UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උඩරට අමරපුර මහා නිකායේ මහානායක ධුරන්දරව වැඩ විසූ තෙරිපැහැ සෝමානන්ද මහ නාහිමි

උඩරට අමරපුර මහා නිකායේ මහානායක ධුරන්දරව වැඩ විසූ තෙරිපැහැ සෝමානන්ද මහ නාහිමි

ප්‍රකට ගත් කතුවරයකු, භාෂා විශාරදයකු මෙන්ම සාහිත්‍යධරයකු ද වූ උඩරට අමරපුර මහා නිකායේ මහානායක ධුරන්දරව වැඩ විසූ ශ්‍රී සද්ධර්මවාගීශ්වරාචාර්ය සාහිත්‍ය ශිරෝමණී රාජකීය පණ්ඩිත අග්ගමහා පණ්ඩිත තෙරිපැහැ සෝමානන්ද මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීම සම්බුදු සසුනට බලවත් පාඩුවකි.

නුවරඑළිය වලපනේ තෙරිපැහැ ග්‍රාමයේ උඩුකුඹුරේ වත්තේ පී.එල්.ඩිංගි අප්පුහාමි සහ මීපනාවේ රත්නායක මුදියන්සේලාගේ රන්මැණිකේ දම්පතීහු උන්වහන්සේගේ දයාබර මව්පියෝ වූහ. එම පවුලේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නය වූ එම පින්බර කුමරුවා කුරුපනාවෙල සෙනරත් මහා විද්‍යාලයෙන් හා තෙරිපැහැ මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. උඩපුස්සැල්ලාව අඹලියද්දේ බෝධිරුක්ඛාරාමාධිපති කිරවණා උල්පත ඛේමානන්ද මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් 1939 දී පමණ තෙරිපැහැ සෝමානන්ද හිමි නමින් පැවිදි දිවියට ඇතුළත් වූහ. පණ්ඩිත විදුරුපොළ පියතිස්ස මහා නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් 1945 දී උපසම්පදාවට පත් වූහ.

1950 දී පමණ කැලණියේ පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනෙට ඇතුළත්ව ප්‍රාචීන විභාග පටිපාටියෙන් සමත්ව රාජකීය පණ්ඩිත උපාධිය ලැබූහ. එමෙන්ම විද්‍යාලංකාර පිරිවෙන්හි සාහිත්‍ය විභාග පටිපාටිය හදාරා සාහිත්‍යාචාර්ය උපාධියද හිමිකරගත්හ. රත්මලානේ පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් ගුරු පුහුණුව ලද උන්වහන්සේ කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධියද ලැබූහ. අනතුරුව මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයෙන් ගුරු සේවය ඇරැඹු උන්වහන්සේ විවිධ ප්‍රදේශවල පාසල් කීපයක ඉගැන්වීමේ කටයුතුවල නිරතවූහ.

එක් යුගයක තෙරිපැහැ සෝමානන්ද නාහිමියන්ගේ ශාස්ත්‍රීය ලිපියකින් අලංකාර නොවූ පුවත්පතක් නොමැති තරමට උන්වහන්සේ ලේඛන කලාවෙහි නිරතවූහ. හෙළ සාහිත කෙත අස්වැද්දීමට උදාර මෙහෙවරක් සිදුකර ඇති උන්වහන්සේ ‘බුදුසරණ’ පුවත්පතට ලිපි රැසක් සම්පාදනය කර ඇත. එමෙන්ම තෙරිපැහැ සෝමානන්ද මහා නාහිමියන් ග්‍රන්ථ කරණයෙහි යෙදෙමින් තමන් වහන්සේ ලද දැනුම රටට දායාද කිරීමට කැපවූහ.

