UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය – 2017: ආදර්ශ ප්‍රශ්නෝත්තර - බුද්ධ චරිතය – අංක 01

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය – 2017:


ආදර්ශ ප්‍රශ්නෝත්තර - බුද්ධ චරිතය – අංක 01

ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න

1 කොටස

1. බුද්ධ කාලීන භාරතීය සමාජය තුළ පැවැති චතුර් වර්ණය නම් කරන්න.

2. ඒ ඒ සමාජ කොටස්වලට වෙන්ව තිබූ කාර්යයන් ලියා දක්වන්න.

3. පුද්ගල ජීවිතයේ සතරාකාර වූ අවධි දැක්වෙන සතර ආශ්‍රම ධර්ම ලියන්න.

4. ජීවිතයේ ඒ ඒ අවධිවලදී ක්‍රියා කළ යුතු අයුරු පැහැදිලි කරන්න.

2.1. බුද්ධ කාලීන භාරතයේ ක්‍රියාත්මක වු රාජ්‍ය පාලන ක්‍රම දෙක නම් කරන්න.

2. එම ක්‍රම දෙක යටතේ පාලනය වූ රාජ්‍ය 02 බැගින් ලියන්න

3. සොළොස් මහා ජනපද ලියා දක්වන්න

4. රාජ්‍ය පාලනයේදී ලිච්ඡවීන් විසින් අනුගමනය කළ සප්ත

අපරහාණීය ධර්ම ලියන්න.

3. 1. ෂඩ් ශාස්තෘවරු නම් කරන්න

2. ඔවුන්ගේ ඉගැන්වීම් වෙන් වෙන්ව ලියා දක්වන්න

3. ඉන් එක් ඉගැන්වීමක් කෙටියෙන් පැහැදිලි කරන්න

4. මහාතිත්ථායතන සූත්‍රයේ සඳහන් බුද්ධකාලීන සමාජයේ

දාර්ශනික පසුබිමතුළ ක්‍රියාත්මක වූ වාද පැහැදිලි කරන්න.

2 කොටස

4.1. සුද්ධෝදන රජතුමාගේ මව සහ පියා නම් කරන්න.

2. සුද්ධෝදන රජතුමාගේ සහෝදර සහෝදරියන් දෙදෙනෙකු ලියන්න

3. සිදුහත් බෝසත් උපත පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්න

4. සිදුහත් බෝසත් චරිතයෙන් ගත හැකි ආදර්ශ පැහැදිලි කරන්න.

5.1. අජපල් නුගරුක මුල වැඩසිටි සිදුහත් බෝසතාණන් වහන්සේට කිරිපිඬු දානය පිළිගන්වන ලද්දේ කා විසින්ද?

2. එලෙස කිරිපිඬු දානය පිරිනැමීමෙන් පසු කළ ප්‍රාර්ථනාව කුමක්ද?

3. චතුරංග සමන්නාගත වීර්ය ලියා දක්වන්න

4. බුදුවීමට පෙර සිදුහත් බෝසතාණන් වහන්සේ දුටු සිහින පහ ලියන්න.

6.1. බුදුරජාණන් වහන්සේ වස් විසූ ස්ථාන 04 ක් නම් කරන්න.

2. බුදුරජාණන් වහන්සේගේ දින චර්යාව ලියා දක්වන්න

3. තාදි ගුණය යනු කුමක්ද?

4. බුදු සිරිතෙන් තාදි ගුණය ප්‍රකට වන අවස්ථාවක් ලියන්න.

3 කොටස

7.1. සිව්වනක් පිරිස නම් කරන්න

2. සැරියුත් – මුගලන් මහරහතන් වහන්සේ දැරූ අගතනතුරු කුමක්ද?

3. ආනන්ද හිමියන් හැර බුදුන් වහන්සේට වරින්වර උපස්ථාන කළ භික්ෂූන් වහන්සේ කවුද?

4. ආනන්ද හිමියන් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලූ වර සතර ලියන්න.

8.1. මහාප්‍රජාපතීගෝතමී මහ රහත් මෙහෙණින් වහන්සේ ලද අගතනතුර කුමක්ද?

2. අෂ්ට ගරු ධර්ම ලියා දක්වන්න.

3. යශෝධරා දේවියගේ මව්පියන් නම් කර ඇය හඳුන්වන තවත් නම් දෙකක් ලියන්න.

4. භික්ෂුණී ශාසනයේ ආරම්භය පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්න.

