UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මල් වට්ටියයි මල් මාලයයි

මල් වට්ටියයි මල් මාලයයි

මල් වට්ටිය සහ මල් මාලය මාතෘකා කරගෙන විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ නිවන සඳහා වන මූලික කාරණාවක් පැහැදිලි කිරීමයි.එක වට්ටියක තිබෙන මල් එකකට එකක් වෙනස් බව අප දන්නා කරුණක්. එක වට්ටියක බොහෝ මල් වෙන් වෙන්ව තිබෙන බව දක්නට ලැබුණත්, මල් මාලය එසේ නොවෙයි.

මල් මාලයක තිබෙන සෑම මලක්ම තවත් මලක් සමඟ එකට බැඳී පවතී. ජීවිතයත් පවත්වාගෙන යන විට නිර්වාණගාමි මාර්ගයේදී මෙම මාතෘකාව හෝ මෙම නිදර්ශනය වඩාත් වැදගත් වන්නේ ඇයි? අප කවදා හෝ දවසක ජීවිතය අතහැර දමා යයි. එම අතහැර දමා යන ජීවිතයෙහි ඉතාමත්ම වැදගත් කරුණ නම්, අතහැර දමා යාමට සිදුවන බව තේරුම් ගැනීමයි. අප එකිනෙකා හා එකට ජීවත් වුණත් සැම කෙනෙක්ම අතහැර දමා යාමට සිදුවෙයි.සබ්බං පහාය ගමනීයං යන බුදුරජාණන් වහන්සේගේ නි්‍යායය ධර්මයට අනුව ද අනිච්චා වත සංඛාරා යන නි්‍යායය ධර්මයට අනුවද,එකී සියලු ප්‍රකාශයන් තුළින්ම ප්‍රකාශ වනු ලබන්නේ වෙන වෙනම පුද්ගලයන් ලෙස හෝ කේවල පුද්ගලයන් ලෙස හෝ පුද්ගලයන් සතුව පවතින ව්ඤ්ඤාණයක් ලෙස හෝ පාවෙන විඤ්ඤාණයක් ඇති පුද්ගලයන් වශයෙන් අප වෙන් වෙන්ව ජීවත් වන පුද්ගලයන් බවයි. අපට අම්මා හමුවන්නේ ඉපදුන දවසෙ වුවත් , ඉපදුන දිනට අවුරුද්දකට පෙර මිනිසුන් වශයෙන්ම අප ජීවතුන් අතර සිටියා නම්,අපට වෙන මවක් පියෙක් සහ වෙනම ශරීරයක් වෙන සහෝදර සහෝදරියන් හා ඥාාතීන් හමුවෙලා තිබිය හැකියි. එසේ බලාගෙන යන විට අලුත් ශරීරයක් අප විසින් ලබාගනු ලබන්නේ ද ලැබී තිබූ වෙනත් ශරීරයක් අතහැර දැමීම තුළයි.

