UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඓතිහාසික බෙල්ලන්විල ඇසළ පෙරහර

ඓතිහාසික බෙල්ලන්විල ඇසළ පෙරහර

රන්දෝලි මහ පෙරහර වීථි සංචාරය 27 වනදා රාත්‍රී
'ආගමික වශයෙන් ජනතාවට විශාල මෙහෙවරක් සිදුකරන “බෙල්ලන්විල රාජමහා විහාරස්ථානය පන්සලෙන් ජනතාවටය”
යන තේමාව යටතේ විශාල සමාජ මෙහෙවරක ද නියුතු වේ'

ලෝ දන මුවග රැව් පිළිරැව් දෙන මහ පුදබිමක් වු බෙල්ලන්විල රාජමහා විහාරය පෙර රජ දවස දෙවනපෑතිස් යුගය දක්වා ඉතිහාසයකට හිමිකම් කියයි. සඟමිත් තෙරණිය වැඩමවූ ශ්‍රී මහා බෝධින් වහන්සේගෙන් හටගත් දෙතිස් ඵල රුහ බෝධි අංකුරයක් බෙල්ලන්විල රෝපණය කළ බව ක්‍රි.ව. 1303-1333 විල්ගම්මුල මාහිමිපාණන් විසින් රචිත සිංහල බෝධි වංශය නම් ඓතිහාසික ග්‍රන්ථයේ සඳහන් වීමෙන් ඒ බව සනාථ වේ. අරිසෙන් අහුබුදු ශූරින් රචිත “බෝපුද” නමැති ග්‍රන්ථයේ මෙසේ සඳහන් කර ඇත.

සිවුවන ඵලයෙන් හටගත්         බෝධිය
බෙල්ලන්විල මහ වෙහෙරෙහි බෝධිය
භාර හාර නිම නැති                 බෝධිය
තිස් වෙනුවට නමදිමු මේ        බෝධි

මාතෘභූමිය අවස්ථා කීපයකදීම විදේශ ආක්‍රමණවලට ලක්වීමෙන් මෙරට ඓතිහාසික පෞරාණික සිද්ධස්ථාන රාශියක් විනාශයට ලක්විය. එහි ප්‍රතිඵලයක් ලෙස බෙල්ලන්විල රාජමහා විහාරයද ඒ අවට ප්‍රදේශයන්ද විනාශ වී ජනශූන්‍ය විය. 1860 ගණන් වලදී අත්තිඩියේ විහාරයේ වැඩ විසූ තේන්ගොඩගෙදර හිමියන් බෙල්ලන්විල හරහා වැටී ඇති කටු ඇළ මාර්ගයේ පාරුවකින් වඩිමින් සිටියදී ජනශූන්‍ය වූ ප්‍රදේශයකින් ඇසුණ බෙරහඬ පිළිබඳව විමසිලිමත් වීමෙන් බෙල්ලන්විල බෝධින් වහන්සේ දකින ලදුව මෙම ස්ථානය දෙවියන් පවා වැඳුම් පිදුම් කරන භූමියක් බවට තේරුම් ගෙන ජනතාවටද වැඳුම් පිඳුම් කරන ස්ථානයක් බවට පත්කරන ලදී. මෙසේ පුදබිමක් බවට පත්වූ බෙල්ලන්විල රජමහා විහාරයේ වර්තමාන පුනරුදයට පුරෝගාමීව කටයුතු කරන ලද මහා යතිවරයාණෝ අපවත් වී වදාළ බෙල්ලන්විල ශී‍්‍ර සෝමරතන නාහිමිපාණන් වහන්සේය. උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් ලෙස අදවන විට විහාරස්ථානය දෙස් විදෙස් හි බෞද්ධ අබෞද්ධ ජනී ජනයා අතර අභිමානය දනවන අංග සම්පූර්ණ පුණ්‍ය භූමියක් බවට පත්වී ඇත.