පිළිතුරු

1 කොටස

1.බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍යය, ශුද්‍ර

2.බ්‍රාහ්මණ, වරප්‍රසාද ලත් පූජනීය පිරිස වූහ. ඉගෙනීම, ඉගැන්වීම, යාගහෝම කිරීම හා කරවීම, රාජ්‍ය අනුශාසනය හා ඇතැම් අවස්ථාවල සෙසු කුලවලට අයත් කෘෂිකර්මාන්තය වෙළෙඳාම ආදි ක්‍රියාවලද යෙදී ඇත.

ක්ෂත්‍රිය :– රාජ්‍ය පාලනය , දන්දීම, යාගකිරීම, ඉගෙනීම, නීති අණපනත් පැනවීම, හා ක්‍රියාත්මක කිරීම,

වෛශ්‍යය :– කෘෂිකර්මාන්තය, වෙළෙඳාම ආදි ආර්ථික සංවර්ධන කටයුතු

ශුද්‍ර:– ඉහත දක්වන ලද උසස් යැයි සම්මත කුලවල මෙහෙකාර සේවය

3.බ්‍රහ්මචාරි ,ගෘහස්ථ, වානප්‍රස්ථ, සන්‍යාස

4.1.බ්‍රහ්මචාරි අවධිය – තරුණවියට පත්වන තුරු මව්පියන් යටතේ චාරිත්‍ර වාරිත්‍ර ඉගෙනීම ඇතුළු අධ්‍යාපනය ලබන කාලය

2.ගෘහස්ථ – විවාහ දිවියට පත්ව රැකියාවක් ආදිය කරමින් අඹුදරුවන් පෝෂණය කරන අවධිය.

3.වානප්‍රස්ථ – පවුල් බරින් නිදහස්ව වනගතව කාලය ගත කිරීම

4.සන්‍යාස – සියලු බැඳීම්වලින් මිදි සංචාරක ජීවිතයක් ගත කරන අවධිය

2.1.රාජාණ්ඩු පාලන ක්‍රමය හා සමූහාණ්ඩු පාලන ක්‍රමය

2.රාජාණ්ඩු – මගධ, වත්ස /සමූහාණ්ඩු – වජ්ජි, කපිලවස්තු

3.අංග ,මගධ, කාසී, කෝසල, වජ්ජි, මල්ල ,චේතී, වංශ, කුරු, පංචාල, මච්ඡ,අස්සක, සුරසේන, අවන්ති, ගන්ධාර, කාම්බෝජ

4.1.නිතර නිතර රැස්වීම

2.සමඟිව රැස්ව සමඟිව කටයුතු කර විසිර යෑම

3.නොපැනවූ නීති නොපැනවීම හා පැනවූ නීති ආරක්ෂා කිරීම

4.වැඩිහිටියන්ට ගරු කිරීම හා ඔවුන්ගේ උපදෙස් පිළිපැදීම

5.කුලකාන්තාවන් ආරක්ෂා කිරීම

6.පූජනීය ස්ථානවලට අවශ්‍ය වතාවත් ඉටු කිරීම

7.පැවිදි උතුමන්ට සැලකීම හා උපදෙස් ලබාගැනීම

3.1.පූර්ණ කස්සප ,මක්කලිගෝසාල, අජිතකේසම්බල, පකුධකච්චායන, සංජයබෙල්ලට්ඨි පුත්ත, නිගණ්ඨනාථපුත්ත

2.1.පූර්ණ කස්සප – අකිරිය වාදි වේ . 2.මක්කලිගෝසාල – නියති වාදිවේ. 3.අජිතකේසකම්බල , භෞතික වාදියෙකු වේ. 4.පකුධකච්චායන –අකිරිය වාදි මෙන්ම භෞතිකවාදි ද වේ. 5.සංජයබෙල්ලට්ඨිපුත්ත – නාස්තිවාදි 6.නිගණ්ඨනාථපුත්ත – පරම අවිහිංසා වාදී

3.නිගණ්ඨනාථපුත්ත විසින් ඉදිරිපත් කළ පරම අවිහිංසාවාදය ෂඩ් ශාස්තෘන්ගේ ඉගැන්වීම් අතර සුවිශේෂි වේ. මහා වීර නමින් හැඳින්වෙන මොහු විසින් ඉදිරිපත් කළ දර්ශනය තුළ වූයේ ඉතා දුෂ්කර වෘත සමාදන්වීමෙන් සියලු කර්ම ගෙවා අවසන් කළ හැකිය යන අදහසයි. චතුයාම සංවර සීලයෙන්ද යුක්ත වේ.

