UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පන්සිල් යනු පරමාදර්ශී සමාජයක ප්‍රඥප්ති

පන්සිල් යනු පරමාදර්ශී සමාජයක ප්‍රඥප්ති

" පන්සිල් තිබෙන්නේ ලෝකයටම බලපානු ලබන තෝරාගත් වැරැදි පහක් නොකර සිටීමට පොරෙන්දු වීම හෙවත් වැළකී සිටීමයි. එම වැරැදි පහ නොකර සිටීමට අප පන්සිල් තුළ පොරොන්දු වෙයි. තර්කානුකූලව සිතා බලන විට වැරැද්ක් නොකර සිටි විට වැරැද්දක් නොකළා මිස, හොඳක් කළා වෙන්නේ නැහැ. වරදක් නොකර සිටීමයි, යහපතක් කිරීමයි, දෙකක් මිස එකක් වන්නේ නැහැ."

ලොව ජීවත් වූ විශිෂ්ටතම චින්තකයා නම් ගෞතම ගෝත්‍රයේ ඔක්කාක රජ පරපුරේ ශාක්‍ය වංශයේ උපන් සිද්ධාර්ථ නමින් ගිහිකල හඳුන්වනු ලැබූ විශිෂ්ටතම මිනිසා වූ අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේයි. උන්වහන්සේගේ දේශනා බොහොම දිග වුවද,උන්වහන්සේගේ ප්‍රකාශන ඉතාම කෙටියි. ප්‍රකාශන කෙතරම් කෙටිද , යත් බොහෝ දෙනා විසින් අගය කරනු ලබන යම් යම් විද්‍යාත්මක ප්‍රකාශයන්හි ස්වභාවයම තථාගතයන් වහන්සේගේ ස්වභාවයම වෙයි. වචන දෙක තුනකින් විශාල ගැඹුරු අර්ථයක් දේශනා කරනු ලැබ ඇත.

ඒ පිළිබඳව අටුවා ටීකා ටිප්පනි ගැටපද සන්න ව්‍යාඛ්‍යාන ලියවී තිබෙන අතර වර්තමානය තුළ ද එම කෙටි වාක්‍ය විග්‍රහ කෙරෙයි.උප්පාද වයධම්මිනෝ යන ප්‍රකාශය වැදගත් ප්‍රකාශයක් වෙයි. අනිච්චාවත සංඛාරා යන ගාථාව අප විසින් තරමක අවභාවිතයෙහි යොදවන ගාථාවක් වෙයි. අනිච්චාවත සංඛාරා යන ගාථාව අප සංස්කෘතික වශයෙන් සිතා සිටිනු ලබන්නේ මළ ගෙවල් තුළ භාවිත කිරීම සඳහා පමණක් භාවිත කරන ගාථාවක් ලෙසයි.

