UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික සතර මංගල්ලය

ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික සතර මංගල්ලය

මෙම ලිපියෙහි පළමු කොටස නිකිණි පුර පසළොස්වක පෝදා පත්‍රයේ පළ විය.

ශ්‍රී සෙංඛණ්ඩ ශෛලාභි ශ්‍රීවර්ධනපුර හෙවත් මහනුවර ශ්‍රී දන්තධාතු මන්දිරයේ සංවත්සර අවුරුදු මංගලෝත්සවයේ මූලික කාර්යය වන්නේ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමාගේ උපදෙස් මත නැකැත් මොහොට්ටාල ලවා ශ්‍රී දළදා මාලිගාව ප්‍රධාන කොට සියලු විහාර දේවාලයන්හි ඉෂ්ට සිද්ධ කළයුතු අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ සුබ මූර්තීන් සම්පාදනය කොට ප්‍රකාශයට පත්කිරීමය. එකී නැකැත් පත්‍රයට අනුව,

1. අලුත් අවුරුදු උදාව.

2. කණ්ඨස්නානය

3. කිරි ඉතිරවීම

4. මුළුතැන් පිළියෙල කිරීම හා පූජා කිරීම

5. නානුමුර මංගල්ලය

යන ප්‍රධාන අවස්ථාවන් සඳහා සුබ නැකැත් සම්පාදනය කරනු ලැබේ.

අවුරුදු දිනයට පෙරින් විදානේවරු ලවා දළදා මාලිගාව පවිත්‍ර කරවා සැරසීම සිදු කෙරේ. දළදා මාලිගාවේ කුඹල්කරුවන් විසින් කිරි ඉතිරවීම හා කිරි ආහාර පිසීමට අලුත් වළං ගෙනැවිත් දිය යුතු ය.

අලුත් අවුරුදු උදාවට පෙර නියමිත දිනයකදී පෙනුම් ගමන් චාරිත්‍රය ඉටු කිරීම ශ්‍රී දළදා මාලිගාවේ සියලු නිලකරුවන් විසින් ඉටුකරනු ලබන වැදගත් චාරිත්‍රයකි. මේ අනුව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමා බැහැදැක ගෞරවාචාර දැක්වීමට කාරිය කරවන කෝරාළ ඇතුළු අනෙකුත් නිල පංගුකරුවන් ද, අවශේෂ නිලධාරීන් ද, බුලත් හුරුළු සමඟ තෑගි බෝග කත් බැඳගෙන යාමේ සිරිත පෙනුම් ගමන් යාම වශයෙන් සැලකේ. ස්වකීය නිල පංගුවට අදාළ නිල ඇඳුමින් සැරසී යන නිලකරුවන් අදාළ තෑගි බෝග කද තැන්පත් කොට අනුපිළිවෙලට ගොස් බුලත් හුරුළු දී විඳිති. එවිට දියවඩන නිලමේතුමා අදාළ රාජකාරි කරුවන්ට ඇඳුම කුඩම තෑගි කොට දී සංග්‍රහයක් ද පවත්වයි. මෙහිදී පෙර වැරදි කමාකර ගැනීමත්, එළඹෙන වසරට ආශිර්වාදය ලබා ගැනීමත් සිදුවේ.