1946 වර්ෂයේ විහාරාධිපති ධූරයට පත්වු සෝමරතන නාහිමිපාණන් වහන්සේ පොළොන්නරුව විහාර සම්ප්‍රදායට අනුකූලව විහාර මන්දිරය නිර්මාණය කරන ලදී. අර්ථාන්විත කැටයම් රූප ආදියෙන් මෙම විහාර මන්දිරය සමන්විත වන අතර ජනතාවගේ භක්තිය පමණක් නොව නුවණද දැනුම ද ඒ තුළින් වර්ධනය කරයි. සුවිශේෂී වූත් ආවේණික වූත් විශේෂ බිතුසිතුවම් කලාවක් බෙල්ලන්විල විහාර මන්දිරය තුළ දක්නට ලැබෙන අතර අර්ථාන්විත වු මෙම චිත්‍ර සම්ප්‍රදාය අප ගුරු දේවෝත්තම මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි අග්‍රගණ්‍ය චිත්‍ර ශිල්පී සෝමබන්දු විද්‍යාපති කලාකරුවන් විසින් අර්ථ ගන්වා ඇත.

ආගමික වශයෙන් ජනතාවට විශාල මෙහෙවරක් සිදුකරන “බෙල්ලන්විල රාජමහා විහාරස්ථානය පන්සලෙන් ජනතාවටය” යන තේමාව යටතේ විශාල සමාජ මෙහෙවරක ද නියුතු වේ. වසර මුළුල්ලේ ලක්ෂ සංඛ්‍යාත මුදල් වැය කරමින් ළමා, යොවුන්, තරුණ පිරිස් වෙනුවෙන් සිදුකරන අධ්‍යාපන සේවා, ප්‍රජා සංවර්ධන පදනමේ සේවාවන්, ප්‍රජා සත්කාර සේවාවන්, ආධ්‍යාත්මක දියුණුව සඳහා සිදුකරන සේවාවන්, වැඩිහිටි සත්කාරක සේවාවන්, වෛද්‍යාධාර හා උපකරණ ලබාදීම, ගම්මාන නගා සිටුවීම, නිවාස ලබාදීම ඒ අතර වේ. 1983 වර්ෂයේදී අපවත්වී වදාළ බෙල්ලන්විල ශී‍්‍ර සෝමරතන නාහිමිපාණන් වහන්සේ විසින් 1950 වර්ෂයේදී ආරම්භ කරන ලද බෙල්ලන්විල ඇසළ මහා පෙරහර දේශීය කලාව හා සංස්කෘතිය ඔප් නැංවීමට දරණ ලද ප්‍රයත්නයේ මල් ඵල ගැන්වීමකි. රටටත්, ප්‍රදේශයටත්, සෙතක් ශාන්තියක් ලබාදීමේ අරමුණින් ආගමානුකූල චාරිත්‍ර විධිවලට ප්‍රමුඛස්ථානය ලබාදෙමින් ආරම්භ කරන ලද ඇසළ මහා පෙරහර මෙවර පවත්වනු ලබන්නේ 63 වන වතාවටය. සියලු ආගමික වතාවත්වලට මුල් තැනක් දෙමින් ආරම්භ කළ බෙල්ලන්විල ඇසළ පෙරහරේ විශේෂත්වය වන්නේ දළදා පෙරහරට ප්‍රමුඛත්වය ලබාදෙමින් විෂ්ණු, කතරගම, සමන්, විභීෂණ යන දේව රූප හා දේවාභරණ පෙරහරේ වැඩම කරවීමයි. පෞරාණික චාරිත්‍රානු විධීන් නොඉක්මවා යමින් ඒ සඳහාම ප්‍රමුඛත්වය දෙමින් පවත්වන මෙම පෙරහර ඒ නිසාම සාමාන්‍ය පෙරහර සංදර්ශනයක් ලෙස සැළකිය නොහැකිය.

