UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

සිරිපා සමය

සෑසී හිමගෙ උත්තම වූ පහස ලද
ආසී ලබාගනු වස් අපි නොයෙද ලෙද
දේසී සිරිත් පිළිපදිමින් සතුට විඳ
පෑසී වඳිමු සිරිපාදේ සුවඳ මැද

වෙසක් පොහොය ගත වෙන තෙක් යන ගමන
ඇසක් සැමගෙ මේ දෙසයති බැති හමන
දොසක් රහිත ජන පෙළ සුන් හැකි පමණ
බසක් කුමට බුදු රැස් විහිදේ ! හමන

සමනල රෑන් පෙරහර ලෙස යන සෑදී
අමතක කළ හැකිද දසුනින් මල් පූදී
නිම නැත මහිම සුරිඳුන් නරඹන පෑදී
දමනය වෙන්නේ රුපු සෙන් වුව හිත වාදී

විකසිත වෙමින් සුවඳින් මල් පාර දිගේ
බැති සිත ඔකඳ වෙන සඳ හද තුළට හැඟේ
පොත පත තුන් සරණ කියවා නිබඳ අගේ
නිති සෙත ලැබේ සිරිපා සමයෙන්ම නැඟේ

සෝමතිලක රාජදාස


සමනොල අසිරිය

සාධු සාධු සාධු හඬයි දසත ඇසෙන්නේ
අත්වැල් බැඳගෙන හැමදෙන පේළි හැදෙන්නේ
කිරි කෝඩුයි දඬු කෝඩුයි පෙරටු කරන්නේ
මත් වී සැමදෙන සිරිපා වඳින්න යන්නේ

සතියක් පේවි සුදු පිරුවටෙන් සැරසිලා
තෙල් මල් සඳුනුත් ඔලගුව ජයට පුරවලා
සුමන සමන් දෙවිඳුන්ගේ පිහිට පතාලා
කරුණාවයි සිරිපද නමදිමු සැම එක්වීලා

සමන් දෙවිඳු පිහිට පතා පඬුරු බඳින්නයි
සීත ගඟුලෙ නා පිරුවට ගත දවටන්නයි
තුන් සරණේ ගුණ සිහිකර හෙලේ නඟින්නයි
කරුණාවයි සම්බුදු ගුණ මෙනෙහි කරන්නයි

උඩ මළුවේ සිරිපද මත නළල හොවාලා
වඳිමු බැතින් තුන් සරණේ ගුණ සිහි කරලා
සසර ගමන් මඟ කෙටිවී නිවන් පතාලා
අපිත් වඳිමු මුනි සිරිපද සාධු තියාලා

හේමා කුඹුරේ ගෙදර
වත්තේගම


මගේ පැතුම

සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ආදී
නොගොසින් බෙදුමකට සමඟිව සිත් පෑදී
සතුටින් වෙසෙන්නට ලැබු නව වසරේදී
බුදු ගුණ පිහිට වේවා නව අරහාදී

කල් වැසි ලැබී කෙත් වතු පල බර වේවා
අදමිටු කුහක මිසදිටු ගති දුරු වේවා
පාලනෙ දැහැමි වී සත සිත සැනසේවා
හිමි දෙසු දැහැමි මඟ දුදනට වැට හේවා

ගොකරැල්ලේ
ජිනවංශ හිමි


බුදුසරණ

දම් දෙසුම් රැසක් මෙන
දම් දැනුම ලබා දෙන
සුවඳ දසතම හමන
පත්තරය බුදු සරණ

සැම සතර පොහොය දින
දම් පඬුර ලෙසින් එන
පිටු රැසක් ලබා දෙන
සැම පිටුව ඵලක් දෙන

අකුසලෙන් වළක්වන
කුසලයට යොමු කරන
යහමගම කියා දෙන
ඔබයි මිතුරා කලණ

සැම සිතට සරණ වන
රට දැය සමය ද රකින
නොනිව් සදහම් පහන
පත්තරය බුදු සරණ

දෙහිවල, සරණංකර පාරේ ,
 අසුන්තා අමරසේකර


වඳිමු මුනි සිරිපා

පෙරටුව නඩේ ගුරු තබමින් මුල පුරනා
සරණය තෙරුවනේ කවි ගායන කරනා
කරට ගෙන සැහැල්ලුව බව අත් හරිනා
පරම සැපය ලෙස ගෙන කරුණා කරනා