අලුත් අවුරුදු දිනයේ දී නියමිත නැකැත් පත්‍රයට අනුව හිරු මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීමෙහි සුබ පලාභිවර්ධනය පිණිස නියමිත සුබ නැකතට කණ්ඨස්නානය හා කිරි ඉතිරවීම සිදු කෙරේ. කණ්ඨස්නානය බදාදා දිනයන්හි පැවැත්වෙන සප්තාභික පූජාව හෙවත් නානුමුර මංගල්ලයේදී අනුගමනය කරනු ලබන චාරිත්‍රයන්ට සමාන ආකාරයෙන් සිදුකරනු ලැබේ. කණ්ඨස්නානය කිරීමේ දී බදාදා නානුමුර මංගල්ලයේදී මෙන් බුදුරජාණන් වහන්සේගේ සම්පූර්ණ ශ්‍රී දේහය පවිත්‍ර ජලයෙන් ස්නානය කිරීම සංකේතවත් කරන්නේ නැත. මෙහිදී සිදුවන්නේ ශ්‍රී දේහයේ උඩ කොටස පමණක් පවිත්‍ර ජලයෙන් ස්නානය කරවීම සංකේතවත් කිරීමය. කණ්ඨස්නානයේ දී වට්ටෝරුරාළ විසින් අල්ලාගෙන සිටිනු ලබන කැඩපතෙහි ඡායාව මත තේවාභාර නාහිමිපාණන් වහන්සේ සුවඳැති නානු සමඟ තෙල් භාජනයට රන්මල හෝ මැදගිල්ල ඔබා තෙවරක් තවරා පිරිසුදු ජලයෙන් ස්නානය කිරීම සංකේතවත් කිරීම සිදුවේ.

අලුත් අවුරුද්ද උදෙසා කිරි ඉතිරවීම චාරිත්‍රය ද ශ්‍රී දළදා මාලිගාවේ දී සිදුවේ. රටට, ජනතාවට, සෞභාග්‍යය, සමෘද්ධිය ප්‍රාර්ථනා කොට ප්‍රධාන දොරටුව, අබියස දොරටුව හා පල්ලේමාලේ දොරටුව යන තුන් ස්ථානයේ දී ලිප් බැඳ අලුත් වළං තුළ කිරි ඉතිරවීම සිදු කෙරේ.එම අවස්ථාවට තේවාභාර හිමිවරු ද දියවඩන නිලමේතුමා ඇතුළු රාජකාරිකරුවන් ද සහභාගි වෙති. කිරි ඉතිරවීම සඳහා එළකිරි වැනි සත්ව කිරි භාවිතා නොකරන අතර ඒ වෙනුවට පොල්කිරි යොදා ගැනීම සිරිතය. මෙදින නැකතට අනුව මුළුතැන්ගෙය තුළ ආහාර පූජාව සූදානම් කරන අතර නියමිත වේලාවට බුද්ධ පූජා මුළුතැන් මංගල්ලය සිදුකරති.

එළඹෙන ආසන්නම බදාදා දිනයේ ද නානුමුර මංගල්ලය පැවැත්වේ. මේ සඳහා සුදු හඳුන්, රත් හඳුන්, කුංකුම, ගෝරෝචන, කුංකුමප්පුථ විෂ්ණු ක්‍රාන්ති, ගොඩ මානෙල් අල, නස් නාරං මුල්, බෙලි මුල්, නෙළුම් දඬු, වෙනිවැල් ගැට, ඊතණ, ඉඹුල් මැලියම්, දිවුල් මැලියම්, සුවඳ කොට්ටම්, අමු කහ, වියළි ඉඟුරු ආදිය සම සමව ගෙන සාදනු ලබන නානු, කුඩා මුට්ටිවල අසුරා නාථ දේවාල භූමියට කෙටි පෙරහරකින් ගෙන ගොස් වට්ටෝරුවේ සඳහන් වන විහාරස්ථාන හා සතර දේවාල ඇතුළු අනෙකුත් දේවාලවලට බෙදාදීම චිරාගත සම්ප්‍රදායයි. මෙම නානුවලින් නැකතට අනුව ඒ ඒ සිද්ධස්ථාන හා දේවාල වලදී නානුමුර මංගල්ලයන් සිදුවේ. පුණ්‍ය කාලය තුළ ද, අලුත් අවුරුදු දිනය තුළ ද සැදැහැවත් බැතිමතුන්ගෙන් ශ්‍රී දළදා මාළිගාව පිරී ඉතිරී යනු දැක්ක හැකිය. නව වසර සෞභාග්‍යමත් නිරෝගිමත් එකක් බවට පත් කරගැනීම සඳහා දළදා වහන්සේගේ ආශිර්වාදය ලබාගැනීම එමඟින් අපේක්ෂිතය.

