UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රූපනන්දා රහත් තෙරණිය ලක්දිවට වැඩම වූ මහරි බෝධින් වහන්සේ

රූපනන්දා රහත් තෙරණිය ලක්දිවට වැඩම වූ මහරි බෝධින් වහන්සේ

"මහාතිත්ථ වනයේ දිවා විහරණය කළ කකුසඳ භාග්‍යවතුන් වහන්සේ සවස් යාමයේදී තමන් වහන්සේ පිට දුන් බෝධිය වන මහරි බෝ රුක පිහිටුවීමට යෝග්‍ය වූ භූමිය වෙත වැඩම කළ සේක. එතැන වැඩහුන් සම්බුදු රජාණන් වහන්සේ සමාධියට සමවැදුන සේක. සමාධියෙන් නැඟී සිටි භාග්‍යවතුන් වහන්සේ ඕජදිජවාසීන්ට හිත පිණිස රූපනන්දා රහත් තෙරණිය මෙහි පැමිණෙත්වායි යන කාරණාව සිතූ සේක. ඒ සැනෙන් ම රූපනන්දා රහත් මෙහෙණින් වහන්සේ කකුසඳ බුදුුරජාණන් වහන්සේගේ එම සිත දැක ඛේම නුවර ඛේම රජුන්ට මේ කරුණ සැළ කළේය. රජුන්ද සමඟ මහරි බෝධින් වහන්සේ ළඟට වැඩම කොට මහා සෘද්ධිමත් වූ රූපනන්දා රහත් මෙහෙණින් වහන්සේ ඛේම රජුන් ලවා රන් සිරියල් වලින් මහරි බෝධින් වහන්සේගේ දකුණ ශාඛාවට රේඛාවක් ඇන්දවීය. එවිට ඒ දකුණු මහරි මහබෝ ශාඛාව බෝධීන් වහන්සේගෙන් වෙන්වී ගොස් රන් කටාරමේ පිහිටි සේක."

ලක්දිවට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීම සම්බන්ධව වංශ කතාවේ එන ධර්මාශෝක නරේන්ද්‍රයාණන්, දේවානම්පියතිස්ස නිරිඳුන්, නිග්‍රෝධ රහතන් වහන්සේ, මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේ ආදී උතුමන්ගේ විස්තර අප මෙතෙක් කථා කෙළෙමු. මේ සෑම සිද්ධියකදීම කියවෙන නාමයක් වුණේ මිහිඳු මහරහතන් වහන්සේ ය. මිහිඳු මහ රහතන් වහන්සේ මහබෝ වරුණේ අරුණැල්ල වේ.

මිහිඳු මහරහතන් වහන්සේ සහ ධර්මදූත සේවය

මෙරටට ධර්මය දායාද කරන්නට සුදුසුම තෙරුන් මිහිඳු මහරහතන් වහන්සේ බව මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේ තීරණය කළ සේක. උපසම්පදා මාලකයේම අරහත්වයට පත් වූ මිහිඳු තෙරුන් ඒ වනවිට උපසම්පදාවෙන් දොළොස් වසරක් ගෙවා තිබුණි. උන්වහන්සේගේ ලංකා ගමනය අප ඉගෙන ගත්තෙමු. මහමෙවුනා උයන බුදු සසුනට පූජා කරද්දී මහපොළොව සලිත විය. අඹ පැනයත්, ඤාණ පැනයත් අසා දේවානම්පියතිස්ස රජුගේ ඤාණය ගැන පැහැදුනු උන්වහන්සේ ලංකාවේදී ප්‍රථම වතාවට දේශනා කළේ චුල්ලහත්ථිපදෝපම සූත්‍රයයි. ඒ දේශනාව අසා රජු ඇතුළු පිරිස සසුන ගැන මහත් ප්‍රසාදයට පත්විය.

