UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං:  පල්ලේගම සිරිනිවාස නා හිමි

පල්ලේගම සිරිනිවාස නා හිමි

අනුරාධපුර අටමස්ථානාධිපති, ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හැටපස් (65) වැනි වියට පා තැබීමේ ජන්ම දිනය නිමිත්තෙනි.

1953 ජනවාරි 02 වැනි දින මාතලේ දිසාවේ පල්ලේගම ගම්පියසේ පල්ලේගම දුක්ගන්නා වලව්වේ කුළුඳුල් පිරිමි දරුවා ලෙස උපත ලද සිරිනිවාස නාහිමියන්ගේ පියා දුක්ගන්නා වලව්වේ ටිකිරි බණ්ඩාර නිලමේතුමාය. මව දුක්ගන්නා වලව්වේ අනුලා කුමාරිහාමි මාතාවය.

හත් වැනි ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය ලබා 1968 දී අනුරාධපුර රුවන්වැලි මහා චෛත්‍යාරාමයට පැමිණ එවක අටමස්ථානාධිපතිව වැඩ විසූ උදුරුව හල්මිල්ලෑව ශ්‍රී රේවත නා හිමියන්ගේ අනුමැතියෙන් පල්ලේගම ධම්මරක්ඛිත නාහිමියන්ගේ හා පල්ලේගම ඤාණරතන හිමියන්ගේ ආචාර්යත්වයෙන් පල්ලේගම සිරිනිවාස නමින් සසුන්ගත විය. භික්ෂු අධ්‍යාපනය සඳහා අනුරාධපුර මහා විහාර පිරිවෙනට ඇතුළත් කිරීමට ධම්මරක්ඛිත ලොකු හාමුදුරුවෝ කටයුතු කළහ.

සිරිනිවාස පොඩි හාමුදුරුවන්ගේ ජීවිතයේ පළමුවැනි සදානුස්මරණීය සිදුවීම වූයේ ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පළමු රන් වැටේ ප්‍රථම රන්කණුව ස්ථාපනය කිරීමේ අවස්ථාවේදී සෙත්පිරිත් සජ්ඣායනා කිරීමේ පුණ්‍යවන්ත අවස්ථාව උන්වහන්සේට ලැබීමයි. එකල ජයසිරි මහා බෝසමිඳුන්ගේ තේවාව සිදුකළේ ද සිරිනිවාස පොඩිහාමුදුරුවන් ය.

1971 දී මාළිගාකන්ද විද්‍යෝදය මහපිරිවෙනට ඇතුළුවී එහි අධ්‍යාපනය ලැබීමෙන් පසු සඳලංකාව ශාස්ත්‍රෝදය පිරිවෙනට ද ඇතුළත් වූහ. මෙහිදී සාමාන්‍ය පෙළ විභාගය ඉතා ඉහළින්ම සමත්විය.

1975 දී වෙසක් මස 06 වැනි දින ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර උපෝසථාගාරයේ දී හේරත් හල්මිල්ලෑවේ රේවත, පල්ලේගම ධම්මරක්ඛිත, පල්ලේගම ඤාණරතන යන නාහිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් උපසම්පදාව ලැබූහ. 1977 නොවැම්බර් 20 වෙනි දින අටමස්ථානාධිපතිව වැඩ විසූ උදුරුව හල්මිල්ලෑවේ ශ්‍රී රේවත නාහිමියන් අපවත් වූයෙන් අටමස්ථානාධිපති ධූරයට පත් වූයේ පල්ලේගම ඤාණරතන හිමියන් ය. අභිනව අටමස්ථානාධිපති ඤාණරතන නාහිමියන්ගේ ඉල්ලීම පරිදි රුවන්වැලි මහා සෑයේ වැඩබලන විහාරාධිකාරී හිමියන් වශයෙන් මාස තුනක් පමණ බොහෝ කැපකිරීමෙන් කටයුතු කිරීමට සිරිනිවාස හිමියන්ට සිදුවූහ.

මේ අතරතුර හුණුපිටියේ ගංගාරාමයට වැඩම කළ සිරිනිවාස හිමියන් එහි සිට උසස් පෙළ පන්තිවලට සහභාගි වෙමින් ඉගෙනීමේ කටයුතු නැවත ආරම්භ කළේ ය. එහිදී අධ්‍යාපන කටයුතු කරන අතර තුරදී අටමස්ථානාධිපති ඤාණරතන නාහිමියන්ගේ ඉල්ලීමකට අනුව බෝමළුව පන්සලට නිත්‍ය වාසය සඳහා වැඩම කළහ.

