UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දියුණුවේ දොරටුව -17:   දිවිමඟ බබළවන මංගල කරුණු

දිවිමඟ බබළවන මංගල කරුණු

මෙම ලිපියෙහි තවත් කොටසක් ඉල් අමාවක පෝදා(නොවැම්බර් 28) පත්‍රයේ පළවිය.

සුදුසු කලදී බණ ඇසිය යුතුය. විවේකයක් ලද විගස බණ දහම් ශ්‍රවණය කළ යුතුය. බණ අසනවා යනු ලෝභ, ද්වේශ, මෝහ, යටපත්කිරීමයි. අලෝභ, අදෝස, අමෝහ, චේතනාවෝ දියුණුවීම දහම් ශ්‍රවණයයි. එසේනම් බණ ඇසීමෙන් මෙලොව සැපයත් පරලොව සුගතියෙත් වාසය කරන්න පුළුවන්. අවසානයේ අමාමහා නිවනින් සැනසුම ලබන්න පුළුවන්.

ඉවසීම අවශ්‍යයයි. ‘ඛන්තීච සෝවචස්සතා සමණානංච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා එතං මංගල මුත්තමං’ තවත් මංගල කරුණක්. ඉවසීමත් මංගල කරුණක්. සුවච කීකරු නම් එයත් මංගලයි. භික්ෂූන් වහන්සේ දැකීමත් මංගලයි. එසේනම් සුදුසු කල්හි ධර්මය සාකච්ඡා කිරීමත් යහපතක්. එයත් තම තමන්ගේ දිවිමගට දියුණුවක්. ඉවසීම හොඳින් ප්‍රගුණ කළොත් එයත් අමෘතයක්. සුවච කීකරුබවත්, භික්ෂූන් වහන්සේගේ දැකීමත්, සුදුසු කල ධර්ම සාකච්ඡාවත් මංගලයි.

‘තපෝච බ්‍රහ්ම චරියංච
අරිය සච්චාන දස්සනං
නිබ්බාණ සච්ජි කිරියාච
ඒතං මංගල මුත්තමං’

තපස් ගුණ දියුණු කළ යුතුයි. සීල, සමාධි , ප්‍රඥා, කරුණා, මෛත්‍රී ගුණ තපසයි. තපස් ගුණ දියුණු කර ගැනීම මංගලයි. සීල, සමාධි, ප්‍රඥා දියුණු කර ගැනීම බ්‍රහ්ම චරියාවයි. ආර්ය සත්‍යයන් දැකීම දුක්ඛ සත්‍ය, සමුදය සත්‍යය, නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය යන සත්‍ය සතර රැක ගැනීම මංගලයි. එසේනම් බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා මේ සත්‍ය සතරෙන් සැනසුම ලැබුවා. ඒ සත්‍ය සතර දැකගෙන එයත් අවබෝධකරගත් නිසා එයත් මංගලයි. නිර්වාණය යන පරම සුන්දර වදනෙහි ‘වාණ’ යනු තණ්හාවයි. තණ්හාව නැති නිසා ‘නිබ්බාණයි’. එසේනම්, නිවීම සාක්ෂාත් කිරීම මංගලයි.

‘පුට්ඨස්ස ලෝක ධම්මේහි
චිත්තං යස්ස න කම්පති
අසෝකං විරජං ඛේමං
ඒතං මංගල මුත්තමං’

‘පුට්ඨස්ස ලෝක ධම්මේහි’ ලෝක ධර්මයයි. තාදි ගුණය අෂ්ඨ ලෝක ධර්මයන් කෙරෙහි කම්පා නොවීම මංගලයි. ලාභ, අලාභ , යස, අයස, නින්දා, ප්‍රසංසා, සැප , දුක යන අටලෝ දහමට කම්පා නොවීම මංගලයි.

ශෝක, පරිදේව, (ඇඬීම,වැළපීම) දුරු කළ යුතුයි. එයත් මංගලයි. කෙලෙසුන්ගෙන් සිත පිවිතුරු විය යුතුයි. ‘අසෝකං විරජං ඛේමං’ අඬන්නේ, වැළපෙන්නේ නැති ‘අසෝකෝ’ රජස් නැති ‘විරජෝ’ නිවනට පත්වීමට උත්සාහ ගන්න. ඊළඟට බියෙන් තොරව වාසය කළ යුතුයි. දිවි මඟට නිබඳව වැදගත් වූ මේ කරුණු කාරණාවෝ තිස් අට මංගලයි.

