙහිදී දෙසුම් වශයෙන් අසන්නට ඇත. එහිදී මවුපියන් සොයුරු සොයුරියන් හා දුවා දරුවන් පිළිබඳවද , මානව සබඳතා පිළිබඳවද , තථාගත දේශනා අලුතෙන් අසනා ශ්‍රී ලාංකේයයා වඩාත් කැමැත්තෙන් එකී පවුල් සම්ප්‍රදාය නිර්මාණය කරගන්නට ඇත.

එකී පවුල් සම්ප්‍රදායට මාර්ග දර්ශකය දුන් සංඝරත්නය භික්ෂු භික්ෂුණි යන දෙපාර්ශවයම පූුජනීය වන්නට ඇත. එකී පූජනීයභාවය නිසාම උන්වහන්සේලා මැනවින් සංරක්ෂණය කොට රක්ෂණයකොට පෝෂණය කිරීම තම වගකීමක් යැයි ශ්‍රී ලාංකිකයා සිතුවා වන්නට ඇත. අවසාන විග්‍රහයේදී ශ්‍රී ලාංකිකයා භික්ෂූන් වහන්සේ පදිංචි කරවා ගන්නටත්, එකී පදිංචිය නිසාම යම් යම් ආවාස නිර්මාණය කිරීමටත් ආවාසය නිර්මාණය කරනවා හා සමානව බුදු පිළිම මහ බෝ හා දාගැබ් නිර්මාණය කරන්නටත් පෙළඹෙන්නට ඇත. එකී නිර්මාණය වුණ දිවාරාත්‍රී ඉදිකිරීම් ඇසුරෙන් ලද අවවාද අනුශාසනා නිසා ශ්‍රී ලාංකිකයාගේ සැලකිය යුතු වෙනසක් ඇතිවන්නට උපදෙස් ලැබෙන්නටද ඇත. ඒ අනුව පන්සල සේම ගමද, දාගැබ සේම වැවද, නිර්මාණය වන්නට ඇත. එකී නිර්මාණ සබඳතාව හේතුකොටගෙන මහත්වූ සමාජ විපර්යාසයක් හා සංස්කෘතික වෙනසක් ඇති වන්නට ඇත කෘෂිකර්මාන්තය මූලික කරගත්තාවූද , මව හා පිය කේන්ද්‍රකර ගත්තාවූද,ජනජීවිතය සුහදබව ආස්වාදනය කරන්නාවූද, ඥාාතිත්වය විඳගන්නාවූද සමාජයක් ලෙස වැඩෙන්නට ඇත.මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලාංකේය සමාජය ක්‍රමයෙන් බෞද්ධ සංස්කෘතික ලක්ෂණ සහිත සමාජයක් ලෙස ස්ථාපිත වන්නට ඇත. එයින් අදහස් කරන්නේ බෞද්ධ ආගමික සමාජයක් ලෙස නොව සංස්කෘතික බෞද්ධ සමාජයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථාපිත වූ බව ප්‍රකාශ කිරීමටයි. ඒ අනුව ශ්‍රී ලාංකේය සමාජය සංස්කෘතියක් වශයෙන් බෞද්ධ සුගන්ධයක් අත් කරගන්නේ මිහිඳු මහ රහතන් වහන්සේට පින්සිද්ධ වන්නටයි.

ලංකා භූමිය තුළ වෙසෙන්නාවූ සකල විධ ජන වර්ගයන්ට පොදු ආවේනික ලක්ෂණ සහිත සංස්කෘතියක් නිර්මාණය වී තිබිණි. මෑත සිට ශ්‍රී ලංකාවට අවාසනාවන්ත ලෙස බෝවෙමින් තිබෙන්නාවූුද වර්ගෝත්තමවාදී මතාන්තරයන් විරහිතව ඒත් විිවිධ ජන කණ්ඩායම් ජීවත් වූ ශ්‍රී ලාංකේය සමාජය වර්ගවාදයෙන් භේද භින්න නොවන්නේද, ඔවුනොවුන් ආක්‍රමණය කර නොගන්නේද, මේ කාරණාව නිසා වෙනි. මිහිඳු මහ රහතන් වහන්සේ වැඩසිටි සමාජය පිරිපුන් බෞද්ධ සමාජයක් වී නැත. පිරිපුන් සිංහල සමාජයක් වූයේද නැත. උන්වහන්සේට සමගාමී ආසන්න පසුකාලයෙහි ශ්‍රී ලංකාවට ශුද්ධ සිංහල බෞද්ධ දේශයක්ව තිබුණේ නැත. එහෙත් වර්ගවාදී ලක්ෂණයන්ගෙන් හා වර්ගෝත්තමවාදී මතාන්තරයන්ගෙන් ද දූෂිත වී තිබුණේද නැත. එයින් පෙනී යන්නේ ආක්‍රමණයට හසූ වූ ශ්‍රී ලාංකිකයා පශ්චාත්කාලීනව වර්ගෝත්තමවාදී මතාන්තරයන්ගෙන් පෝෂණය වූවත් ශ්‍රී ලාංකිකයා අවබෝධයෙන් දිවිගෙවූ බවය. ඒ අනුව අද වන විටත් , ශ්‍රී ලංකාව පුරා ව්‍යවසනයක් සේද ,ඉතිරි වු අතුරු පලයන් සේද ඉඳහිටවත් මතුවන වර්ගෝත්තමවාදී මතාන්තරයන් වූ වර්ගාන්තරයන්ද, ගස්ඨනයන් ඇතිකිරීම සඳහා වන කැසකැවීම්වලට පිළිතුරක් ලෙස මිහිඳු සංස්කෘතිය අවබෝධ කර ගැනීම වැදගත් වෙයි. මිහිඳුමහරහත් හිමි දැක්ම වඩවඩාත් ගැඹුරින් අධ්‍යයනය කළ යුතු වන්නේ එය සමීප අතීතයෙහි අමිහිරි අත්දැකීම් දීර්ඝකාලීන අනාගතයෙහි කිසිදිනක අත්නොදැකිය යුතු බැවිනි. මිහිඳු මහරහතන් වහන්සේගේ දැක්ම පිළිබඳ අධ්‍යයනය සරල හා කෙටි වන්නේ නැත. කොටින් කිවහොත් මහින්දාගමනයේ දැක්ම හා මෙහෙවර පාඨ සමීපව අධ්‍යයනය කිරීමෙන් නූතන ශ්‍රී ලංකාව මුහුණදෙන හා මුහුණදීමට නියෝජිත වර්ගවාදයට නිවැරැදි විසඳුමක් සොයාගැනීමට අපහසු නොවනු ඇත.

 

වෙසක් අමාවක පෝය

 

වෙසක් අමාවක පෝය මැයි 25 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 05.08 ට ලබයි.
26 වනදා සිකුරාදා පූර්ව භාග 01.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 25 වන දා බ්‍රහස්පතින්දාය.


මීළඟ පෝය ජූනි 01 වන දා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 25

First Quarterපුර අටවක

ජූනි 01

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]