බෝමළුව පන්සලට පැමිණීමත් සමඟම දිනපතා උදේ සවස ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමේ දුර්ලභ වාසනාව හිමිවිය. උන්වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයට 1984 දී ඇතුළු වී ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත්හ.

පසුව අටමස්ථානාධිපති නාහිමියන්ගේ ඉල්ලීමකට අනුව මිරිසවැටිය චෛත්‍යාරාමයේ විහාරාධිකාරී ලෙස උන්වහන්සේ පත් කෙරිණි. 1989 දී මිරිසවැටියේ වස්වැසීමට උන්වහන්සේ තීරණය කළහ. 1990 දී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝධීන් වහන්සේ නමක් තායිලන්තයේ තෙන්නායිහි විහාරයකට වැඩම කරවීමට කටයුතු සංවිධානය කෙරුණේ ය. ඒ ගමන සඳහා අටමස්ථානාධිපති නාහිමියන් තේරාගත්තේ සිරිනිවාස හිමියන් ය.

1993 පොසොන් පුන් පොහොය වන විට මිරිසවැටිය චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන්ව කොත නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය සූදානම් වෙමින් තිබුණේ ය. එවකට ජනාධිපති ආර්. ප්‍රේමදාස මැතිතුමා අතින් කොත්වහන්සේ නිරාවරණය කිරීමට නියමිතව සිටිය ද එතුමාගේ හදිසි අභාවයෙන් පසු කොත නිරාවරණය කිරීම ඉන්පසු ජනාධිපති පදවියට පත් වූ ඩී.බී. විජේතුංග මහතා අතින් 1993 ජූනි මස 04 වැනි දින සිදු කෙරුණි. විජේතුංග ජනාධිපතිතුමා උන්වහන්සේට සංඝාවාසයක් තනාදීමට ඉදිරිපත්වී එහි වැඩ ආරම්භ කළේ ය.

1994 වසරේ දී අභයගිරිය චෛත්‍යාරාමයේ වැඩ විසූ පෙරිමියන්කුලමේ උපතිස්ස ලොකු හාමුදුරුවෝ අපවත්වී වදාළහ. පසුව අටමස්ථානාධිපති ඤාණරතන නාහිමියන්ගේ බලවත් ඉල්ලීමකට අනුව සිරිනිවාස හිමියන්ට අභයගිරිය චෛත්‍යාරාමයට වැඩම කිරීමට සිදුවූහ. මෙහිදී සිරිනිවාස හිමියන් අභයගිරිය පන්සලේ පැවති ජල ප්‍රශ්නය පළමුවෙන්ම විසඳූහ.

සිරිනිවාස හිමියන්ට අභයගිරියේ වැඩ සිටීමට සිදුවූයේ වසරක් පමණි. 1995 දී රුවන්වැලි මහා සෑයේ විහාරාධිකාරීව වැඩ විසූ ඇතිනිමලේ ගුණරතන ලොකු හාමුදුරුවෝ අපවත්වී වදාළහ. ඉන්පසු අටමස්ථානාධිපති නාහිමියන් විසින් සිරිනිවාස හිමියන් රුවන්වැලි මහා චෛත්‍යය රාමාධිකාරී ධූරයට පත් කරන ලදහ.

1995 දී මල්වතු මහා විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභාව විසින් සිරිනිවාස හිමියන් උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක පදවියට පත්කෙරුණේ මහත් ගෞරව බහුමානයෙනි. ඒ ගෞරවනීය පදවිය ලැබීමත් සමඟම පල්ලේගම සිරිනිවාස හිමියෝ පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නාහිමි නම් වූහ.

පල්ලේගම ඤාණරතන අටමස්ථානාධිපති නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු අටමස්ථානාධිපති ධූරයට ඊළඟ සුදුස්සා වූයේ සිරිනිවාස නාහිමියන්ය. අටමස්ථාන කාරක සභාවේ අවසන් තීරණයෙන් පසු අටමස්ථානාධිපති ඉතිහාසයේ එම උත්තරීතර පදවියට පත්වුණු ළාබාලම භික්ෂූන් වහන්සේ බවට සිරිනිවාස නාහිමියන් පත්වී සිටියහ. ඒවන විට උන්වහන්සේ 44 වැනි වියෙහි පසුවූහ.