බුද්ධ වන්දනාවන් හා දේව වන්දනාවන් ලෙසින්ද මෙම ඇසළ උළෙල නව සංස්කෘතිකාංග සමගින් වසරින් වසර ඉතා උත්කර්ෂවත් අයුරින් සංවිධානය වෙයි.

වර්තමාන බෙල්ලන්විල රාජමහා විහාරාධිපති සිංගප්පූරුවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක මාහිමිපාණන් හා විහාරාධිකාරි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක මාහිමිපාණන් වහන්සේ යන මා ගුරුදේවෝත්තමයාණන් වහන්සේලාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ස්ථාපිත කරන ලද බෙල්ලන්විල ඇසළ පෙරහැර කමිටුව හා ඒ හා බැඳුනු තවත් අනු කමිටු විසින් සංවිධානය කරන මෙවර ඇසළ පෙරහැර උත්සවයට පොදු ජනතාවගේත් දානපතියන්ගෙත්, විහාරස්ථ දායක සභාව, කුළඟන සමිතිය, තරුණ බෞද්ධ සංසදය, තරුණ බෞද්ධ සමිතිය, ප්‍රජා සංවර්ධන පදනම, ශී‍්‍ර බෝධිරාජ සිංහල හා ඉංගී‍්‍රසි මාධ්‍ය දහම් පාසල් දෙකක් ආදි විහාරස්ථානයට අනුබද්ධ සියලු සමිති සමාගම්වල පූර්ණ සහයෝගය ලැබීම ඉතා අගේ කළ යුත්තකි. උඩරට, පහතරට හා සබරගමු නැටුම් වලින්ද අලි ඇතුන් විශාල ප්‍රමාණයකින්ද සමන්විතව සිව් මහාදේවාළ පෙරහැරද සමඟ අති උත්කර්ෂවත් ලෙස පැවැත්වෙන බෙල්ලන්විල ඇසළ මහා මහා පෙරහැර එහි නිර්මාතෘ අපවත්වී වදාළ බෙල්ලන්විල ශී‍්‍ර සෝමරතනනාහිමිපාණන්ගේ ගුණසමරු ධර්ම දේශනා පින්කම් මාලාවක් හා දානමය පින්කමක් සමගින් අරඹන ලදුව සති පිරිත් දේශනාවකින් රටටත්, ජනතාවටත් තුණුරුවන්ගේ ආශිර්වාදය ලබාදීමෙන් පසුව අගෝ. 21,22,23 හා 24 වන දින වල මල් පෙරහර පැවැත්විණි. ගෝස්තු 25 වන දින පාවාඩ පෙරහරද, 26 වන දින රන්සිවිලි පෙරහැරද, 27 වන දින රන්දෝලි මහා පෙරහැරද පවත්වා අගෝස්තු 28 වන දින දිය කැපීමේ මංගල්‍ය හා දේව දානය පිදීමෙන් අනතුරුව මෙවර ඇසළ උත්සවයේ කටයුතු නිමාවට පත් වේ.

ආධ්‍යාත්මික වශයෙන්ද භෞතික වශයෙන්ද මහඟු සේවාවක් සිදුකරන බෙල්ලන්විල රාජමහා විහාරය එහි සුවිශේෂි වූත් අභිමානි වූත් ආකර්ෂණීය වූත් ඇසළ මහා පෙරහර තව චිරාත් කාලයක් පැවතෙත්වා යන්න අප සැමගේ ඒකායන ප්‍රාර්ථනාවයි.

 

  නිකිණි අව අටවක පෝය

 නිකිණි අව අටවක පෝය අගෝස්තු 24 වනදා බදාදා අපර භාග 10.17 ලබයි. 25 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 08.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 25 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අගෝස්තු 31 වනදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 25

Full Moonඅමාවක

අගෝස්තු 31

First Quarterපුර අටවක

සැප්තැම්බර් 09

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 16


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]