උප්පත්තිය ලබන විට පසුගිය ආත්මය තුළ ලැබී තිබුණු කිසිදු පුද්ගලයෙකු හෝ කිසිඳු වස්තුවක් හෝ කිසඳු ධනයක් මෙලොවට රැගෙන එන්නේ නැහැ. එම සියල්ල එකට එකම වට්ටියක තිබුණ මල් වගේ තිබුණාට හුදකලා මලක් සේ අපට ආපසු පැමිණීමට සිදුවෙයි. යම් කිසි තැනැත්තෙකු ජීවතුන් අතර ජීවත්වීෙමිදී අතහැර නොයන සේ බැඳී සිටිනවා නම්,මල් මාලයක මලක් ලෙස බැඳී සිටිනවා වගෙයි. මල් මාලයක තිබෙන මලට ද වෙන්ව යා නොහැකි වන ලෙස එම මල සමඟ තවත් මල් ගොඩක් එකට එක්කාසුව බැඳී පවතී.එසේ වූ විට එම මල් සියල්ලම එකම ගොන්නකට තිබුණත් ,එහි ඇතුළතින් නූලක් දිවෙයි. මල් මාලයක මල් ඇතුළතින් දිවෙන්නාවූ නූලකින් බැඳී එක ගොන්නට තිබුණත් , එම නූල නොපෙනෙන සේ සැඟවී තිබෙයි.මල් පමණක් අපට දක්නට ලැබෙයි. මල් වට්ටියද ඒ ආකාරයෙන් දක්නට ලැබෙයි. මල් වට්ටිය සහ මල් මාලය දෙකම වට්ටි දෙකකට දැමුව හොත් මල් වට්ටිය සහ මල් මාලය අතර වෙනස හඳුනා ගැනීමට නොහැකි වන තරමට පැවතියත්, මල් වට්ටියට වඩා විශේෂයක් මල් මාලය තුළ පවති. ඒ නොපෙනෙන බැඳීමයි. ඒ නොපෙනෙන බැඳීමත් සමඟ පවතින සියලු මල් එක පොඳියට බැඳී පවතින්නේ හුදකලාව වෙන් වෙන් වශයෙන් සිටිය නොහැකි ආකාරයටයි. අපත් එලෙසම බැඳී සිටියි. අප ආදරණීය දරුවන්ටද, ආදරණීය ස්වාමිපුරුෂයාට හා භාර්යාවටද සහෝදර සහෝදරියන්ටද, අම්මා අප්පච්චිටද,ඥාාති හිතෛෂීන්ටද බැඳී සිටියි. එපමණක් නොවෙයි අපගේ බැංකු පොත , වාහනය , ගෙවල් දොරවල් යන අචේතනික සචේතනික වස්තූන් හා බැඳී පවතින්නේ අතහැර දමා යා නොහැකි තරමටයි. ශරීරයෙන් නොබැඳුනත් සිතෙන් සියල්ල හා බැඳී සිටියී. අපගේ ජීවිතය දමා යාමට නොහැකියාව තිබෙන්නේ එම නිසයි .ශරීරයට කිසියම් රෝගයක් වැළඳී එම රෝගය විසින් ශරීරය ප්‍රතික්ෂේප කර ශරීරය හුදකලා කරමින් යවන තැනට සිදුකරනු ලැබුවත්, අපගේ මනසින් අපට යාමට හැකියාව ලබා නොදෙයි.යම්කිසි ආකාරයකට යහපත් සිහිකල්පනාවෙන් යුක්තව ජීවතුන් අතර සිටිනවා නම්, එම යහපත් සිහිකල්පනාවෙන් ජීවතුන් අතර සිටියදී ඔවුන්ගේ දයාබරයන් ආදාරණීයයන්ගේ බැඳීම් මතක් විය හැකියි. අතහැර දමා යා නොහැකි තරතමට දැවැන්ත බැඳීමකින් බැඳී සිටියා නම්,එම මොහොතේදී ෙවිදනාවක් ඇති කර විය හැකියි. එම අවස්ථාවන් තුළ මිනිසුන්ට අතහැර දමා යාමට බැරි වෙයි. නිවන ස්පර්ශ කරගැනීෙමි හැකියාව ලැබෙන්නේද,අතහැර දැමීමට හැකි නම් පමණයි. අතහැරදැමීෙමි හැකියාව මිනිසුන් තුළ තිබිය යුතුම අනිවාර්ය කාරණාවක් වෙයි.අතහැරීම පිළිබඳව යම් ලෙසකින් හෝ කුඩා ප්‍රමාණයක හැකියාවක් තිබූ පමණින් ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා විශාල හැකියාවක් තිබිය යුතුමයි.

දෙනවා සහ අතහරිනවා යනු එකකට එකක් වෙනස් දෙකක් මිස එකක් නොවෙයි. දානය යනු පරිත්‍යාගය නොවන අතර පරිත්‍යාගය යනු දානයද නොවෙයි.දානයට වඩා පරිත්‍යාගය තුළ පවතින වෙනස නම්, පරිත්‍යාගය යනු අතහැරීමයි. දානය යනු දීමයි.සත්‍ය වශයෙන්ම දීම තුළ ගැනීමකුත් නැතිවාම නොවෙයි.