4.ඊශ්වර නිර්මාණවාදය – සියල්ලටම අධිපති ඊශ්වරයෙකු පිළිගෙන ඒ අනුව සියල්ලම විසඳාගැනීම

2.අහේතු අපත්‍ය වාදය – සියල්ල හේතුවකින් තොරව අහේතුකව සිදුවන බව පිළිගැනීම

3.පුබ්බේකත හේතු වාදය – සියල්ල සිදුවන්නේ පෙර කරන ලද කුසල අකුසල කර්ම අනුව යැයි පිළිගැනීම

2 කොටස

4.1.මව:– කාංචනා බිසව පියා :–සිංහහනු රජතුමා

2.ශුද්ධෝදන, ධෝතෝදන ,අමිතෝදන, අමිතා හා ප්‍රමිතා

3.ඇසළ පුර පසළොස්වක පෝය දිනකදී මව් කුස පිළිසිඳගෙන දසමස්, ඇවෑමෙන් පසු දරු ප්‍රසූතිය සඳහා මහාමායා දේවිය සිය මව්පියන් විසු දෙව්දහනුවර බලා යන අතරමඟකදී එනම්, ලුම්බිනි සල් උයනේදී මනාව පිපුණු සල් රුකක් මුලදී බෝසතාණන් වහන්සේ උපත ලැබූහ. එදින වෙසක් පෝය දිනයකි.

4.දක්ෂබව,කාරුණිකබව, ඉවසීම, ගුරු සිත නොරිදා ඉගෙනීම, තමා වෙත පැමිණි අභියෝගවලට ඉතා බුද්ධිමත්ව මුහුණදීම, ආදි කරුණුූ ඇතුළත්කොට පිළිතුරු ගොඩනඟන්න.

5.1සේනානි ගම විසු සුජාතා සිටුදේවිය විසින්

2.මාගේ අපේක්ෂාව ඉටු වූවා සේම ඔබ වහන්සේගේ අපේක්ෂාවද සමෘද්ධිමත් වේවා

3.1. සිරුරේ සම ගැලවී විසිර ගියත් බුදුවී මිස නොනැගිටිමි.

2.සිරුරේ නහර ගැලවී විසිරී ගියත් බුදුවී මිස නොනැගිටිමි

3.සිරුරේ ඇටකටු ගැලවී විසිර ගියත් බුදුවී මිස නොනැගිටිමි.

4.සිරුරේ මස් ලේ විසිර ගියත් බුදුවී මිස නොනැගිටිමි

4.1.මහපොළොව යහනාවක් වී හිමාල පර්වතය තම සයනයෙහි කොට්ටයක් වී එහි සැතපෙන බෝසතාණන් වහන්සේගේ වම් අත පෙර දිග මුහුදේ ද දකුණු අත දකුණු දිග මුහුදේද වූ අතර දකුණු දිග මුහුදේ දෙපා විහිදී තිබුණි.

2.බෝසතාණන් වහන්සේගේ නාභියෙන් රතු ඊතණ ගහක් පැන නැගී අහස පුරා විහිදී යාම

3.කළු හිස් ඇති සුදු පණුවන් රාශියක් පාද මූලයෙන් නැගී දණ හිස දක්වා වසා ගැනීම

4.සිව් දෙසින් පියඹා ආ විවිධ වර්ණයෙන් යුත් ලිහිණියන් සිව් දෙනෙකු එකම සුදු වර්ණයෙන් යුතුව බෝසතාණන් වහන්සේගේ පාද මූලයේ වැටීම

5.මහත්සේ කිළිටි වූ මහා අසූචි පර්වතයක් මුදුනේ එහි නොතැවරි, නොගැටී බෝසතාණන් වහන්සේ ඒ මත සක්මන් කිරීම

6.1.1.බරණැස ඉසිපතනයේ 2.විශාල මහ නුවර කූඨාගාර ශාලාවේ 3.රජගහ නුවර වේළුවනයේ 4.මකුල පර්වතයේ

2.පෙර බත් කිස, පසු බත් කිස, පෙරයම් කිස, මැදියම් කිස, පැසුළුයම් කිස

3.අටලෝ දහමින් කම්පා නොවී ඉවසීමෙන් හා අධිෂ්ඨානයෙන් කටයුතු කිරීම

4.දෙව්දත් තෙරුන්ගේ ක්‍රියා කලාපය, බිම්බිසාර රජු, විශාඛා උපාසිකාව, ආදින් විසින් ආරාම පූජාව, මාගන්ධියා, අක්කෝස භාරද්වාජ ,ආදින් ගේ නින්දා අපහාස කළ අවස්ථාව යන ආදි අවස්ථාවක් පැහැදිලි කර පිළිතුර ගොඩනඟන්න.

3 කොටස

7.1 භික්ෂු භික්ෂුණී උපාසක, උපාසිකා.