දීප ප්‍රාසාදකයන් වහන්සේ සසුන පිහිටුවීම

පසුදින ඇත්හලේදී දන් වළදා දෙසු පේ‍්‍රත වත්ථු, විමාන වත්ථු, සච්ච සංයුක්ත ආදී දේශනා ශ්‍රවණය කොට අනුලා දේවිය ඇතුළු පන්සියයක් ස්ත්‍රීන් සෝවාන් වූහ. බොහෝ පිරිස් සත්‍යය ධර්මය ශ්‍රවණය කිරීමේ අභිලාසයෙන් පැමිණියේය. මහාමේඝ වනය එනම්, මහමෙවුනා උයන සැදැහැවතුන්ගේ දම්සභා මණ්ඩපය විය. බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව වේළුවනාරාම පූජා කතාව දේශනා කරද්දී සකදාගාමි වූ අනුලා දේවිය ඇතුළු පිරිස පැවිදි බව ඉල්ලීම හේතු කරගෙන සංඝමිත්තා රහත් තෙරණිය සහ බෝ රජුන් වැඩවීම පිළිබඳව කතාව ආරම්භ විය. මහමෙවුනාව බුදු සසුනට පූජා කරද්දී මහපොළොව සලිත විය.

බුදුවරු වැඩ සිටි භූමි හඳුනා ගැනීම

දෑ සමන් විසුරුවමින් පොළොව ඒ ඒ තැන කම්පා වෙද්දී මිහිඳු මහරහතන් වහන්සේ ලෝවාමහාපාය, ජන්තාගාර පොකුණ, මහාබෝධි භූමිය, සංඝකර්ම මාලකය, සංඝයාට පිරිකර පූජාකරන ස්ථානය, චතුස්සාලා භූමිය (දාන ශාලාව), මහාසෑය සීමා ආදිය ලකුණ කළහ. ස්ර්ණමාලි මහසෑය පිහිටන තැන සපුමල් විසිර වූ සේක. මේ ආකාරයෙන් අප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පන්සියයක් පමණ මහරහතන් වහන්සේ සමඟ සමාපත්තියෙන් වැඩසිටි පූජණීය භූමි සලකුණු කොට වදාළ සේක. ඒ වගේම රුවන්මැලි සෑ භූමිය පිහිටන ස්ථානයේද සතර බුදුරජාණන් වහන්සේ එනම් මේ මහාභද්‍ර කල්පයේ පහළ වූ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන බුදුරජාණන් වහන්සේ මේ ලක්දිවට වැඩම කළ විස්තරයත් බෝධීන් වහන්සේ වැඩම කිරීම පිළිබඳවත් වදාළ සේක.

මහා බෝධීන් වහන්සේ පිහිටන භූමිය හඳුනා ගැනීම

අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ රජ ගෙදර දොරටුව අසලට වැඩම කොට සමන් මල් අට මිටක් ඒ ස්ථානට පූජා කළ සේක. ඒ අවස්ථාවේදීත් මහපොළොව සැලී ගියේය. එයට හේතුව කිම? මිහිඳු මහරහතන් වහන්සේ වදාළේ “මහරජතුමනි, මේ මහා භද්‍ර කල්පයේ අපගේ බුදුරජාණන් වහන්සේට කලින් බුද්ධ බවට පත් වී වදාළ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන තුන් බුදුවරයන් වහන්සේ බුදුවන අවස්ථාවේ පිට දුන් මහරිය, දිඹුල්, නුග යන බෝධින් වහන්සේගෙන් දකුණු ශාඛා බෝධීන් වහන්සේ වඩම්මවාගෙන අවුත් මෙතැන රෝපණය කර තිබේ. මහරජතුමනි, අප තථාගතයන් වහන්සේ බුද්ධත්වය ලබන මෙහොතේ පිට දී වදාළ ඇසතු බෝධින් වහන්සේගේ දකුණු ශාඛා බෝධින් වහන්සේත් මේ ස්ථානයේදී පිහිටුවනු ලැබේ” යන්නය.