අතහැරීම මනසින් සිදුවන නිසා අතහැරීම තුළ ගැනීමක් නැහැ. ශරීරයෙන් දන් දුන්නත් අතහැර දමන්නේ සිතෙන් වීම එහි විශේෂත්වය වෙයි. දානය ලබාදී යමෙකු දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක සැප සම්පත් හෝ වෙනත් ලැබීමක් බලාපොරොත්තු වනවා විය හැකියි. දීම එක්තරා ආකාරයක ගණුදෙනුවක් වන අතර පරිත්‍යාගය එසේ වන්නේ නැහැ. එම නිසා දීමට වඩා පරිත්‍යාගය වැදගත් වෙයි.ලෝකස්වාමී බුදුපියාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන්නේ රාජ්‍යත්වය, සිංහාසනය කිරීටය තවඅයෙකුට පවරාදී නොවෙයි.උන්වහන්සේ් අතහැරීම පමණක් සිදුකළා. රම්‍ය, සුරම්‍ය, සුභ යන මාලිගාත්‍රයත් සමඟ මහ මාලිගාවද , සිංහාසනය හා කිරීටයත්, රන් අසිපතත්, රාජාභරණත් කන්ථක අශ්වයාත් සිද්ධාර්ථ කුමාරයා විසින් අතහැරියා මිස කිසිවෙකුට ලබාදුන්නේ නැත.උන්වහන්සේ සිතින් අතහැර දැමු නිසා නැවත ගැනීම අවශ්‍ය වූයේ නැහැ.

බොහෝ අවස්ථාවල දීම ශරීරයෙන් සිදුකළත් , අතහැර දමන්නේ සිතෙන් බව අවබෝධ කරගත යුතු වැදගත් කාරණාව වෙයි. සිතෙන් අතහැර දැමීමට හැකියාව තිබෙන පුද්ගලයා තුළ පුදුම තරම් මානසික ශක්තියක් හා ආත්ම විශ්වාසයක් පවතින පුද්ගලයෙක් වෙයි. එම තැනැත්තාට හෝ තැනැත්තියට නිවන් දැකිමට පහසු වෙයි. නිවන ප්‍රර්ථනා කර ලබාගත යුතු දෙයක් නොවෙයි. නිවන තමා තුළ තමා විසින් නිර්මාණය කරගත යුතු දෙයක් මිස තවත් ස්ථානයකින් ආනයනය කිරීමට හෝ ආයෝජනය කොට ලබාගැනීමට වුවමනා කරන දෙයක් නොවෙයි. එම නිසාම නිවන තමන් තුළ වර්ධනය කර ගත යුතු දෙයක් වෙයි. එය හරියට මාංශ පේෂීන් වර්ධනය කරගැනීම සඳහා ව්‍යායාම කරනවා වගෙයි. ගුරුවරයා ව්‍යායාම ඉගැන්වූ පමණින් ඉගෙන ගන්නා වූ ශිෂ්‍යයාගේ මාංශ පේෂීන් වර්ධනය නොවන්නා සේ එය තමා විසින්ම ව්‍යායාම කර ඒ තුළින් ලබාගත යුත්තක් වෙයි .ගුරුවරයාගේ මාංශ පේෂීන්ගේ බලපෑමක් ශිෂ්‍යයාට ඇති නොවෙයි. ඔහු කරනු ලබන්නේද තමාගේ මාංශ පේෂීන් වර්ධනය කරගැනීම සඳහා වන නිවැරැදි නිර්ණායක හා මාර්ගෝපදේශ ලබාදීම පමණයි. නිවනත් එවැනි ආකාරයෙන් තමන් තුළ පවතී. නිවන පවතින්නේද මෙම ශරීරය තුළ වන නිසා එය තමා විසින් සංවර්ධනය කරගත යුත්තක් වෙයි. අතහැරීම මූලික කාරණාවක් වන අතර අතහැර දැමිය යුත්තේද සිතෙන්මයි.