මහා මංගල සූත්‍රය දියුණුව පිණිසම පවතින සූත්‍රයක්. මෙලොව දියුණුව, පරලොව සුගතිය, නිවන සලසා දෙන දේශනාවක්.

තම තමාගේ ජීවිත සැපවත් කරලා මෙලොව ජීවිත සකසා ගනිමින් සම්බුද්ධ ශාසනයත් රැකගෙන, සිත දියුණු කරගෙන ශාන්ති ලක්ෂණ නිවන් සුව ලබන්න පුළුවන්.

එසේනම්, ලොවුතුරු බුදු දහම යනු තමන්ගේ ජීවිත සකසා පරලොව ජීවිතයත් සකසා නිවනට පමුණුවන සුවිශේෂී දහමක්. එයට අනුකූලව යමෙක් වැඩකටයුතු කිරීමෙන් සැනසුම, ආරක්ෂාව, සෙත, ශාන්තිය යහපත , දියුණුව සලසා ගන්න පුළුවන්. එසේනම්, මේ මහා මංගල පැනයට දේශනා කළ සූත්‍රයෙන් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී ඵලයන්ගෙන් අසංඛ්‍යෙයක් දෙවි දේවතාවුන්, බ්‍රහ්මයන් නිවනින් සැනසුම ලැබූවා. මේ මහා මංගල සූත්‍ර දේශනාව, පවින් වැළකී පිනක දහමක යෙදී සිත සකසාගෙන ඉදිරියට යන මාවත අපට උගන්වා තිබෙනවා. මේ ගැන හසල දැනුමක් ඇති කරගෙන ශීල, සමාධි, ප්‍රඥා, ගුණ දියුණු කරගෙන ශාසනයත් හොඳින් ගොඩ නංවාගෙන ඉදිරියට යන්න. ශාසනික ප්‍රතිපත්ති දියුණුවෙන් මෙලොව පරලොව ජීවිත හොඳින් සකසා ගෙන පාරමී ගුණ ධර්ම දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහා නිවන් සම්පත් ලබන්නට මහා මංගල සූත්‍රය අපට බොහොම අගනෙයි.

එසේනම්, මහා මංගල සූත්‍රයට අදාළ කරුණු කාරණා තම දිවි මගට එකතුකරගෙන සැමටම සෙත ශාන්තිය සලසා ගන්නැ’යි ප්‍රාර්ථනා කරනවා. දෙවියන් සහිත ලෝකයාට ශාන්තියක් වේවා’යි සිතමින් වැඩ කටයුතු කිරීමෙන් හැම දෙනාටම යහපත දකින්න පුළුවන්. අයහපත නොදැක සුගතියක වාසය කරන්න පුළුවන්. එසේ කල්පනාවෙන් මේ ලොවුතුරු බුදු දහමෙන් මෙලොව ,පරලොව ජීවිත සකසාගෙන පාරමී ගුණ ධර්ම දියුණුවෙන් නිවන් සුවයෙන් සැනසීමට මහා මංගල සූත්‍රයේ දැක්වෙන කරුණු කාරණාවෝ දියුණුකරගෙන ඉතාමත් යහපත් කාලවකවානුවක් ගොඩ නැගේවා’යි සැවොම පතන්න.

දියුණුවේ දොරටුවට මඟ කියන තවත් ලිපියක් උඳුවප් පුර පසළොස්වක පත්‍රයේ (දෙසැම්බර් 13) පළ වේ

 

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් 07 වනදා පූර්ව භාග 02.50 ට ලබයි. 08 වනදා බ්‍රහස්පතින්දා පූර්වභාග 02.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 07 වනදා බදාදාය.

 

මී ළඟ පෝය උඳුවප් පුර පසළොස්වක දෙසැම්බර් 13 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 07

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 13

Second Quarterඅව අටවක

දෙසැම්බර් 21

Full Moonඅමාවක

දෙසැම්බර් 28


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]