UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිරි දළදා පුරාණය

සිරි දළදා පුරාණය

මෙම ලිපියෙහි පළමු කොටස නිකිණි පුර පසළොස්වක පෝදා පත්‍රයේ පළ විය.

පළමුවැනි භුවනෙකබාහු රජු (ක්‍රි.ව. 1272-1284) සමයේ සිය අගනගරය යාපහුවට මාරු කිරීමෙන් පසු දළදාව හා පාදාව ද පොළොන්නරුවේ සිට යාපහුවේ සුන්දරගිරි පර්වතයේ ඉදිකළ ශෛලමය මන්දිරයකට වැඩමා පුද සත්කාර කළ බව වංසකථාව දක්වයි. භුවනෙකබාහුගෙන් පසු එල්ලවූ පාණ්ඩ්‍ය ආක්‍රමණයේදී ආක්‍රමණිකයන් විසින් දළදාව ඉන්දියාවට ගෙනයනු ලැබූ මුත් තෙවන පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1287-1293) දළදාව හා පාදාව ලක්දිවට වැඩමා පෙරළා පොළොන්නරුවේ අටදාගේ තැම්පත්කොට පුද පූජා පැවැත්වීය.

කුරුණෑගල කේන්ද්‍රකර ගනිමින් පාලන මධ්‍යස්ථානය එහි සංකේන්ද්‍ර වීමත් සමඟ පොළොන්නරුවේ වැඩ සිටි දළදා වහන්සේ දෙවැනි භුවනෙකබාහු රජු විසින් (ක්‍රි.ව. 1284-1302) වැඩමවා මාළිගය අසල ඉදිකරන ලද මනරම් මැදුරක තැම්පත් කරන ලදී. සිවුවැනි පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1302-1327) විසින් පසුව මාළිගය අසල ගොඩනැඟිල්ලක දළදා වහන්සේ වඩා හිඳුවා මහත් පූජෝපහාර දක්වන ලද අතර දළදා වහන්සේ වෙනුවෙන් කළ යුතු පුදපූජා හා සත්කාර සංවිධානය කරමින් ඒ සඳහා නීතිමය ව්‍යවස්ථා තිස් අටක් පනවන ලදී.

සිවුවෙනි භුවනෙකබාහු රජු (ක්‍රි.ව. 1341-1351) විසින් ගම්පලට සිය පාලන මධ්‍යස්ථානය මාරු කිරීමත් සමඟ ගම්පල නියම්ගම්පාය විහාරස්ථානය වෙත දළදා වහන්සේ වැඩමවාගෙන ගොස් ඇති බව විඟුලවත්ත සෙල්ලිපිය දක්වන තොරතුරු වලින් සනාථ වේ. ගම්පල රාජධානියේ විසූ පස්වැනි භුවනෙකබාහු විසින් රිදී හත්දහසකින් ධාතු කරඬුවක් සාදා දළදා වහන්සේට විශේෂ පූජාවක්ද කළ බව ඉතිහාසගතය. අස්ගිරි තල්පත දක්වන ආකාරයට ගම්පල සිට වීරබාහු කුමරු විසින් දළදා වහන්සේ කෝට්ටේ රාජධානිය වෙත ගෙන ආ බව දැක්වේ. සවැනි පරාක්‍රමබාහු සමයේ (ක්‍රි.ව. 1410-1468) දී අලංකාර මණ්ඩපයක ශ්‍රී ජයවර්ධනපුර දළදා වහන්සේ වැඩ සිටි ආකාරය සංදේශ සාහිත්‍යයෙන් සනාථවන කරුණකි. විශේෂයෙන් කෝට්ටේ රජ මාළිගය අසල මෙම මන්දිරය ඉදිකොට තිබේ.

පෘතුගීසින්ගේ අණසකට කෝට්ටේ රාජධානිය නතුවීමත් ධර්මපාල වැනි රූකඩ පාලකයන් පාලනයට පත්වීමත් නිසා දළදා වහන්සේට නිසි ගරුත්වයක් නොමැතිවීම නිසා හිපිටියේ දිවෙන රාළ විසින් දළදා වහන්සේ සීතාවකට වැඩම කරවන ලද අතර දෙල්ගමු විහාරයට වැඩමවා සඟවා තබන ලද බව කියවේ. පෘතුගීසි ලේඛනවල මෙම කාලයේදී දළදාව විනාශ කරන ලද බව සඳහන්වන මුත් එම තොරතුරුවල කිසිදු සත්‍යයක් ඇති බව නොපෙනේ.