භාෂාව සහ සාහිත්‍යය පාදක කර ගනිමින් උන්වහන්සේ විසින් පළකරන ලද ප්‍රථම කෘතිය සිංහලයේ පරිනාමය වූ අතර 1961 දී එය එළි දැක්වීය. “සිංහල මාලා කවි සංග්‍රහය” නමැති කෘතිය සාහිත කෙතට එක් වූ විශිෂ්ට කෘතියක් ලෙස අගයති. තෙරිපැහැ සෝමානන්ද නාහිමියන්ගේ ධර්ම ශාස්ත්‍රීය සේවය කෙරෙහි ප්‍රසාදයට පත් උඩරට අමරපුර මහා නිකායේ ‘විනයවාදිනී’ කාරක මහා සංඝ සභාව මගින් උන්වහන්සේට විවිධ තනතුරු හා ගෞරවනාම ප්‍රදානය කළහ. පළමුව ස්වකීය කිකායේ අනුනායක ධුරයෙන් පිදුම් ලද උන්වහන්සේ අනතුරුව විදුරුපොළ ශ්‍රී සුමංගලාරාමයට රැස් වූ උඩරට අමරපුර නිකායේ විනයවාදිනී කාරක මහා සංඝ සභාව 2004 දී පමණ සමානච්ඡන්දයෙන් උඩරට අමරපුර මහා නිකායේ මහෝපාධ්‍යාය ධූරය සහිත මහානායක ධුරයට පත්කර ගන්නා ලදී.

1989 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද තෙරිපැහැ සෝමානන්ද මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1980 සිට ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සම්භාවනීය සාමාජිකයකු ලෙස කටයුතු කළහ. 1989 සිට අධ්‍යාපන අමාත්‍යංශයේ බෞද්ධ උපදේශක සභාවේ සාමාජිකත්වය දරමින් ග්‍රන්ථ සංස්කරණ හා අධීක්ෂණ කටයුතු සිදු කළහ. 1995 සිට විශ්වවිද්‍යාලයානුබද්ධ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාලයේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකත්වය දරමින් ක්‍රියා කළහ. 1996 සිට ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ කාරක සභා සාමාජිකත්වය දරමින් භික්ෂු අධ්‍යාපනය වෙනුවෙන් ඉමහත් දායකත්වයක් දැක්වූහ. 1998 සිට ත්‍රිපිටක මණ්ඩලයේ ත්‍රිපිටක ධර්මය ලිහිල් බසින් ලිවීමේ සම්පාදක මණ්ඩලයේ සාමාජිකත්වය දරමින් සුවිශේෂ වූ කාර්යභාරයක් ඉටු කළහ. 2008 වසරේ දී ආගමික අධ්‍යාපනය පිළිබඳ උපදේශක මණ්ඩලයේ සාමාජිකත්වය පිරිනැමීමෙන් බුද්ධ ධර්ම විෂයය ග්‍රන්ථ සංස්කරණය කිරීම, අවසාන අධීක්ෂණ කටයුතු කිරීම් ආදී වශයෙන් ආගමික අධ්‍යාපනය කෙරෙහි උන්වහන්සේ දැක්වූයේ ඉමහත් දායකත්වයකි. තලවතුගොඩ සුධර්මා දහම්පාසල ආදියෙන් කළ යුග මෙහෙවර අගය කළ යුතු වේ.

ඉකුත් 17 වන දා පස්වරුවේ අපවත්වී වදාළ අතිපූජ්‍ය තෙරිපැහැ සෝමානන්ද මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ඉකුත් 21 වන දා රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්විණි.

උන්වහන්සේට නිවන් සුව පතමු.

 

ඉල් මස අමාවක පෝය

ඉල් මස අමාවක පෝය නොවැම්බර් 28 වන දා සඳුදා අපරභාග 03.20 ට ලබයි. 29 වන දා අඟහරුවාදා අපරභාග 05.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 28 වන දා සඳුදාය.

මීළඟ පෝය දෙසැම්බර් 07 වන දා බදාඳාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 28

First Quarterපුර අටවක

දෙසැම්බර් 07

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 13

Second Quarterඅව අටවක

දෙසැම්බර් 21


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]