UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

හල්ඔය සිරිසුමන නා හිමි

හල්ඔය සිරි සුමන නාහිමිපාණන් වහන්සේ මහනුවර හල්ඔය ග්‍රාමයේදී 1942 දී නොවැම්බර් මස 29 වන දින ජන්ම ලාභය ලැබූහ. කළුගමුව විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේය. 1956 දී හල්ඔය සිරි විජයාරාම විහාරස්ථානයේදී අම්පිටියේ ආනන්ද හිමියන්ගේ ශිෂ්‍යවරයෙක් ලෙස ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් විය.

උන්වහන්සේ තෙළඹුගල පිරිවෙනින් මූලික ශාස්ත්‍ර හා ධර්මය හැදෑරූහ. පසුව සිරිපවර නාහිමියන්ගේද ශිෂ්‍ය හිමිනමක් ලෙස නුගේගොඩ සිරි ධම්මාරාම විහාරස්ථානයට වැඩම කළහ. උපසම්පදාලාභී හිමියෝ උසස් අධ්‍යාපනය සඳහා මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයට ඇතුළත්ව ධර්ම ශාස්ත්‍ර කටයුතු ප්‍රගුණ කළහ.

ගොඩකන්දේ සරණසිරි නා හිමියන්ගේ අනුශාසනා මත බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ රැදවියන්ට දහම් දෙසූහ. එම බන්ධනාගාරයේ ඉරිදා දහම් පාසලේද ගුරුවරයෙකු ලෙසද සේවය කලහ.

1977 මාගල බුද්ධානන්ද, මාගල සෝමානන්ද යන නාහිමිවරුන්ගේ මඟ පෙන්වීම මත කරන්දෙණිය මාගල සිරි විජයාරාම විහාරස්ථානයට වැඩම කළ හිමියෝ කරන්දෙණිය ප්‍රදේශයේ ශාසනික කටයුතුවලට දායක වූහ. පසු කලකදී කොටවෙල විවේකාරාමයට වැඩම කර ආගමික සේවාවන් ඉටු කළහ.

දායක කාරකාදීන්ගේ බලවත් ඉල්ලීම පරිදි 1980 දී බොරකන්ද රන්දොළ විහාරාධිපතීන් වූහ. එතැන් සිට මේ දක්වා උන්වහන්සේ ප්‍රදේශයට අමිල සසුන් මෙහෙවරක් ඉටු කරති.

ව්‍යක්ත දහම් කථිකයෙකුවූ උන්වහන්සේ අවට විහාරස්ථාන සමඟ මනා සබදතා පවත්වමින් පාසල්වල දහම් වැඩසටහන් සඳහා සහාය දැක්වුහ.

විහාරස්ථානයේ දහම් පාසල ආරම්භ කරමින් තම ගුරුහිමියන් උපහාර ලෙස ‘සිරිපවර” නාමය තබන ලදී. සිරිපවර දහම් පාසල මේ වන විට ශාසනාරක්ෂක බල මණ්ඩලයේ විශේෂ ස්ථානයක් හිමි කර ගෙන ඇත.

උන්වහන්සේගේ ශාසනික සේවාව ඇගයීම වස් අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික නිකාය මගින් 1994 දී නායක ධූරයක් පිරි නමන ලදී. එය නම් බෙන්තර වලල්ලාවිට කෝරලය ගාලුවැල්ලබඩ පත්තුවේ සම්මාන සංඝ නායක ධුරය වේ. පසුව එම සභාවේම උප ප්‍රධාන සංඝ නායක ධූරය පිරිනැමූහ.

නොවැම්බර් 29 වන දිනය නා හිමිපාණන් වහන්සේට අවුරුදු හැත්තෑ හතරක් සපිරිණි, පැවිදි දිවියට අවුරුදු හැටකි. මේ කරුණු නිමිති කොට පින්කම් මාලාවක් පැවැත්විණි.

කරන්දෙණිය බොරකන්ද රන්දොළ විහාරාධිපති කමටහන්චාර්ය හල්ඔය සිරිසුමන නා හිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා.