පොල්ගස්අංගේ හිමියන් විසින් සීතාවක රාජසිංහ රජුට බියෙන් වනාන්තරගතව සිටි දෙවනගල රතනාලංකාර හිමියන් මැදමහනුවරට වැඩම කරවා උන්වහන්සේගේ උදවුවෙන් දළදා වහන්සේද දෙල්ගමුව වෙහෙරින් මැදමහනුවරට වැඩමවාගෙන එන ලදී. මෙම කටයුතුවලදී කොනප්පු බණ්ඩාරයන්ගේ පූර්ණ සහාය ලබා ගෙන තිබේ. ඒ අනුව ඔහු කෙරෙහි ජනතාවගේ පැවැති අප්‍රසාදය පහව ගිය අතර උඩරට වැසියෝ කොනප්පු බණ්ඩාරයන්ගේ පැත්ත ගත්හ. පෘතුගීසි ජාතික ලෝපැස් ද සෞසාගේ මූලිකත්වයෙන් දෝන කතරිනා කුමරියද පෙරටු කරගෙන කි‍්‍ර.ව. 1594 දී උඩරට රාජ්‍යය ලබා ගැනීමේ අරමුණෙන් පෘතුගීසි සේනාවෝ කන්ද උඩරටට පැමිණියහ. එහිදී කොනප්පු බණ්ඩාරයන් වටා පෙළ ගැසුනු දේශීය බට පිරිස් දන්තුරේ සටනේදීද සුසා පරාජය කරන ලද අතර දෝන කතරිනා කුමරියද කුසුමාසන දේවිය ලෙසින් විවාහ කරගත් කොනප්පු බණ්ඩාරයන් සෙංකඩගල නුවර (මහනුවර) පළමුවැනි විමලධර්මසූරිය (ක්‍රි.ව. 1592-1604) නමින් නායකත්වයට පත්වීමෙන් පසු දළදා වහන්සේද සෙංකඩගල නුවරට වැඩම කරවා තමා නායකත්වයට ශක්තිමක් කරගත් අතර දළදා වහන්සේ වෙනුවෙන් සිය මාලිගය ආසන්නයේම දළදා මැදුරක්ද ගොඩ නංවා ඇත.මහනුවර ඉදිකළ මෙම දළදා මැඳුර පෘතුගීසින් විසින් මහනුවරට එල්ල කළ ආක්‍රමණයක දී විනාශ වු අතර වත්මන්හි දක්නට ලැබෙන දෙමහල් දළදා මාලිගය ගොඩනැංවීමේ ගරුත්වය වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජටු (ක්‍රි.ව. 1709-1739) හිමිවේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජු (ක්‍රි.ව. 1747-1782) විසින් දළදා මැදුර ප්‍රතිසංස්කරණය කොට තිබේ. මහනුවර දළදා පෙරහැර වැලිවිට සඟරාජයාණන් වහන්සේගේ අනුශාසනය මත නැවත ආරම්භ කිරීමේ ගරුත්වයද කීර්ති ශ්‍රී රාජසිංහ රජුට හිමිවේ.