ඇසළ පෙරහර මංගල්ලය

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ විෂයෙහි පූජෝපහාරය පිණිසත්, නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සිව්මහාදෙවියන්ට බැතිපුද පිණිසත්, කලට වැසි ලැබ කෙත්වතු අස්වැන්නෙන් සරුසාරවීම පිණිසත්, හෙළයේ සංස්කෘතික අභිමානය ලොවට විදහා දැක්වීම පිණිසත් වාර්ෂිකව පැවැත්වෙන සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්ලය හෙළයේ ශාසනික හා සංස්කෘතික අභිමානය ලොවට විදහා දක්වන මහා සංස්කෘතික මංගලෝත්සවයක් වන්නේ ය. බුදුදහම තුළින් උරුම වූ හැදියාව, සාරධර්ම, හැඩගැස්ම, ඥානය, කලාශිල්ප, සදාචාරය, ගුණධර්ම, සිරිත් විරිත්, නීතිරීති හා නිර්මාණ ආදියෙහි ශ්‍රී ශෝභාවය දෙස් විදෙස් හැමදෙනා හමුවෙහි ප්‍රදර්ශනය කරනුයේ ව්‍යවහාර වර්ෂයෙන් 310 වැන්නේ සිට අද වනතුරු චිරාගත සම්ප්‍රදායානුකූල පුදසිරිත් නොකඩ කොට පවත්වන වාර්ෂික දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර මංගල්ලය තුළිනි. අටලෝ දහමට අනුව තම ජීවිත දැක්ම හැඩගසා ගත් හෙළ කලාකරුවා ස්වකීය කලාකාමීත්වය හා නිර්මාණ කුසලතාවය ආත්මාර්ථයෙන් තොරව සමාජයේ හා දහමේ ප්‍රගමනය පිණිසත්, බුද්ධාලම්භන පී‍්‍රතිය හා ආගම දහම කෙරෙහි ශ්‍රද්ධා භක්තිය ජනිත කරවීම පිණිසත්, කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව ලෝකයා හමුවෙහි ඉස්මතු කොට දක්වනුයේ සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්ලය තම එකම වේදිකාව කොටගෙනයි.

දළදා පෙරහරේ උපත

කිත්සිරිමෙවන් මහරජුගේ අභිෂේකයෙන් නමවැන්නේ දී හේමමාලා, දන්තකුමරු විසින් ලක්දිවට වැඩමවූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ රුවන්මය කරඬුවක වඩාහිඳුවා, තම හිසමතින් මේඝගිරි මහාවිහාරයේ සිට ඇතුළු නුවරට වැඩමවූයේ මහපෙරහරින් බව දාඨාවංශයෙන් හෙළි වේ. දළදා වහන්සේ ලැබීමෙන් සක්විති රජය ලැබුණාක් මෙන් මහත් බුද්ධාලම්භන පී‍්‍රතියට පත් කිත්සිරිමෙවන් මහරජතුමා ව්‍යවහාර වර්ෂ 310 වැන්නේ දී මුල්ම දළදා පෙරහර ආරම්භ කළේ ය. රාජ්‍ය භාණ්ඩාගාරයෙන් නවලක්ෂයක් ධන විසඳා, දළදා වහන්සේ වැඩසිටි මුල් දළදා මාළිගාව වූ ධම්මචක්කගේහයේ සිට අභයගිරි විහාරය වෙත අලංකාර විසිතුරු පෙරහරකින් දළදා වහන්සේ වැඩමවා, අනූ දිනක් තිස්සේ ප්‍රදර්ශනය කරවා, මතු රජවන රජුන් විසින් ද මෙම පූජා චාරිත්‍රය පැවැත්විය යුතු බවට චාරිත්ත ලේඛනයක් ලියවූ බව මහාවංශයෙන් හා දාඨාවංශයෙන් හෙළිවේ.