කකුසඳ බුදුරජුන් දවස මහරි බෝ රජුන් වැඩමවීම

මේ මහා භද්‍ර කල්පයේ පළමුවෙන් ලොව පහළ වී වදාළේ කකුසඳ බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේ සියලු ධර්මයන් පිළිබඳ මනා අවබෝධයෙන් යුතු, සියලු ලෝක සත්ත්වයා කෙරෙහි අනුකම්පා ඇති ලොවට ශාස්තෘ වූ සේක. ඒ කාලයේ මේ මහමෙවුනා උයන හැඳුන්වූයේ “මහාතිත්ථ” යන නමිනි. මහතිත්ථ උයනට නැඟෙනහිරින් අභය කියා නගරයක් විය. ඒ අභය පුරයේ සිටියේ අභය නමින් රජ කෙනෙකි. ඒ කාලයේ මේ ලංකාද්වීපයේ හැඳින්වූයේ “ඕජදීප” නමිනි. ඕජදීපවාසීන්ට පුණ්ණකාල නම් රකුසෙක් නිසා හටගත් “පජ්ජරකත” නම් උණ රෝගයක් වැළදී තිබුණි. අපගේ කකුසඳ දසබලයන් වහන්සේ ඕජදීපවාසීන්ට ඇති වී තිබෙන ඒ උපද්‍රවය දැක ඒ උපද්‍රවය නිසා මනුෂ්‍යයන් හට වූ විනාශයත්, කකුසඳ බුදු සසුනේ පැවැත්මත් පිණිස මේ ද්වීපය කෙරෙහි උපන් කරුණා බලය නිසාවෙන් හතළිත් දහසක් රහතන් වහන්සේ පිරිවරාගෙන සෘද්ධි බලයෙන් යුතුව අහසින් වැඩමවා දෙවිකුළු නමැති පර්වතය මතට වැඩ වදාළ සේක. මහරජ, කකුසඳ සම්බුදු රජුන්ගේ බුද්ධානුභාවයෙන් මේ මුළු ද්වීපයෙහිම තිබුණ පජ්ජරක රෝගය සංසිඳී ගියේය. නරේශ්වරයෙනි, ඒ මුනිවරයන් වහන්සේ මේ ඕජදිපවාසී සියලු මිනිස්සු අද මාව හොඳින් දකිත්වා කියා අධිෂ්ඨානයකුද කළ සේක. ඒ වගේම මා වෙතට එන්ට කැමැති සියලුම මනුෂ්‍යයෝ ඉතා සුවසේ ඉක්මනින්ම පැමිණෙත්වායි කකුසඳ මුණින්ද්‍රයන් වහන්සේ අධිෂ්ඨාන කළ සේක. බුද්ධ රශ්මි මාලාවෙන් බබළන කකුසඳ බුදුන් වහන්සේත්, ඒ බුදු රැසින් දිලිසෙන දෙව්කුළු පර්වතයත් දුටු අභය රජුන් නුවර වැසියෝ වහාම එතැනට පැමිණියේ ය. දෙවිකුළු පර්වතවාසී දෙවියන්ට පුද පූජා පැවැත්වීම පිණිස එහි ගිය මිනිසුන් ද සිටියේය.

ශ්‍රාවක සංඝයා වහන්සේ සහිත ලෝකනාථයන් වහන්සේ දුටු ඔවුන් සිතුවේ දේවතාවෝ පෙනෙන්ටම වැඩම කොට සිටින බවයි. ඒ අභය රජුන් අතිශයින්ම සතුටට පත්ව කකුසඳ මුණිරජාණන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට දානය පිණිස ආරාධනා කළේය. අභයපුරය සමීපයේ පිහිටි මහාතිත්ථ උද්‍යානයට වඩමවාගෙන ගියේය. ඒ අවස්ථාවේ මහා තිත්ථ වනය අකාලයේ පිපී ගිය මලින් අලංකාර වුණි. කකුසඳ භාග්‍යවතුන් වහන්සේ එය පිළිගනිද්දී මහපොළොව කම්පා විය. එතැනම වැඩහුන් ලෝකනාථයන් වහන්සේ ධර්මය දේශනා කොට වදාළ සේක. ඒ දෙසුම අවසානයේ හතළිස් දහසක් මිනිසුන් මාර්ගඵලවබෝධයට පත්වුණි. මහාතිත්ථ වනයේ දිවා විහරණය කළ කකුසඳ භාග්‍යවතුන් වහන්සේ සවස් යාමයේදී තමන් වහන්සේ පිට දුන් බෝධිය වන මහරි බෝ රුක පිහිටුවීමට යෝග්‍ය වූ භූමිය වෙත වැඩම කළ සේක.