අප බුද්ධ වන්දනා කරන විට, දෙවියන්ට පින් දෙන විට, බෝධිවන්දනා කරන විට ,භාවිත කරන ගාථා වගේ මෙම ගාථාවත් මළගෙදරකදී පමණක් භාවිත කරන ගාථාවක් බවට සිතාගෙන සිටී. මළ ගෙදරකදී බැනරයක ලිවීමට තිබෙන ගාථාවක් ලෙස අනිච්චාවත සංඛාරා ගාථා පාඨය අප හඳුනා ගෙන සිටියත් එය එසේ නොවිය යුතුයි. එය ලෝකයෙහි පරම සත්‍ය ප්‍රකාශ කරනු ලබන ප්‍රකාශයන්ගෙන් සමන්විත වෙයි. එකිනෙකට පැහැදිලි ලෙස වෙන්කර ගත හැකි වාක්‍ය හතරක් මෙම ගාථාවෙහි ඇතුළත් වෙයි. අනිච්චා වත සංඛාරා යනු එක වාක්‍යය වෙයි. උප්පාද වයධම්මිනෝ එය සම්බන්ධ නොවන එක වාක්‍යයක් වෙයි. උප්පජ්ජිත්වා නිරුජ්ජන්තී. යනු දෙකටම සම්බන්ධ නොමැති තුන්වෙනි වාක්‍යයක් වෙයි. තේසං රූප සමෝ සුඛෝ යනු හතර වන වාක්‍ය වෙයි.පෙර සඳහන් කළ පරිදි ප්‍රකාශ හතරක් වෙයි. එක එක වාක්‍ය පිළිබඳව විශාල ගැඹුරු අර්ථ විග්‍රහයන් ඉදිරිපත් කළ හැකියි.මෙම ගාථාව බුදුපියාණන් වහන්සේගේ දේශනාවක් නොවෙයි. මෙම ගාථාව දේශනා කරනු ලබන්නේ ශක්‍ර දේවේන්ද්‍රයා විසින් බුදුපියාණන් වහන්සේගේ පරිනිිර්වාණ අවස්ථාව තුළ මිස බුදුපියාණන් වහන්සේගේ දේශනාවක් නොවෙයි.එය දීඝ නිකායෙහි පරිනිර්වාණ සූත්‍රයෙහි සඳහන් වෙයි. එම ගාථාව අපගේ ජීවිත තුළට නිවන කැන්දාගෙන එන ගාථාවක් වෙයි. වර්තමානය තුළ ද නිවන නොදැකිය හැක්කක් නොවෙයි. ලංකාවේ අවසාන මහ රහතන් වහන්සේ මලියදේව මහ රහතන් වහන්සේ බව අප වැරැදි අදහසක සිටී. ලංකාවේ අවසාන මහරහතන් වහන්සේ මලියදේව මහ රහතන් වහන්සේ බවට බුදුපියාණන් වහන්සේ දේශනා කර නැත. එම කාරණය මිහිඳු හාමුදුරුවන් ද, සංඝමිත්තා මහ රහත්තෙරණියද දේශනා කර නැත. අඩුම වශයෙන් මලියදේව මහරහතන් වහන්සේවත් එසේ දේශනා කර නැත. එසේ දේශනා කර තිබුණා නම්, වර්තමානය තුළ කාටවත් නිවන් දැකිය හැකි බව පිළිගැනීමට නොහැකී. අවසාන මහරහතන් වහන්සේත් බිහිවෙලා අවසන් නම්, තවදුරටත් රහතන් වහන්සේ නමක් බිහිවන්නේ කෙසේද? අවසානයාගෙන් පසුව තවදුරටත් කෙනෙකු සිටිය නොහැකිය. එම ප්‍රකාශය පිළිගනු ලැබුව හොත් වර්තමානය තුළ නිවන් සාක්ෂාත් කරගත නොහැකිය. අවසාන මහරහතන් වහන්සේ මලියදේව මහරහතන් වහන්සේ බවට පිළිගන්නවා නමි,නිවන අකාලිකවුත් සැමදාම නිවන් දැකිය හැකි බවට බුදුපියාණන් වහන්සේ දේශනා කළා වූ තර්කය වලංගුවන්නේ නැත.එම නිසා වර්තමානයටත් නිවන් දැකිය හැකිය. එම නිවන් දැකීම සඳහා මෙවැනි කුඩා වාක්‍යයක් ප්‍රමාණවත් වෙයි. නිවන පිළිබඳව සිතාගෙන සිටින ආකාරය , පන්සිල් පිළිබඳව සිතාගෙන සිටින ආකාරය,බුදුපියාණන් වහන්සේ පිළිබඳව සිතාගෙන සිටින ආකාරය , යන සියල්ලම නිවැරැදිම නැහැ. අප සිතාගෙන සිටින තරම් පන්සිල් සරලම නැහැ. පන්සිල් සමාදන් වූවිට පින්සිදු වෙනවා නම්, පන්සිල් ආරක්ෂා කළ විට වන්නේ කුමක්ද? පන්සිල් තිබෙන්නේ ලෝකයටම බලපානු ලබන තෝරාගත් වැරැදි පහක් නොකර සිටීමට පොරෙන්දු වීම හෙවත් වැළකී සිටීමයි. එම වැරැදි පහ නොකර සිටීමට අප පන්සිල් තුළ පොරොන්දු වෙයි. තර්කානුකූලව සිතා බලන විට වැරැද්දක් නොකර සිටි විට වැරැද්දක් නොකළා මිස, හොඳක් කළා වෙන්නේ නැහැ. වරදක් නොකර සිටීමයි, යහපතක් කිරීමයි, දෙකක් මිස එකක් වන්නේ නැහැ.

පාණාතිපාතා ෙවිරමණී ශික්ෂා පදය සම්පූර්ණ වීමට සත්ත්ව ඝාතනයන් නොකර සිටීම පමණක් ප්‍රමාණවත් බවට අප සිතා සිටී. සත්ත්ව ඝාතනය කළහොත් පව් නොකළොත් පින්ද? දන් දුන්නොත් පින් නම් නොදුන්නොත් පව්ද?දන් දුන්නොත් පින් නොදුන්නොත් පව් නොවෙයි. ක්‍රියාව නැති විට ප්‍රතික්‍රියාවක් නැහැ.සිල් පද පහම කැඩුවොත් පව් නොකැඩුවත් පව්නොවෙයි. රකිනවා යනු නොකැඩීමයි. සිල් රැකීම තුළ පින් සිදුවෙනවා නොවෙයි,පව්සිදු වෙන්නේ නැහැ.එක්තරා වර්ෂයක් තුළ එම වසරෙහි යම් කිසි පන්තියක සිටින දරුවෙක් වැරැදි ක්‍රියාවක් නොකළා නම්, එම දරුවා යහපත් දරුවෙකුද? අයහපත් දරුවෙකුද?අයහපත් ක්‍රියාවන්ම පමණක් කරනු ලබන දරුවෙකු සිටිනවා යැයි සිතුවහොත් ඔහුට සෘණ දැමිය යුතුයි. පසු වසර දෙක තුළදීම එම ළමයා වැරැදි කරනවා නම්,ඔහුට දැමිය යුත්තේ සෘණ වුවත් ඊළඟ වසරේදි ඔහු නිවැරැදිව යහපත් ක්‍රියාවන් කළා නම්, ඔහුට දැමිය යුත්තේ ඔහු අයහපත් නැති දරුවෙක් ලෙසයි. නරක නැති වෙලා පමණක් මදී. හොඳවීමත් අවශ්‍යයි. එම නිසා සැම අවස්ථාවකම නෙගටිව් සහ පොසිටිව් යන කාරණා දෙකක් පවතී.