පොළොන්නරු රාජ්‍ය සමයෙහි මහා පරාක්‍රමබාහු (රා.ව. 1158 – 1186) රජතුමා ‘රජ ගෙදර පටන් දළදාගෙය දක්වා යොදුනක් පමණ තැන් මඟ අතුල් තලයක් සෙයින් සමතලා කරවා සියලු සතුන්ගේ වැඩෙහි ඇලුණේ හැම තැන්හි සිතියම් දරන්නා වූ ලෝකානන්දයට හේතු වූ තොරණ කරවා තොරණ යට නන් කුසුම් ඵලෙන විසිතුරු වර්ණ පරම්පරා ඇති පුල් වියන් පැළලි බඳවා, තොරණ ටැම් එකක් පාසා නන් වනින් වසා බැඳ ඒ ටැම් මුදුනුත් ඡත්‍ර චාමර පන්තීන් හා නානා පුෂ්ප ද, විසිතුරු කොඩියෙන් ද, පෙරහර ගමන් ගන්නා මාවත සැරසූහ. වීණා, වස් කුළල්, මෘදංග භේරීගත් ජනයෝ මහත් රූප ශෝභාවෙන් යුතුව නෘතා ගීත වාදනාදියෙන් පුජා කෙරමින්, පෙරහරෙහි ගමන් ගත්හ. ඡත්‍ර, චාමර, ධජ පතකාදිය රැගෙන යන්නන් ද, ඇත්තු ද, අශ්වයෝ ද ගමන් කළෝ ය. රජු විසිතුරු ආභරණයෙන් සැරසී ඇතු පිට නැගී ගමන් කළේ ය. පෙරහර මග ගමන් ගන්නා විට මහවැසි ඇදහැළී පෙරහර යන මග ඇරුණුකොට අන් සියලු තැනහි වැව් අමුණු පිරී ඉතිරී ගොස් ගංවතුර ගැලීය.’ යන විස්තරයෙන් එදා පෙරහර පැවැත්වීමෙන් නියඟය කෙළවර කොට වැසි වසින බවට පැවති විශ්වාසය තහවුරු වෙයි.

දඹදෙණියේ දී පෙරහර යන මග බෙර ඇසක් සේ සමතලා කොට විසිතුරු කළහ.

දඹදෙණි රාජධානි සමයෙහි දෙවන පරාක්‍රමබාහු රජතුමා ‘දඹදෙණි රාජධානියේ සිට සිරිවර්ධනපුරය දක්වා මහාමාර්ගය බෙර ඇසක් සේ සමතලාකොට, සුදු වැලි අතුරා, ධජ පතාකාදියෙන් අලංකාර කරවා, මගදෙපස සැරසීය. විවිධ පූජා වස්තූන් රැගත් ආවතේවකාරයෝ පිළිවෙලින් ගමන්ගත්හ. අනතුරුව රජතුමා ද පෙරහරේ ගමන් ගත්තේ ය.