1997 ජූලි මස 05 වෙනි දින පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස අභිනව අටමස්ථානාධිපති නාහිමියන් නිල වශයෙන් බෝමළුව පන්සලට වැඩම කරවන ලදී. අටමස්ථානාධිපති පදවිය පිළිබඳ අක්ත පත්‍රය සහ විජිනිපත සිරිනිවාස නාහිමියන්ට ගෞරව බහුමානයෙන් යුක්තව පිළිගන්වන ලද්දේ එවක ජනාධිපතිනියව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය විසිනි.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ සඳහා දෙවැනි රන් වැට තැනීමට මූලික අඩිතාලම වැටුණේ 1999 නිකිණි මස 20 වැනි දිනය. විවිධ පරිත්‍යාග තුළින් රන්වැට අරමුදල ක්‍රමයෙන් වර්ධනය වුවත් එය සිදුවූයේ මන්දගාමීවය. ක්‍රමයෙන් 2001 වසරේ මහමැතිවරණය ළඟාවිය. රනිල් වික්‍රමසිංහ මහතා රටේ අග්‍රාමාත්‍යධූරයට පත්විය. නව අගමැතිවරයා 2002 ජනවාරි මස 26 වැනි දින උඩමළුව වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේ රන්වැට පිළිබඳ කථාව අගමැතිවරයාට සිහිපත් කළෝ ය. ඉන්පසු සිරිනිවාස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් රන්වැට පිළිබඳ උපදේශක සභාවක් පත්කරන ලදී. අරමුදල් හා ඉදිකිරීමේ කමිටුවක්ද පත් කෙරුණේ ය.

අවසානයේ සිරිනිවාස නාහිමියන්ගේ උත්සාහය මල්පල ගන්වමින් රන්වැට නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කෙරුනේ ය. නව රන්වැට සඳහා මුල්ගල තැබීම සිරිනිවාස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් 2002 වෙසක් මස 23 වැනි දින සිදු කෙරුණේ ය. 2003 වෙසක් මස 14 වැනි දින රන්වැට විවෘත කෙරුණි.

සිරිනිවාස නාහිමියන්ගේ ආරාධනයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය මැදිහත්වීමෙන් රුපියල් ලක්ෂ පනහක පමණ වියදමින් බෝ මළුවට පහතින් පිහිටි දේවාල මළුවේ ආරක්ෂක ගේට්ටු පහක් සවිකරන ලදී. ඒ සමඟ දේවාල මළුවේ කළුගල් ඇතිරීමට ලැබීමද රන්වැට ඉදිකර ඉතිරි මුදල් සියල්ල පාලනය සඳහා සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි ‘රන්වැට අරමුදල් පාලක මණ්ඩලය’ පිහිටුවන ලදී.

වර්ෂා කාලයට බෝධීන් වහන්සේගේ පහත වැලිමළුව වතුර පිරීමට පටන් ගන්නා බැවින් වන්දනාකරුවන් මහත් අසීරුතාවයකට පත්වන අයුරු දුටු නාහිමියෝ රාජ්‍ය අනුග්‍රහයද ඇතිව එම ගැටලුවද විසඳීමට කටයුතු සැලසුවේ ය.

ඒ වන විට අග්‍රාමාත්‍යධුරය ඉසිලූ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අනුමැතිය ඇතිව බෝමළුව වටා පිහිටි ශ්‍රී දළදා පෙරහර මාවතද නවීකරණය කරවාගත් සිරිනිවාස නාහිමියෝ 2004 වසර අවසානයේ දී පෙරහර මාවත විවෘත කරවන ලදී.

පිරිවෙන් අධ්‍යාපනය ලබන මහා විහාරයේ භික්ෂූන් වහන්සේලාට පරිගණක අධ්‍යාපනය ලබාදීමේ අටියෙන් මහ විහාර භික්ෂු පරිගණක මධ්‍යස්ථානය නමින් ආයතනයක් පිහිටුවීමටද පෙරමුණ ගත් සිරිනිවාස නාහිමියෝ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාගේ ‘නැණසල’ ව්‍යාපෘතිය ඔස්සේ එය තවදුරටත් සංවර්ධනය කෙළෝ ය.

ඉන්පසු මහා විහාර නැණසල ඔස්සේ ජය ශ්‍රී මහාබෝධිය ඇතුළු අටමස්ථානය පිළිබඳ තොරතුරු සහ ඡායාරූප ඇතුළත් වෙබ් අඩවියක්ද සැලසුම්කර විවෘත කෙරුනේ සිරිනිවාස නාහිමියන්ගේ දූරදර්ශී භාවයේ ප්‍රතිඵලයක් වශයෙනි.