මහරි බෝ රජුන් වැඩමවූයේ රූපනන්දා රහත් තෙරණින් වහන්සේයි

එතැන වැඩහුන් සම්බුදු රජාණන් වහන්සේ සමාධියට සමවැදුන සේක. සමාධියෙන් නැඟී සිටි භාග්‍යවතුන් වහන්සේ ඕජදිජවාසීන්ට හිත පිණිස රූපනන්දා රහත් තෙරණිය මෙහි පැමිණෙත්වායි යන කාරණාව සිතූ සේක. ඒ සැනෙන් ම රූපනන්දා රහත් මෙහෙණින් වහන්සේ කකුසඳ බුදුුරජාණන් වහන්සේගේ එම සිත දැක ඛේම නුවර ඛේම රජුන්ට මේ කරුණ සැළ කළේය. රජුන්ද සමඟ මහරි බෝධින් වහන්සේ ළඟට වැඩම කොට මහා සෘද්ධිමත් වූ රූපනන්දා රහත් මෙහෙණින් වහන්සේ ඛේම රජුන් ලවා රන් සිරියල් වලින් මහරි බෝධින් වහන්සේගේ දකුණ ශාඛාවට රේඛාවක් ඇන්දවීය. එවිට ඒ දකුණු මහරි මහබෝ ශාඛාව බෝධීන් වහන්සේගෙන් වෙන්වී ගොස් රන් කටාරමේ පිහිටි සේක. "මහරජතුමනි, පන්සියයක් රහත් මෙහෙණින් වහන්සේ පිරිවරාගත් රූපනන්දා භික්ෂුණිය මහරි මහබෝ ශාඛාවත් රැගෙන සෘර්ධියෙන් මෙහි වැඩමවා ඇත." දේවතාවුන් වහන්සේ පිරිවරාගෙන කකුසඳ සම්බුදුරජාණන් වහන්සේ දිගු කොට වදාළ දකුණු හස්තය මත බෝධි ශාඛාව සහිත ඒ රන් කටාරම පිහිටියේය. එය තථාගතයන් වහන්සේ බෝධීන් වහන්සේ පිහිටුවනු පිණිස අභය රජුට ලබා දුන්නේය.

අභය රජුන් මහාතිත්ථ උයනෙහි බෝධින් වහන්සේ රෝපණය කළේය. කකුසඳ භාග්‍යවතුන් වහන්සේ පිරිවර සහිත වූ රූපනන්දා භික්ෂුණියට මේ ඕජදිපයෙහි වැඩවාසය කරන්නට සැලැස් වූයේය. තම ශ්‍රාවක මහාදේව රහතන් වහන්සේද දහසක් රහතන් වහන්සේ සමඟ මෙහි වැඩ වාසය කරන්නට සළස්වා සම්බුදුරජාණන් වහන්සේ එතැනින් නැඟෙනහිර දොරින් පිහිටි රුවන් මළුවෙහි වැඩහිඳ ජනයාගේ යහපත පිණිස උතුම් අනුශාසනා කොට සංඝයා වහන්සේ සමඟ අහසට පැන නැගී දඹදිවට වැඩි සේක. මේ ආකාරයට මේ භද්‍ර කල්පයේ පළමුවෙන් බුදුරජාණන් වහන්සේගේ පටන් ගෞතම බුදුරජාණන් වහන්සේ දක්වා බෝධින් වහන්සේගේ ගුණ වර්ණනාව අනුරාධපුර මහමෙවුනාවේ රැව් පිළිරැව් දුණි.

කෝණාගමන බුදුරජාණන් වහන්සේගේත්, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේත් උතුම් බෝධින් වහන්සේ මෙරටට වැඩම වූ අයුරු ඉදිරියේදී කථා කරන්නෙමු.


ශ්‍රී මහා බෝධි පුරාණය-09 : මහා බෝධියේ රහස් හෙළිකළ මොග්ගලිපුත්තතිස්ස මහරහතන් වහන්සේ

 

  නිකිණි අව අටවක පෝය

 නිකිණි අව අටවක පෝය අගෝස්තු 24 වනදා බදාදා අපර භාග 10.17 ලබයි. 25 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 08.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 25 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අගෝස්තු 31 වනදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 25

Full Moonඅමාවක

අගෝස්තු 31

First Quarterපුර අටවක

සැප්තැම්බර් 09

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 16


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]