කුරුණෑගල යුගයෙහි සිව්වන පරාක්‍රමබාහු රජු දවස නගරය ‘දෙවිපුරයක් සේ සරහා උතුරු මුළු අයතැන් සිටිතැන් ගණවැසි කිලිං දෙකුලයෙන් නිස්සන් සමඟ වැඩහුන් කරඬුව ගඳකිලියෙන් මෑත් කොට විසිතුරු කොට සරහන ලද රථයෙහි භද්‍රාසනයට වඩා ගණවැසි කිලිං දෙකුලයෙන් දෙන්නකු කරඬුව වඩා යන ලෙස රථයට නැංවූහ. සුබ ලකුණෙන් යුත් මහා ඇතකු රථයෙහි යොදා ඒ රථය පළමු කොට සුපිළිපන් මහ සඟන පිළිවෙලින් රථයෙහි බඳ පිරිත් හුය ගෙන පිරිත් කෙරෙමින් වැඩියාහ. දොරණා වැසි කුලයෙන් නිසි එකකු ලවා රිදී කටාරයෙන් නුවර පිරිත් පැන් ඉස්සවූහ. රථයෙහි දෙපස සිට චාමර හා සේසත් කරවූහ. දළදාගෙහි ධුරය හා විජ්ජතුන් රථය ගාවා ඉදිරියෙන් ගියහ’ දළදා සිරිතෙහි දැක්වෙන ඉහත විස්තරයන්ගෙන් එදා පැවති දළදා පෙරහරෙහි ගති ස්වභාවය අපට ඉස්මතු කොට දක්වයි.

වර්තමානයට උරුම වූ ඇසළ පෙරහර

මෙසේ රාජධානියෙන් රාජධානියට, පරපුරෙන් පරපුරට පවත්වාගෙන එනු ලබන මෙම අසිරිමත් ඇසළ පෙරහර මංගල්ලය රාජ්‍ය වර්ෂ 1592 වැන්නේ සිට අද දක්වා ගුණාත්මක හා සංඛ්‍යාත්මක වශයෙන් අභිවර්ධනය වෙමින් ජාතියට දායාද වී තිබීම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේම මහත් අමන්දානන්දයට හේතුවනු නිසැකය. වාර්ෂිකව පැවැත්වෙන සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්ලය, මෙම විශිෂ්ඨ කලා සංස්කෘතියේ අභිමානය දෙස් විදෙස් නරඹන්නන් ඉදිරියේ දිගහැරෙන විචිත්‍රවත් වේදිකාවක් බඳු ය. ඒ තුළින් බෞද්ධ ආගමික වතාවත් හා රාජ්‍යත්වය සමඟ බැඳී වර්ධනය වූ වතාවත් පිළිවෙත් සමඟ එක්ව ලෞකික වින්දනය පමණක් නොව ආධ්‍යාත්මික සුවය ද ලබා දෙයි. ඇසළ පෙරහර මංගල්ලය යනු හුදු විනෝදය පිණිස පවත්වන්නක් නොවේ. මෙම පූජෝත්සවය උත්තම දළදා වහන්සේ විෂයෙහි කෙරෙන පූජෝපහාරයක් වශයෙන් ද, සිව් මහා දේවාලයන්හි වැඩ සිටින්නා වූ නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන දෙවිවරුන් විෂයෙහි සිදුකරනු ලබන්නා වූ භක්ති ප්‍රණාම පූජාවක් වශයෙන්, කලට වැසි ලැබ රටේ සමෘද්ධිය හා සෞභාග්‍යය ඇතිකරගනු පිණිස ද, පැවැත්වෙන ආගමික පූජෝත්සවය මංගල්ලයක් මෙන්ම හෙළ කලාවේ උදාරත්වය කියාපාන උඩරට නැටුම්, වැයුම්, ගැයුම් කලා ශිල්පීන්ගේ අදීන කලා කුසලතාවය ද ලොවට ප්‍රදර්ශනය කරනු ලබන්නක් වේ.

මෙම ලිපියෙහි තවත් කොටසක් නිකිණි අමාවක පෝදා(අගෝස්තු 31) පත්‍රයේ පළ වේ.

 

  නිකිණි අව අටවක පෝය

 නිකිණි අව අටවක පෝය අගෝස්තු 24 වනදා බදාදා අපර භාග 10.17 ලබයි. 25 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 08.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 25 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අගෝස්තු 31 වනදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 25

Full Moonඅමාවක

අගෝස්තු 31

First Quarterපුර අටවක

සැප්තැම්බර් 09

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 16


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]