UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දරුවන්ට ප්‍රසිද්ධියේ දඬුවම් නොකළ යුතුය

දරුවන්ට ප්‍රසිද්ධියේ දඬුවම් නොකළ යුතුය

මෙම ලිපියෙහි තවත් කොටසක් ඉල් අමාවක පෝදා පත්‍රයේ (නොවැම්බර් 28 වනදා ) පළ විය.

ඔබගේ මනස ඔබ අවබෝධ කරගන්නවා නම්,තමන් පව් කරනු ලබන්නේ කුමන ආකාරයේ පෙළඹවීමක් මතද  යන්න පිළිබඳව නිතර තරවටු කරමින් අවවාද දෙමින් චෝදනා කරමින් ඔබ පසු පස පැමිණීම අවශ්‍ය නැහැ.තමන් එම පව් කරනු ලබන්නේ කුමන ආකාරයේ පෙළඹීමක් මතද යන්න පිළිබඳව ඔබ තේරුම් ගන්නවා නම්, මනස පවට ඇලීම ඔබ වළක්වා ගන්නවා නම් ඔබට ඉතා පහසුවෙන් පවෙන් ඉවත් විය හැකිය.

කය සහ වචනය පවින් ඉවත් කරගත යුතුයි. මනස පවෙහි ඇලීම වළක්වා ගත් පසුව කය, වචනය, පවින් වළක්වා ගැනීම වඩාත් පහසු වෙයි.මනස නොඇලුණා යනු කයද නොඇලෙයි. කය, වචනය පවින් වළක්වා ගැනීමට නම් , ඔබගේ ආත්මගෞරවය පිළිබඳව කල්පනා කළ යුතුයි. කය හෝ වචනය පවක් කිරීමට සූදානම් වන අවස්ථාව තුළ එතුළින් ඔබගේ කය හෝ වචනය නිදහස්් කරගැනිමට වුවමනා නම්, ආත්මගෞරවය පිළිබඳව සිතිය යුතුයි. අපගේ දැන උගත්කම් , ආගම පවුල් පසුබිම පිළිබඳව සිතන විට ආත්ම ගෞරවය තමා තුළ ඇතිවෙයි. ඔබට පව් කිරීම සඳහා ඔබගේ චෛතසිකයන් ඔබ පොළඹවනු ලබන අවස්ථාවල චෛතසිකයන්ගෙන් නිදහස් වීම අපහසු නම්, අඩුම වශයෙන් කය වචනය යන කාරණා දෙක ඔබගේ ආත්මගෞරවය පිළිබඳව සිතාවත් පාලනය කරගැනීමට උත්සාහ කළ යුතුයි.

සැබෑවටම උපරිම නිදහස වීම යනු මනස නිදහස් කරගැනීමයි. එතැනින් මෙහාදී ආත්මගෞරවය පිළිබඳව සිතා හෝ කටට පැමිණෙන වචනය පිට නොකර සිටිය හැකිය.ආත්මගෞරවය පිළිබඳව සිතීමෙන් ශරීරයෙන් කරන්නට සිතෙන කාරණා නොකර සිටීමට ඔබට හැකි වෙයි.තමා පිළිබඳව තමා සිතන ආකාරය වැදගත් වෙයි. තමා පිළිබඳව තමා ගෞරවනීය ආකාරයට සිතනවා නම්, තමාට තමා සම්බන්ධව ගෞරවයක් තිබෙනවා නම්, තමා එය ආරක්ෂා කරගැනීමට සැම විටම කල්පනා කරනු ලබයි.තමාට තමා පිළිබඳව ගෞරවයක් නොමැති නම්, තමා ආරක්ෂා කර ගැනීමට උනන්දුවක් නොදක්වයි. කය වචනය දෙක පවින් ඉවත් කරගැනීමට නම්, අඩුම වශයෙන් ආත්මගෞරවය පිළිබඳවත් සිතිය යුතුයි.ආත්මගෞරවය විනාශ වුවහොත් එය එක අවස්ථාවක් පමණයි.බිඳුන බඳුනක් තව දුරටත් එම බඳුනම නොවෙයි.බිඳුන බඳුන් ඇලෙව්වද එහි පළුදු තව දුරටත් පවතින බව දක්නට ලැබෙයි.බිඳුන බඳුන අලවා ඇති බව නොපෙනීමට ලස්සන මලක් අලවා තැබු විට අලවපු බව වැසීමට හැකි වුවද,තමා අතින් බඳුන බිඳුන බව තමා දන්නා බව වසන් කර දමන්නේ කෙසේද