මිනිසුන් සිතෙන් අතහැර දැමුවත් යමි යම් දේ ඔවුන්ගේ ශරීරයට අයිති වී තිබිය හැකියි. තමාගේ වාහනය තමාගේ නමට තිබෙනවා විය හැකි වුවත්, එය සිතෙන් අතහැර තිබෙනවා නම්,එම අතහැර තිබෙන්නාවූ කාරණාවත් සමඟ ඇතැමි විට එය මගේ සිත තුළ ඇලී නොතිබිය හැකියි.ආදරණීය දරුවන් සමඟ එකට ජීවත් වන ප්‍රීතිමත් ජීවිතය වාසනාවන්තයි . දරුවන්ගේ වගකීම් අතහැර කාටවත් ජීවත් වීමට හැකියාවක් නැහැ. ස්වාමිපුරුෂයාට භාර්යාවගේ වගකීම් අතහැර ජීවත් විය යුතු බවට කිසිදු තැනක නිර්දේශ කර නැහැ.එය යහපත් ක්‍රියාවක් නොවෙයි.

දරුවන් සමඟ ආදරයෙන් ජීවත් වන ජීවිතය හරි මනස්කාන්ත වන්නා සේම හරිම සුන්දරයි. හරිම සැනසිලිදායකයි.ඒත් කවදා හෝ දවසක ස්වාමිපුරුෂයාද භාර්යාවද දරුවන්ද අතහැරදමා හුදකලා ගමනක යාමට සිදු වෙයි. අප ආවෙත් තනියම නම්, යන්නෙත් තනියමයි. අපට බොහෝ පිරිසක් හමු වී සිටියත් තමා යන ගමනේ හුදකලා මගියෙක් පමණයි. බස්රථයක බොහෝ මගීන් ගමන් කරන බව ඇත්ත වුවත්,සැම ආසනයකම මගීන් සිටින බව ඇත්ත වුවත්, මම බසට ගොඩවූයේත් අතරමඟින් වන අතර බසයෙන් බැස යන්නේත් අතර මඟින් වෙයි. බසයට ගොඩවූයේත් තනියම නම්, බසයෙන් බැසයන්නේත් තනිවමයි. එම නිසා මෙම හුදකලා ගමනේ හුදකලාභාවයත් සමඟ මම මෙම සියලු දෙනාම අතහැර හුදකලාව වාහනයෙන් බැස යා යුතුයි යන කාරණාව සිත තුළ තබාගෙන යමිකිසි පුද්ගලයෙකු වාහනයක යන්නා සේ තමාගේ පවුල් ජීවිතය ඉතාම වාසනාවන්තව ගතකරමින් සතුටින් සැනසිලිදායකව ජීවත් වන බව සත්‍ය කාරණාවක් . ඔහුගේ සිත ඇතුළත අභ්‍යන්තර මනසෙහි ගැඹුරුම ස්ථානයෙන් සියල්ල දමා යා යුතු බවට තේරුම් ගත යුතුයි. මල් වට්ටියයි, මල් මාලය අතර වෙනස එයයි. මල් වට්ටියක තිබෙන මල් එකට එකක් බැඳී නැහැ.

එකම වට්ටියක එකට සිටි බව සත්‍ය වුවත්, එකම වට්ටියක එකට තිබෙන විට ලස්සන බව ඇත්ත වුවත්, මල් වෙන් වෙන් වශයෙන් ජීවත් වෙයි. මල් මාලය එක වගේ සිටියත් එකට බැඳී එකම ගොඩක සිටියත් , එම බැඳී පවතින්නේ ළඟම මලත් සමඟ පමණයි.ඈත මල් සමඟ බැඳීමක් නැහැ. එම නිසා බැඳීම වැඩිවෙයි. එම නිසා මල් වට්ටියකට නිවන් දැකිය හැකි වුවත්, මල් මාලයකට නිවන් දැකීමට හැකියාවක් නැහැ. එම නිවන තේරුම් ගැනීමටත් නිවන ළඟා කරගැනීමත් සඳහා මල් වට්ටියයි මල් මාලයයි හොඳ නිදර්ශනයක් වෙයි.

 

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 11 වනදා බදාදා අපරභාග 07.51 ට ලබයි. 12 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 05.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 12 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ජනවාරි 19 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 12

Second Quarterඅව අටවක

ජනවාරි 19

Full Moonඅමාවක

ජනවාරි 27

First Quarterපුර අටවක

පෙබරවාරි 04


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]