මෙලෙසින් වර්ෂ 1815 දක්වා උඩරට නායකත්වයට පත් සෑම පාලකයෙක්ම දළදාව රැක ගැනීමට හා මහත් හරසර පුදපූජාවන් දැක්වීමට මහත් වෙහෙසක් ගත් අතර පරසතුරන් අතට දළදාව පත්නොවීමට වග බලාගත්හ. ඒ අනුව සතුරු ආක්‍රමණ එල්ලවු අවස්ථාවල දී මැදමහනුවර, හඟුරන්කෙත, අරත්තන හා කිතුල්පේ වැනි ස්ථානවල දළදාව සඟවා තැබීමට ඔවුහු උත්සාහ ගත්හ. එමෙන්ම 1815 දී ඉංගී‍්‍රසින් අතට උඩරට රාජධානිය පත්වීමත් සමඟ සිය බලය බෞද්ධ ජනතාව අතර තහවුරු කරගැනීම අරභයා දළදාවේ භාරකාරත්වයද සියතට ගැනීමටද ඔවුහු කටයුතු කළහ. ඉංගී‍්‍රසින්ට එරෙහිව 1818 දී දියත් වු වෙල්ලස්ස කැරැල්ලේ දී විල්බාවේ රාළ තමා රජු හැටියට හඟුරන්කෙත දී ප්‍රකාශයට පත් කළේද දළදාව ප්‍රදර්ශනය කරමිනි. එමෙන්ම දළදාවට නිසි සැලකුම් නොලැබෙන බව දත් වාරියපොල සුමංගල හිමියන් දළදාව පැහැරගෙන ගිය බවත් එම අවධියේදි ඉංගී‍්‍රසින් විසින් දළදාව නැවැත සොයා ගැනීමට ගත් උත්සාහයෙන්ද පෙනීයනුයේ දළදාව සිය බලය තහවුරු කර ගැනීමට කෙතෙක් දුරට හේතුවීද යන්නයි. ඉංගී‍්‍රසින් විසින් නැවත දළදා වහන්සේගේ භාරකාරත්වය මල්වතු අස්ගිරි උභය විහාරයන්හි මහානායක මාහිමිවරුන් වෙත පවරන ලද අතර වර්තමානය දක්වාම එහි චාරිත්‍ර කටයුතු ඉටු කිරීමේ කාර්යයන්හි උන්වහන්සේලා නිරතව සිටිති.

දළදා වහන්සේ ලක්දිවට වැඩම කිරීම ශ්‍රී ලාංකේය ඉතිහාසයේ මෙන්ම ආගමික භූමිකාව තුළද සුවිශේෂ වූ කඩඉමක් සනිටුහන් කරයි. බුදුරදුන්ගේ අති උත්තම ශාරීරික ධාතුන් වහන්සේ නමක් වන දළදා වහන්සේ ලාංකේය බෞද්ධ ප්‍රජාව අතට පත්වීම මහත් භාග්‍යක් කොට සැලකු අතරම දළදාව හා සම්බන්ධ අභිචාරවිධි හා චින්තන සම්ප්‍රදායක් මෙන්ම සංස්කෘතිකාංග රැසක්ද පොදු ජීවන පැවැත්මට මෙන්ම ජනජීවිතයටද බද්ධ විය. නිසි කලට වැසි ලැබ රට සශ්‍රීකවීමද කාල විපත්වලින් තොරව සෞභාග්‍ය ලැබීමේ මහිමයක්ද දළදාව කෙරෙහි නිසි පුදපූජා කිරීමෙන් ලැබෙන බවත් පාලකයාගේ දැහැමි බවත් රාජත්වයට උරුමකම් කීමේ එක් සංකේතයක් ලෙසින්ද සැලකීමේ සම්ප්‍රදාය ද අභිචාර විධි ඔස්සේ ලක්වැසි ජනවිඥානයට අතීතයේ සිට බද්ධව පවතියි. දළදාව හිමිකර ගැනීම සිය දේශපාලන අයිතිය තහවුරු කළා පමණක් නොව දළදාවට හිමිකම් කීම හා දළදා සේවනේ විසීමද සිය රාජත්වයේ අභිමානවත් බව තීව්‍ර කිරීමක් ලෙසින්ද දොළොස් වැනි සියවසින් පසු ශ්‍රී ලාංකේය පාලන ස්තරායනය තුළ මුල් බැසගත් ආකල්පයක් ලෙසින්ද දශක ගණනාවක් මුළුල්ලේ මෙරට ක්‍රියාත්මක මට්ටමින්ම පැවැති බව ඓතිහාසික තොරතුරු විමර්ශනය කරන විට ඉස්මතුවන වැදගත් කරුණකි.

 

  නිකිණි අව අටවක පෝය

 නිකිණි අව අටවක පෝය අගෝස්තු 24 වනදා බදාදා අපර භාග 10.17 ලබයි. 25 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 08.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 25 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අගෝස්තු 31 වනදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 25

Full Moonඅමාවක

අගෝස්තු 31

First Quarterපුර අටවක

සැප්තැම්බර් 09

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 16


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]