හැව්ඕවිට ඉන්දරතන නා හිමි

හැව්ඕවිට ඉන්දරතන නා හිමියන්ගේ 75 වන ජන්ම දිනය 2016 දෙසැම්බර් 05 දිනට යෙදී ඇත. 1942 දෙසැම්බර් 05 දින පිටබැද්දර හැව්ඕවිට ග්‍රාමයෙහි ප්‍රභූ පවුලක උපත ලද ෆ්‍රැන්සිස් පලිහවඩන පින්වත් කුමරා මූලික අධ්‍යාපනය ලැබුයේ දෙහිගස්ස ඩඩ්ලි සේනානායක මහා විද්‍යාලයෙනි. වයස අවුරුදු 16 දී එනම් 1958 පෙබරවාරි 21 දින සියඹලාගොඩ පඤ්ඤාතිස්ස නායක හිමියන්ගේ හා කැටගොඩ සීලානන්ද නාහිමියන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් පැවිදි බිමට පත්වූහ. මූලික බණ දහම් හැදෑරීමෙන් පසු ගොඩපිටිය ජේතවන පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ උසස් අධ්‍යාපනය සඳහා ඇතුළත් වූයේ හුණුපිටියේ ඥානේස්වර මහපිරිවෙනටයි.

එහිදී භික්ෂුවක් වශයෙන් ප්‍රගුණ කළයුතු සිංහල, පාලි, සංස්කෘත භාෂාවන් ඉගෙන ගනිමින් සාසනයට වටිනා භික්ෂුවක් ලෙස 1964 වර්ෂයේ දී මහනුවර මල්වතු මහාවිහාරීය මංගල උපෝෂථාගාරයේ දී උපසම්පදාව ලැබූහ.

1970 ආරම්භ කළ සියඹලාගොඩ ශ්‍රී විද්‍යාකීර්ති පිරිවෙනේ ආරම්භක කෘත්‍යාධිකාරී තනතුර බාරගනිමින් සසුනටත් අධ්‍යාපන ක්ෂේත්‍රයටත් මහා සේවාවක් සිදුකළහ. විද්‍යාකීර්ති පිරිවෙනේත් වැඩවසමින් තම සේවය පුළුල් කිරීම සඳහා තම විහාරස්ථානයට අනුබද්ධ ආයතන දියුණු කරමින් මහජනයාට මහත් සේවාවන් සැපයූහ.

වර්තමානය වන විට විහාරස්ථාන හතරක අධිපතිත්වය දරමින් ලෝක සාසන සේවය වඩාත් පුළුල් කරමින් බොහෝ පිරිසකගේ අභිවෘද්ධිය උදෙසා උන්වහන්සේ කටයුතු කරයි. 2012 දී ගංගාගිරි විහාරය මූලික කොටගෙන ඇරඹූ විපුලසාර පිරිවෙනෙහි කෘත්‍යාධිකාරී ධූරය දරන්නේද අප නාහිමියන්ය. නායක හාමුදුරුවන්ගේ සාසනික කටයුතු වඩාත් ශක්තිමත්වීම සඳහා මල්වතු මහා විහාරය 2012 වර්ෂයේ දී ‘ධර්මකීර්ති ශ්‍රී පඤ්ඤාතිස්ස’ ගෞරව නාමය සහිතව මාතර පළාතේ ප්‍රධාන සංඝ නායක තනතුරින් පුදනු ලැබූහ. සසුනට මහත් සේවාවක් ඉටු කරන නායක හාමුදුරුවන් වහන්සේට තව බොහෝ කලක් නිදුක් නීරෝගීව වැඩසිටීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා.


නාවලපිටියේ සරණජෝති හිමි

ශාස්ත්‍රපති නාවලපිටියේ සරණජෝති මාහිමිපාණන් වහන්සේ මහනුවර දිස්ත්‍රික්කයේ මුල්ගම්පොල ග්‍රාමයේ විසූ ජී.බී. එඩ්මන් සහ එච්.එම්. සෝමාවතී යන දම්පතීන්ට දාව උපන් උන්වහන්සේ සොයුරු සොයුරියන් සය දෙනෙකුගෙන් යුතු පවුලේ පස්වැනියා විය. මූලික අධ්‍යාපනය මහනුවර මිඩ්ලන්ඩ් විද්‍යාලයෙන් සහ සෙංකඩගල මහා විද්‍යාලයෙන් ද නාවලපිටිය අනුරුද්ධ කුමාර විදුහලෙන්ද ලැබීය. නාවලපිටිය ශ්‍රී වේළුවනාරාමස්ථ ශ්‍රී කවීශ්වර දහම් පාසලෙන් දහම් අධ්‍යාපනයද ලැබීය.