මගේ අතින් බඳුන බිඳුණාට පසුව එම බඳුන නොබිඳුණ බවට හෘදය සාක්ෂිය පිළිගන්නේ කෙසේදසෑම දරුවෙකු තුළම ආත්මගෞරව ගොඩනැංවිය යුත්තේ එම නිසයි. දරුවන්ට ප්‍රසිද්ධියේ දෝෂාරෝපණය නොකළ යුත්තේ එම නිසයි. සමාජය ඉදිරිපිට දරුවාට දඬුවම් නොකළ යුත්තේ එම නිසයි. එම දරුවන් තුළ පවතින ලජ්ජාව නැතිව යාමට එය හේතුවක් වෙයි. මත්ද්‍රව්‍ය පානය කරන ඇතැම් ස්වාමිපුරුෂවරු මත්ද්‍රව්‍ය පානය කළ දිනට තමාගේ බිරිඳට එය නොහැඟවීම සඳහා කාමරයට තුළම නිදාගනී. එසේ වසන් වීමට උත්සාය කරන ස්වාමිපුරුෂයාව දරුවන් ඉදිරිපිටට කැඳවාගෙන එය ඇතමි අනුවණ බිරින්ඳෑවරුන් මත්පැන් පානය කිරීම පිළිබඳව දරුවන් ඉදිරියේ ඔහුගෙන් කරනු විමසා සිටී. පිරිමියා තුළ පැ වැති ලැජ්ජාව ඇය විසින් නැති කර දමනු ලබයි. හිරි ඔතප් ක්‍රමයෙන් අඩුවන පිරිමියා නැවත වසන්වී සිටීමට උත්සාහ නොගනී. එලිපිට දඬුවම් නොකළ යුත්තේ එම නිසයි. ලජ්ජා භය නැතිව ගිය පුද්ගලයන් වැරැදි ක්‍රියාවන් ප්‍රසිද්ධියේ කිරීමට පෙළඹෙයි. හිරි ඔතප් නැතිව ගිය පුද්ගලයන් කරනු ලබන අයහපත් ක්‍රියාවන් ඔවුන්ට සාමාන්‍ය ලෙස දැනෙයි. මුලදී ඇතිවන අසහනය කාලයාගේ ඇවෑමෙන් පහව යයි. සමාජය තුළ බිය නැතිව ගිය විට ප්‍රසිද්ධියේ හැසිරීමට පටන් ගනී.

දරුවෙකු වරද කරුවෙකු ලෙස සමාජය ඉදිරිපිට ප්‍රසිද්ධියේ හිංසාවට ලක්කර දරුවා තුළ පැවැති ලජ්ජාව විනාශ නොකළ යුතුයි. ඔබ ගෞරවය පිළිබඳව සිතනවා නම් ඔබගේ කය වචනය පවින් ඉවත් වෙයි. දරුවා තුළ ගෞරවය කුඩා කල සිටම ඇතිකළ යුතුය. දරුවා ඇඳුම් අඳින අවස්ථාවන් තුළ කුඩා වයසේ සිටම කාමරයේ දොර වසා ඇඳුම් මාරුකිරීමට පුරුදු කල යුතුයි. කුඩා කල සිටම ශරීරය වැසෙන සේ දිගට ඇඳුම් ඇඳීමට හුරු කරවිය යුතුයි. දරුවාට කුඩා කළ සිටම සිරුර ප්‍රදර්ශනය වන ආකාරයෙන් ඇඳුම් අන්දවමින් සමාජය ඉදිරියට ගෙනයාම තුළ ලජ්ජා භය නැති කර දරුවා වැඩුණු දරුවෙකු වූ විට දිග ඇඳුම් ඇදිය යුතු බවට දරුවාට නියෝග කිරීම හෝ දොස් පැවරීම සාධාරණ නැහැ. කුඩා කල සිට දරුවාට වැරැදි ලෙස ඇඳුම් ඇඳීමට අවසර ලබාදෙන අම්මා විසින් දරුවා වැඩුණු විට හිරගෙදර මෙන් නීතී දමන විට කිසිඳු දරුවෙකු කැමැති වන්නේ නැහැ. කුඩා කල සිටම කාමරය තුළ දොරවසාගෙන කිසියම් ශික්ෂණයක් තුළ ඇඳුම් ඇඳීමට හුරුකිරීමට දරුවා පුහුණු කළ යුතුයි. එම දරුවා තුළ ගෞරවයක් ගොඩනැගෙයි. එම දරුවා තුළ පවට ආසාවක් තිබුණත් ඇයගේ ගෞරවය පිළිබඳව සිතා ඇය එයින් වහාම ඉවත් වෙයි.