සීත ගඟුලෙ දිය නාගෙන යන කලටා
දෑත දෙපයෙ වාරුව ලැබ දෙයි සැමටා
ඈත මළුව ළං ළං වන විට සිතටා
වීතරාගි බුදු පා සිහිවෙයි සොඳටා

මගේ ලොවට බොදු සමයෙන් එළිය ගෙනා
වගේ දෙයක් නැත තව ශ්‍රී පාදෙ විනා
අගේ ඇතිව මා සිත පොබයන එතැනා
නැගේ හදෙහි දසුනක් දෙව් ලොවක් මෙනා

සමන් දෙවිඳු ඔඑද තෙද රැකවල ඇත්තේ
බුදුන් වැඩිය සමනොල අඩවිය පැත්තේ
එරන් පතුල වැඳුමට අප යා යුත්තේ
පසන් සිතින් මිස නොම බහුරූ මත්තේ

ආචාර්ය
සෝමරත්න හේවා කිරිඳිවැල


මහළු මඩමේ ගීතය

ඇත රස අහර
සුව යහන්
රැකවරණ හා නිසි උවැටන්
එහෙත්...
නැත
දරු සෙනෙහස

ජෝ. නවරත්න
සඳලංකාව


වඳිමි වඳිමි සිරිපාද පියුම්

තිලෝක දීප මුනිඳුනේ
වැඩුව ඥාන බලයෙනි
නෑසු අඳුර භව කතරේ
නිසරු සසර නිමා කළ ,උතුම්
වඳිම් වඳිම් සිරිපාද පියුම්
පාරමිතා වැඩූ බලේ
සත්‍ය ක්‍රියා කළ අගේම
මාර පරාජය කළ ජය
සම්බුද්ධ ඥාන බල ආර්ය
වඳිම් වඳිම් සිරිපාද පියුම්
මහ කරුණා ගුණ වැඩුව
මෛත්‍රි පූර්ණ මුනිඳුනේ
ලෝ සත සැනසුව මෙතේ
ගුණ නොනිමී සම්බුද්ධ බලේ
වඳිම් වඳිමි සිරිපාද පියුම්

සන්ධ්‍යා සුජීවනී ගලප්පත්ති


නව වසරේ දිවි ගෙවමු අපි මෙලෙස

නිවැරැදි දැක්ම ජීවිතයට හුරු කරමු
නිවැරැදි සිහිය යොදවා කටයුතු කරමු
උතුම් මිනිස් දිවියෙන් නිසි ඵල ලබමු
දහමට අනුව නව වසරේ කල් ගෙවමු

ලෝභ ද්වේශ මෝහය නම් ගණ අවිඳු
අඳුර පලවා හැර යුතුමයි හද පිරුණු
එළිය ලබා ප්‍රඥා මැණිකෙන් මහරූ
දිවිය කුසල් සයුරක් කරගමු සොඳුරු

මාලබේ කේ. ඩබ්ලිව් . සිරිසේන


නව අවුරුද්දේ

දස දෙස සමඟියෙ මල් පිබිදේවා
පිස දුක දොම්නස් සතුට වැඩේවා
වස විස තොර ගොවිතැන සරුවේවා
යස ඉසුරෙන් හෙළ දෙරණ පිරේවා

හොඳ වැඩටම නෙත සිත යොමු වේවා
ලද දෙයකින් සතුටට පත් වේවා
ඇද කුද සෙව්මට වෙහෙස නො වේවා
මද හස මල් පෙති දෙතොල පිපේවා

පින් සිතිවිලි හද තුළ ඇති වේවා
දන් පින් කෙරුමට සිත් යොමු වේවා
සම්බුදු හිමි ගුණ සිරස රැඳේවා
රන් සමඟියෙ මිණි මුතු බැබලේවා

දෙදියවල අමරදාස පෙරේරා

 

දුරුතු පුර අටවක පෝය

දුරුතු පුර අටවක පෝය ජනවාරි 05 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.00 ට ලබයි. 6 වනදා සිකුරාදා අපරභාග 12.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 05 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ජනවාරි 12 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 05

Full Moonපසෙලාස්වක

ජනවාරි 12

Second Quarterඅව අටවක

ජනවාරි 19

Full Moonඅමාවක

ජනවාරි 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]