එම කුඩා දරුවා 1966 නොවැම්බර් 24 වැනිදා ගම්පොල, කුරුඳුවත්ත, කොලුවල ශ්‍රී බෝධිරාජාරාමය සහ ගම්පොල උඩහේන්තැන්න ගැමුණුපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය යන උභය විහාරාධිපති මොරගොල්ලේ ජිනරතන මාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් හා මැදරට ප්‍රධාන සංඝ නායක වැලිමඩ රතනජෝත්‍යාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ ගම්පොල රන්තැටිය සිරි සුමනජෝති විද්‍යායතන පිරිවෙන් පරිවේණාධ්‍යක්ෂ ගාල්ලේ පේමානන්ද නායක හිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් උතුම් පැවිදි බිමට පත්වූහ. ගම්පොල රන්තැටිය සිරි සුමනජෝති විද්‍යායතන පිරිවෙනට ඇතුළත් වු උන්වහන්සේ එහිදී පිරිවෙන් අවසාන, සාමාන්‍ය පෙළ, උසස්පෙළ ආදී විභාගයන්ට මුහුණ දුන්හ.

උන්වහන්සේ 1978 දී උපසම්පදාවට පත් වූහ. 1985 දී කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ උන්වහන්සේ එහිදී ශාස්ත්‍රපති උපාධිය ලබාගත් අතර පසුව පශ්චාත් උපාධි, අධ්‍යාපන ඩිප්ලෝමා සහතිකයද ලැබීය. අනතුරුව පොළොන්නරුව ගිරිතලේ – ගිරිතලේගම මහා විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස පත්වු අතර උන්වහන්සේ පසුව වත්තල හුණුපිටිය බණ්ඩාරනායක මහා විද්‍යාලයේ සේවයට එක්විය. ආචාර්ය ධූරයට අමතරව සහකාර විදුහල්පති ලෙසද, විනය පාලක හා ශිෂ්‍ය නායක භාර ආචාර්යවරයා ලෙසද දශකයකට අධික කාලයක් සේවය කළ උන්වහන්සේ පසුව මහර , කඩවත මහාමයා බාලිකා මහා විද්‍යාලයේ ආචාර්යවරයෙකු වශයෙන් සේවය කොට 2015 වසරේ විශ්‍රාම ගනු ලැබූහ.

2002 දී ස්වකීය ගුරුදේවයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු ගම්පොල උඩහේන්තැන්න යටපාන ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිපති ධුරයට පත්වන උන්වහන්සේ මේ වන විට ඉතා රමණීය අයුරින් විහාරස්ථානය සංවර්ධනය කොට සුවිසල් මෙහෙයක් සිදු කොට ඇත. මීට අමතරව උන්වහන්සේ කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරයේ විහාරාධිකාරි ධූරයද . කැලණිය ශාසනාරසක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි ධුරයද හොබවති.

කොටපොල අමරකිත්ති ස්වාමීන් වහන්සේ විසින් ආරම්භ කළ “මව්පිය ගුණ සම්භාවනා” සිසු ආකල්ප පෝෂණ වැඩසටහන මුල් අවධියේ පටන්ම මෙහෙයවනු ලබන ලොකු හාමුදුරුවන් වහන්සේ මේ වන විට ශ්‍රී ලංකාව පුරාවටම පාසල් දහම් පාසල් ආදියෙහි වැඩසටහන් විශාල ප්‍රමාණයක් මෙහෙයනවා ඇත. එමෙන්ම උන්වහන්සේ ජනමාධ්‍ය තුළද විශාල ධර්මදේශනා ප්‍රමාණයක් පවත්වා ඇත.

මේ අයුරින් ශාසනික – ජාතික මෙහෙවරක් ඉටුකරනු ලබන උන්වහන්සේගේ පැවිදි දිවියේ ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් නොවැම්බර් 26 වැනි දින දා මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාවක් ද පිරිනැමිණි, උන්වහන්සේට තෙරුවන් සරණින් දළදා සමිඳුන්ගේ ආශිර්වාදයෙන් තවත් ශත වර්ෂාධික කාලයක් ලෝ සුසන් වැඩ වඩන්නට ශක්තිය ධෛර්යය ලැබේවා.

 

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් 07 වනදා පූර්ව භාග 02.50 ට ලබයි. 08 වනදා බ්‍රහස්පතින්දා පූර්වභාග 02.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 07 වනදා බදාදාය.

 

මී ළඟ පෝය උඳුවප් පුර පසළොස්වක දෙසැම්බර් 13 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 07

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 13

Second Quarterඅව අටවක

දෙසැම්බර් 21

Full Moonඅමාවක

දෙසැම්බර් 28


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]