ලෝක අපවාද පිළිබඳ සිතීමට දරුවා පුරුදු කළ යුතුය. නිතරම ලෝක අපවාද පිළිබඳව සිතනවා නම්,පව් රාශියකින් ඉවත් විය හැකිය. ලෝක අපවාද පිළිබඳව සිතීම මිනිසුන්ට පව් නොකර සිටීමට ඉතාම වැදගත් වෙයි.කය සහ වචනය පවින් ඉවත් කරගැනීමට ලෝක අපවාද පිළිබඳ සිතීම ප්‍රධාන වෙයි. තමාට චෝදනා, නින්දා අපහාස , එයිද යන්න සිතන විට පව් කරන්න සිතීම පාලනය වෙයි. චෝදනාවලට නින්දාවට තිබෙන බය නිසාම කට ප්‍රවේශම් කරගනී.තමා පාවිච්චි කරන වචනයම තමාගේ අවසානයද විය හැකිය. අපවාද පිළිබඳව ලෝකයෙන් නැගෙන චෝදනා පිළිබඳව මිනිසුන් මෙයට වඩා කල්පනා කර සිතනවා නම්, පව් රාශියකින් ගැලවීමට තමාට හකියාව ලැබෙයි. මිනිසුන් සියයට සියයක්ම අපවාද නඟන්නේද තමා විසින් කරනු ලැබූ කාරණා සඳහාම පමණක් නොවන බවත් ඔබ අවබෝධ කරගත යුතුයි. සුන්දරී පරිබ්‍රාජිකාව බුදුරජාණන් වහන්සේට නින්දා කළ ආකාරය බෞද්ධ සාහිත්‍ය තුළ අසන්නට ලැබෙයි. සුන්දරී පන්සලට කැටුව ඇවිත් ඇය ගැබිනියක් බව ප්‍රකාශ කළ ආකරය සත්‍ය කාරණා නොවුණ නිසාම ඔබටත් නිතරම නින්දා අපහාස චෝදනා නැගෙනවා නම්, එම නින්දා පැමිණෙන ස්ථානයෙන් ඉවතට නොයා යුතුයි. ඇතැම් පිරිස් ගෙවල් දොරවල් පදිංචි ස්ථාන වෙනස් කරනු ලබයි. සුන්දරී ගේ ප්‍රශ්නය පැන නැගුණ අවස්ථාව තුළ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වෙනත් පළාතකට වැඩීමට ආරාධනා කරනු ලැබුවත් , එය ප්‍රතික්ෂේප කරනු ලැබුෙවිද , බුදුරජාණන් වහන්සේ දේශනා කරමින්ය. එම නගරය තුළත් මෙවැනි ප්‍රශ්නයක් පැමිණිය හොත් කුමක් සිදුවෙයිද යනුවෙන් විචාලමින් එවිට තවත් නගරයකට යාමට සිදුවෙන බව. එසේ නම් මෙම නගරය තුළම වැඩ සිටිමු ස්වාමීනී. යනුවෙන් නැවත ආනන්ද ස්වාමීන් වහන්සේ ඉල්ලීමක් කරනු ලැබ ඇත. කාරණය සඳහා සත්‍ය වූ පසුබිමක් නොමැති නම් නිස්කාරණේ බිය විය යුතු නැත. නිකරුණේ නැගෙන චෝදනා සඳහා වැඩි කාලයක් ගත වන්නේ නැත වගේම කාරණයට සත්‍ය කාරණා පදනම් වී ඇත්නම් ඔබත් ප්‍රවේශම් විය යුතුයි. ගින්නක් නැතිව දුමක් නොනගින බවට අපගේ කට වහර තුළ එන අදහසක් පවතින නිසා කවුරුන් වුවද ප්‍රශ්නයකදි එම වාක්‍ය සිහිපත් නොකර සිටින්නේ නැහැ.

කේන්ති යන විට දුරදිග බැලිය යුතුයි.ඔබ කල්පනා කළ යුත්තේ අද පිළිබඳව නොව තව දින කිහිපයක් ඉදිරියට සිදුවන පරිසරය පිළිබඳවයි. කේන්ති සිතිවිල්ලට වසඟ වුණාට පසුව සිදුවන කාරණා පිළිබඳව කල්පනා කළ යුතුයි. පවෙන් වැළකීමට නම් මෙම සිතිවිලි පිළිබඳ අවබෝධ කරගත යුතුයි.

 

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් 07 වනදා පූර්ව භාග 02.50 ට ලබයි. 08 වනදා බ්‍රහස්පතින්දා පූර්වභාග 02.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 07 වනදා බදාදාය.

 

මී ළඟ පෝය උඳුවප් පුර පසළොස්වක දෙසැම්බර් 13 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 07

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 13

Second Quarterඅව අටවක

දෙසැම්බර් 21

Full Moonඅමාවක

දෙසැම්බර් 28


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]