සොරකම් කිරීමෙන් පව් සිදුවෙයි. සොරකම් නොකර සිටීමෙන් පව් සිදුවන්නේ නැහැ. සොරකම් කිරීම යනු අන්සතු යමක් තමා සතු කරගැනීමයි. තමාසතු යමක් අනෙකා සතු කිරීම යන කාරණා දෙකටම පාරිභාෂිත වචන දෙකක් ඇත. අනෙකා සතු දෙයක් වෙයි නම් , එය තමා සතු කරගැනීම සොරකම්කිරීම වෙයි. තමා සතු යමක් අනෙකා සතුකිරීම දානය වෙයි. සීලයෙහි කොටස් දෙකක් තිබෙන බව පැහැදිලි වෙයි.අනෙකා සතු යමක් තමා සතු නොකර සිටිය යුතුවා සේම තමා සතු යමක් බවට පත්කිරීම කළ යුතු අතර එය තුළ වත් සහ සිල් පිරෙයි. වත්තංන පරිපූරෙන්තූ සීලංන පරිපූරතී. වත් කොටස නොකර සිටීම තුළ සිල් පිරීමක් සිදු නොවෙයි. එම නිසා සිල් රැකි පමණින් ප්‍රමාණවත් නැහැ. පන්සිල් යනු බණ දේශනා කරීමට පෙර හෝ උත්සව සභාව ආරම්භකිරීමට එම න්‍යාය පත්‍රයෙහි පළමුකොට ගනුලබන්නාවූ දෙයක් නොවෙයි.

පන්සිල් බෞද්ධයාට පමණක් අදාළ වන කාරණාවක් නොවෙයි. පන්සිල් මනුෂ්‍යයාට අදාළ යන කාරණාවක් වෙයි. සොරකම් නොකළ යුත්තේ බෞද්ධයන් පමණක්ද? බොරු නොකිය යුත්තේ බෞද්ධයන් පමණක්ද? සත්ත්වඝාතනය නොකළ යුත්තේ බෞද්ධයන් පමණක්ද?එය සමස්ත මිනිස් සංහතියටම අදාළ වන කාරණාවක් වෙයි.පන්සිල් සමාදන් විය යුත්තේ මනුෂ්‍යයෙකු වීමට මිස බෞද්ධයෙකු වීමට නොවෙයි. පන්සිල් හොඳට ආරක්ෂා කළහොත් මනුෂයෙකු වෙයි. පන්සිල් රකිනා අබෞද්ධයන්ද සිටිය හැකිය. සතුන් නොමරන, සොරකම් නොකරන, කාමයෙහි වරදවා නොහැසිරෙන, බොරු නොකියන, රහමෙර පානය නොකරන අබෞද්ධයන් සිටිය නොහැකිද?ඒ බෞද්ධ නොවන මනුෂ්‍ය වන පිරිසයි. බෞද්ධ වීමට පෙර මනුෂ්‍ය වීමට පන්සිල් ගත යුතුයි. පන්සිල් රකින පරමාදර්ශී මිනිස් සමාජයක ප්‍රඥප්ති පහ පන්සිල් වෙයි.

පරමාදර්ශී මිනිස් සමාජයක ප්‍රඥප්ති පහ පිළිබඳව අවබෝධ යක් ලබාගත යුතුයි.පන්සිල් තුළ කෙතරම් ගැඹුරක් තිබෙනවාද?

මෙම ලිපියෙහි ඉතිරි කොටස උඳුවප් පුර අටවක පොහෝ දින (දෙසැම්බර් 07 වනදා ) පත්‍රයේ පළ වේ.

 

ඉල් මස අමාවක පෝය

ඉල් මස අමාවක පෝය නොවැම්බර් 28 වන දා සඳුදා අපරභාග 03.20 ට ලබයි. 29 වන දා අඟහරුවාදා අපරභාග 05.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 28 වන දා සඳුදාය.

මීළඟ පෝය දෙසැම්බර් 07 වන දා බදාඳාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 28

First Quarterපුර අටවක

දෙසැම්බර් 07

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 13

Second Quarterඅව අටවක

දෙසැම්බර් 21


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]