2.සැරියුත් මහ රහතන් වහන්සේ – මහා ප්‍රාඥයන් අතරින් අග්‍රස්ථානය

මුගලන් මහ රහතන් වහන්සේ – සෘද්ධිමතුන් අතරින් අග්‍රස්ථානය

3.නාගිත හිමි, උපවාන හිමි, රාධ හිමි මේඝිය හිමි, සාගත හිමි.

4.1.තමා භාරගන්නා ආරාධනාවන්ට බුදුරජාණන් වහන්සේ වැඩම කළ යුතුය.

2.නොයෙක් ප්‍රදේශවලින් බුදු හිමියන් බැහැ දැකීමට පැමිණෙන පිරිස් ඒ වේලාවේ බුදුහිමියන් වෙතට කැඳවාගෙන ඒමට අවසර තිබිය යුතුය.

3.යම් සැකයක් ඇති වූ මොහොතේම බුදුහිමියන් හමු වී එය විමසා දැනගැනීමට අවසර තිබිය යුතුය.

4.තමා නොසිටි අවස්ථාවක දේශනා කළ ධර්මය තමාට නැවත වරක් දේශනා කළ යුතුය.

8.1.චිර රාත්‍රඥයන් අතර අග්‍රස්ථානය

2.1.උපසපන් වී වසර සියයක් ඉක්ම ගියත් එදින උපසපන් භික්ෂුවට ගරු කළ යුතුය.

2.භික්ෂුණිය භික්ෂූන් නොමැති පෙදෙසක වස්නොවැසිය යුතුය.

3.අඩමසකට වරක් භික්ෂුණිය භික්ෂූන් මුණගැසී පොහොය විචාරීම, අවවාද ලබාගැනීම කළ යුතුයි.

4.භික්ෂුණිය වස් අවසානයේ උභතෝ සංඝයා ඉදිරියේ පවාරණය කළ යුතුයි.

5.භික්ෂුණිය අතින් දැඩි වරදක් වූ කල්හි උභතෝ සංඝයා ඉදිරියේ දෙපෝයක් මානත් පුරා අබ්භාන විනය කර්ම කළ යුතුයි.

6.භික්ෂුණිය උපසම්පදාවට පෙර අවශ්‍ය ප්‍රතිපත්ති සික්ඛමානාවක වශයෙන් දෑ අවුරුද්දක් ප්‍රගුණ කොට උභතෝ සංඝයා ඉදිරියෙහි උපසම්පදාව ලබාගත යුතුය.

7.භික්ෂුණියක් කිසිම හේතුවක් නිසා භික්ෂුවකට අක්‍රෝස නොකළ යුතුයි.

8.භික්ෂුණිය භික්ෂූන්ට අවවාද නොකළ යුතු අතර භික්ෂූන් විසින් දෙන අවවාද පිළිපැදිය යුතුයි.

3.පියා – සුප්පබුද්ධ රජු මව –අමිතා දේවිය

වෙනත් නම් – භද්දකච්චායනා ,බිම්බා දේවිය

4.භික්ෂු සමාජය අරඹා වසර 05කින් භික්ෂුණී ශාසනය ඇතිවේ.

පැවිදි වීමට මහා ප්‍රජාපතීගෝතමී දේවිය ප්‍රමුඛ කාන්තාවන්ගේ බලවත් ඉල්ලීම තුන් වතාවක් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළහ.

පසුව ආනන්ද හිමියන්ගේ මැදිහත්වීම යටතේ අෂ්ට ගරු ධර්ම පනවා කාන්තාවන්ට පැවිදි වීමට අවස්ථාව ලබාදුන් අතර එයින් භික්ෂුණී ශාසනය ඇතිවිය.

අග්‍රශ්‍රාවක මෙන්ම අග්‍රශ්‍රාවිකාවන්ද පත්කළ අතර සුවිශේෂී දක්ෂතා ඇති භික්ෂුණීන් වහන්සේලාට භික්ෂූන් වහන්සේලාට මෙන්ම අගතනතුරු ප්‍රදානය කොට ඇත. (මේ කරුණු විස්තර කරමින් පිළිතුර ගොඩ නගන්න)

 

දුරුතු පුර අටවක පෝය

දුරුතු පුර අටවක පෝය ජනවාරි 05 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.00 ට ලබයි. 6 වනදා සිකුරාදා අපරභාග 12.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 05 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ජනවාරි 12 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 05

Full Moonපසෙලාස්වක

ජනවාරි 12

Second Quarterඅව අටවක

ජනවාරි 19

Full Moonඅමාවක

ජනවාරි 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]