බෝමළුව ප්‍රධාන අටමස්ථානයේ ආරක්ෂාව සහ තේවා කටයුතු තුළ විල්ලිදුර ඇත්තන් ඇතුළු රාජකාරී ශ්‍රේණිවල ජනතාවගේ රාජකාරි යළි විධිමත් කළ උන්වහන්සේ ඒවායේ ප්‍රතිලාභද ඔවුන්ට මැනවින් ලැබෙනසේ සංවිධානය කළහ. ශබ්ද පූජා ආදිය සඳහා මහනුවර ප්‍රදේශයෙන් නව ශිල්පීන් ගෙන්වා පාරම්පරික විහාරගම්වල ඔවුන් පදිංචි කරවීමට උන්වහන්සේ පියවර ගත්හ.

2004 වසරේ ඉල් මාසයේ 12 වැනි දින මහා වර්ෂාවට උඩමළුවේ දේවාල මළුව හෙවත් තුන්වැනි මළුව රැකගෙන සිටි මහා ප්‍රාකාර බැම්ම බටහිර පැත්තෙන් ගලවාගෙන ගොස් තිබුණේ මළුවේ ප්‍රාසාදයක්ද සමගිනි. මහා ප්‍රාකාරබැම්මද වර්තමානයට ගැළපෙන අයුරින් ඉදිකරවා ගැනීමට සිරිනිවාස නාහිමියන්ට වැඩිකලක් ගතවූයේ නැත.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ මැදිහත්වීමෙන් දසදහසකට අධික පිරිසකට රැස්විය හැකි මහාධර්ම ශාලාවක් රජයේ වියදමින් සාදවා ගැනීමට උන්වහන්සේට හැකි විය.

2005 වසරේ වෙසක් මස 08 වැනි දින තායිලන්තයේ චූලාලංකාර රාජ් විශ්වවිද්‍යාලය මඟින් ආචාර්ය උපාධියක් සිරිනිවාස නාහිමියන්ට හිමිවිය.

ජය ශ්‍රී මහාබෝධින් වහන්සේ වෙත එන බැතිමතුන්ට දිනහතක් මුළුල්ලේ බෝධීන් වහන්සේ ළඟටම ගොස් දැක බලා වැඳ පුදා ගැනීමේ උතුම් අවස්ථාව උදාකර දුන්නේ සිරිනිවාස නාහිමියන්ය.

2005 වසරේ නිකිණි මස 23 වැනි දින සිරිනිවාස නාහිමියන් මුල් වී ඉදිකළ උඩමළුවේ දෙවැනි රන්වැටද විවෘත කෙරිණි. සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි උඩුවේ ධම්මාලෝක හිමියන් ප්‍රධාන දානපතීන් පිරිසකගේ මැදිහත්වීමෙන් බෝධීන් වහන්සේට ස්වර්ණමය තහඩුවලින් ආධාරකයක්ද සවිකරන ලදී.

බෝමළුව පන්සලේ අභිනව සංඝාවාසය දැකුම්කළු අයුරින් තැනවීම, බෝධීන් වහන්සේ සඳහා අලුතින් රන් ආධාරක කණු සවිකරවීම, බෝධීන් වහන්සේ වැඩ සිටින පුණ්‍ය භූමිය ඉදිරිපස හා ඒ අවට භූමි භාගයේ තිබූ ඉදිකිරීම් ඉවත්කර එම භූමි භාගය ඉතා අලංකාරවත් අයුරින් සකස් කිරීම සිරිනිවාස නාහිමියන් අතින් සිදුව ඇති තවත් පින්බර මෙහෙවරකි.

අටමස්ථානාධිපති, ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ට උතුම් ජය ශ්‍රී මහා බෝසමිඳුන්ගේ පිහිට හා ආරක්ෂාව ලැබ ඉදිරියේ දී ශාසනය වෙනුවෙන් තව තවත් මෙහෙවරයන් ඉටු කිරීමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු.

 

දුරුතු පුර අටවක පෝය

දුරුතු පුර අටවක පෝය ජනවාරි 05 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.00 ට ලබයි. 6 වනදා සිකුරාදා අපරභාග 12.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 05 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ජනවාරි 12 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 05

Full Moonපසෙලාස්වක

ජනවාරි 12

Second Quarterඅව අටවක

ජනවාරි 19

Full Moonඅමාවක

ජනවාරි 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]